තුන්දාහක් හිරෙන් නිදහස් කළොත් රටේ මන්දපෝෂණය ඉවරයි!

204

බන්ධනාගාරවල ආහාර සඳහා වසරක වියදම කෝටි 470 ක්!

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට තුන්වේල දෙන්න වසරකට යන්නේ කෝටි 60 යි

පාතාල කෙරුමන් කුඩු ජාවාරමුන් ස්ත්‍රී දූෂකයන් නිදහස් කළ යුතු නැහැ

පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට ගැටලු රාශියකට රටේ ජනතාව මුහුණ දී සිටින්නේ පෙර කළ පවක් විපාක දෙන්නාක් පරිදිය. එහෙත් ජනතාව කළ පවක් නැත. සිදුව ඇත්තේ කාලයක සිට ක්‍රියාත්මක වූ වංචාකාරී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලන භාවිතාවන් හේතුවෙන් ජනතාව නොකළ පව් ගෙවමින් සිටීමය.

එසේ විපාක විඳීමේ අවසානය කොතැනකදැයි තවමත් පෙනෙනතෙක් මානයකවත් නැත. මේ අන්දමට රටත් ජනතාවත් විඳවන ගැටලු අතරින් අද වන විට බරපතළම ඒවා බවට පත්ව තිබෙන්නේ මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුරෙන් කොටසක් මන්දපෝෂණයෙන් පෙළෙද්දී රෝගීහු ලෙඩට බෙහෙත් නොමැතිව මරුවා සමඟ පොරබැදීම වන්නාහ.

එහෙත් එකී බරපතළ ගැටලුවලටවත් යම් විසඳුමක් දෙන්නට වගකිවයුත්තන් අසමත්ව ඇත. සැබවින්ම මේවාට විසඳුමක් සොයාගන්නට අපට නොහැකිව තිබේද?

රට ඉදිරියේ පවතින ඩොලර් ගැටලුව හෙවත් විදේශ විනිමය අර්බුදය ඉදිරියේ ඖෂධ නොමැති වීමේ ගැටලුවට විසඳුම් සොයා ගැනීම යනු ටිකක් සංකීර්ණ තත්ත්වයක් විය හැකිය. ඒ පිළිබඳ තර්කයක් නැත. එසේම පූචානම් සහ බඩඩගෝස්තරවාදය නවතා දමා උපයා ගන්නා ඩොලර් ටික උපක්‍රමශීලීව අරපරිස්සමින් අත්‍යවශ්‍ය කාරණා ඉලක්ක කර වැය කෙරෙන්නේ නම් පවතින ඖෂධ හිඟයට යම් සහනදායී විසඳුමක් සොයාගත හැකියි යන්නද තාර්කිකය.

එහෙත් අදාළ වගකිවයුතු පාර්ශ්ව එම අත්‍යවශ්‍ය ඉලක්ක සහ ප්‍රමුඛතා හඳුනා ගන්නට සමත්වේ දැයි යන්න නම් ගැටලුසහගත වන්නකි. වත්මන් අර්බුදයේ ආරම්භයේ සිට මේ දක්වාම සිදුවන ඇතැම් දේ පිළිබඳ විමසිලිමත්ව බලා සිටීමේදී යමෙකුට එවැනි සිතුවිල්ලක් පහළවීමේ අරුමයක්ද නැත.

ඖෂධ හිඟය සහ එයට ඇති විසඳුම් පිළිබඳ කතාව එවැන්නක් වුවද මේ මොහොතේත් රටේ අනාගත පරපුර හෙවත් අපේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ යැයි යන්න එයට හාත්පසින්ම වෙනස් වූවකි. රටේ දරු පරපුර පීඩාවට පත්ව සිටින මේ කරුණ පිළිබඳ යමෙකු කතා කළහොත් ඇතැමුන් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් හා මාධ්‍ය ඉදිරියට පැමිණ කියා සිටින්නේ මන්දපෝෂණයක් රට තුළ නොමැතියි යන්නය.

එහෙත් සත්‍යය එයද? නැත. එසේ කරන අය සිදු කරනුයේ යථාර්ථය සැඟවීමට වෙහෙස ගැනීමය. එසේ වෙහෙසුනද සත්‍යය කිසිදා සැඟවිය නොහැකිය. එනිසා අප සිදු කළයුතු වන්නේ අභියෝගය භාර ගැනීමය. ගැටලුවට විසඳුම් සෙවීමය.

මෙසේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෝ යනු කවරහුද? මෙරට තිස්හය ලක්‍ෂයකට ආසන්න දිළිඳු පවුල්වල දරුවෝ අතිබහුතරයක් එකී අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී සිටින්නාහ. එම දරුවෝ රට පුරා ඇති ප්‍රාථමික සහ ද්විතීයික පාසල්වල අධ්‍යාපනය ලබන්නෝ වෙති. ඇතැම්විට කිසියම් වාසනාවකට ඉහළ මට්ටමේ පාසලකට (ජාතික පාසලකට හෝ මහ විදුහලකට) ඇතුළත් වීමට වරම් ලද දිළිඳු දරුවන්ද එකී ඛේදනීය ඉරණමට ගොදුරුව සිටිනවා විය හැකිය.

මේ දරුවන්ට තුන්වේලට නිසි අහරක් නොලැබෙන්නේය. දිවගා රස බලන්නට කිරි උගුරක් නැත. දෙමාපියන්ට එවන් දේ එකී දරුවන්ට ලබා දෙන්නට හැකියාවක් ද නැත. උහුලාගත නොහැකි බඩගින්න හමුවේ බොහෝවිට ඇතැම් දරුවන්ගේ කුස පිරෙන්නේ තැම්බූ වට්ටක්කා කැබැල්ලකින්, පුච්චා ගත් රොටියකින් හෝ එක් ව්‍යංජනයක් සමඟ සැකසුණ බත් කටකින්ය.

එයද තුන්වේලට නොලැබෙන්නකි. පවුලේ ආර්ථිකය මත විටෙක වතුර උගුරකින් ඔවුන්ගේ කුස පිරවෙන අවස්ථාද ඇත. අනුරාධපුර, මොණරාගල, හම්බන්තොට ආදී වශයෙන් ඈත දුෂ්කර කර්කෂ ප්‍රදේශ ගත්කළ යථාර්ථය එය බව අවස්ථා කිහිපයකදී මේ ලියුම්කරු අත්දැකීමෙන් දැන සිටින්නකි.

ඉන් කියැවෙන්නේ දුෂ්කර ප්‍රදේශයන්ගෙන් මෙපිට තත්ත්වය එසේ නොවේ යැයි කීම නොවන්නේය. අති බහුතරයක් නැතත් කොළඹ ගම්පහ වැනි දිස්ත්‍රික්කයන් තුළද එසේ විඳවන දරුවෝ සිටින්නාහ. චීස්, බටර්, චොකලට්, කිරිපිටි, යෝගට් වැනි රස ආහාර මෙකී දරුවන් වැරදීමකින් හෝ රසවිඳින්නේ නම් එසේ කරනුයේ ඇස්වලිනි. එවැන්නක් මුවඟ තබා රස විඳින්නට ඔවුනට වාසනාවක් නැත. එහෙත් ඔවුන්ද මේ රටේ උපන් අපේම දරුවෝය.

රසමසවුලු සහිත ටොන් ගණනක ආහාර දිනකට කුණු ගොඩට විසිවෙන රටක ඔවුන් දුක්ඛිතව සිය ජීවිත ගතකරනුයේ එසේය. තිත්ත ඇත්ත ඇත්තේ එතැනය. ඉදින් මේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ නැතැයි සිහිබුද්ධිය ඇති කිසිවකුට හෝ කිව හැකිව තිබේද?

තුන්දාහක් හිරෙන් නිදහස් කළොත් රටේ මන්දපෝෂණය ඉවරයි!

එම දරුවන් පමණක් නොව, මෙරට බිම්මට්ටමේ සිටින දිළිඳු පවුල්වල සාමාජිකයන්, අනුන්මත යැපෙන කාන්තාවන්, ගැබිනියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආදී ලෙසින් මන්දපෝෂණයට ගොදුරු වී සිටින තවත් පිරිසක්ද ඇත. මේ සියලු දෙනා රජයෙන් යම් සහනාධාරයක් ඉල්ලා සිටින්නෝ වන්නාහ.

මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේදී වසරකට හඳුනා ගන්නා දිළිඳු ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාව අසූදහසක් (80000) ක් පමණ වෙති. ඔවුන් බිහි කරන දරුවන්ට ළදරු වියේ සිටම ලැබෙන පෝෂණය කෙසේ වනු ඇතිදැයි වටහා ගැනීමට එය ඉතා පැහැදිලි සාධකයකි. ඉතින් තවත් කවර කතාද?

සැබැවින්ම මේ තත්ත්වය වෙනස් කර ඔවුන්ගේ ජීවිතවලට සහනයක් අත්කර දීමට රටක් වශයෙන් අපට හැකියාවක් නොමැතිද? මේ දරුවන්ට, ගැබිනියන්ට, මව්වරුන්ට කෙටියෙන්ම කිවහොත් රටේ අනාගතයට සහ ඒ අනාගතය රටට දායාද කළ අම්මාවරුන්ට පෝෂණීය ආහාර වේලක් ලබා දෙමින් ඔවුන් නඟාසිටුවන්නට අපට නොහැකිද?

පැහැදිලිවම හැකියාව ඇත. ඒ සඳහා ඩොලර් වැය වන්නේද නැත. කළ යුතුව තිබෙන්නේ රාජ්‍ය වියදම්වලින් කොටසක් ඉතිරිකර ගන්නා ක්‍රමවේදයක් සකසා ඒ මුදල් ඔවුන් වෙනුවෙන් වැය කිරීමේ ප්‍රතිපත්තිමය තීන්දුවන් ගැනීමය. වර්තමානයේ මේ රට ඇදවැටී තිබෙන තැනින් ඉදිරියට ගෙන යෑමේදී එවැනි තීන්දු තීරණවලට එළැඹීම අත්‍යවශ්‍යය.

හතළිස් වසරක පමණ රාජ්‍ය පාලනයේ අනුහසින් අද ශ්‍රී ලංකාවේ අපි දිළින්දන් වී සිටින්නෙමු. බිංදුවේ සිට යළි ගමන ඇරඹීමට දැන් අපට සිදුව ඇත. මේ අනුව ආරම්භයේ සිට මෙතෙක් වැරදුණු තැන්ද නිවැරදි කරගනිමින් ගමන ගියහොත් එය මේ බිමට ආශීර්වාදයක්ම වනු ඇත.

එසේ වුවහොත් ලෝක සහනාධාර දෙස බලා අපි දුප්පත් රාජ්‍යයක වැසියෝ යැයි යළි කිසි දිනෙක ජාත්‍යන්තරයට පවසන්නට අපට සිදු නොවනු ඇත. එහිදී ජය ගන්නේ මේ පිං බිමේ උපන් සහ ඉපදෙන අපේ දරු මුණුබුරෝ වන්නාහ. ශ්‍රී ලංකාව යනු නේක සම්පත් අතින් ගත් කළ අධිපෝෂිත රාජ්‍යයකි. අපට නැත්තේ ගිනි කඳු, භූමි කම්පා සහ සුළි සුළංය. එම තත්ත්වය තුළ කළ යුතු නිවැරදි දේ සිදු කරමින් වැටී සිටින තැනින් මුළු රටම නැගිටුවා අනාගතයේ මේ බිමේ යළි සශ්‍රීක රාජ්‍යයක් ගොඩනඟන්නට අපේ පාලකයන් සූදානම්ද?

වර්තමානයේ මන්දපෝෂණයෙන් පීඩිතව දුක් විඳින මේ රටේ සියලු දරුවනට තුන්වේලට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙමින් ඔවුන් සනසාලන්නට වසරකට වැය වෙන මුදල රුපියල් කෝටි හැටක් තරම් වන්නකි. සමීක්‍ෂණයක යෙදුණු සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ වගකිවයුතු කණ්ඩායම් ඒ බව තහවුරු කරති. එකී මුදල රුපියල් කෝටි 150 ක් 200 ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ නම් රටේ දිළිඳු පවුල්වලට මෙන්ම දුප්පත් ගැබිනි මව්වරුන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද ත්‍රිපෝෂ සලාකයේ සිට සියල්ල ලබා දිය හැකි බවට ඔවුහු තහවුරු කරති.

ඒ අනුව බලන කල මන්දපෝෂණයෙන් පෙළෙන මේ රටේ දරු පරපුර එකී ව්‍යසනයෙන් ගලවා ගැනීම සඳහා අපට මුලින්ම අවශ්‍ය වන්නේ රාජ්‍ය වියදමින් රුපියල් කෝටි හැටක මුදලක් ඉතිරි කරගනිමින් ඒ මුදල දරුවන්ගේ නිසි පෝෂණය වෙනුවෙන් වැය කිරීමය. මේ මුදල සොයා ගන්නේ කෙසේද? කිසිවකුත් බියවිය යුතු නැත. ඒ සඳහා මැති ඇමැති වැටුප් කප්පාදු කළ යුතු යැයි අපි නොකියමු. රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹෙන්නේ නම් එකී මුදල සොයා ගැනීම ඉතා පහසුවෙන්ම සිදුකළ හැකිය.

අවශ්‍ය වන්නේ රට අද ඇද වැටී තිබෙන තැන පිළිබඳ අවධානය යොමුකර රටේ ජනතාව වෙනුවෙන් නොබියව අවශ්‍ය තීන්දුව ගැනීමය. ඇතැම්විට එවැනි තීරණවලට එළැඹීම අභියෝගාත්මක විය හැකිය. එසේම අවදානම්සහගතද විය හැකිය.

එහෙත් ගැටලුව අප ඉදිරියේ නම් එයට විසඳුම් සෙවීම පිණිස ඕනෑම අවදානම්සහගත සහ අභියෝගාත්මක තීන්දුවක් ගැනීමට අප පසුබට නොවිය යුතුය. මන්ද අද අප වැටී සිටින තැනින් නැඟිටින්නට නම් නොබියව තින්දු තීරණවලට එලැඹීම අත්‍යවශ්‍ය වන නිසාය.

එය සිදු කරන්නේ කෙසේද? මේ රටේ බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා සිටින රැඳවියන්ගේ ආහාර උදෙසා ඉදිරි මුදල් වර්ෂය වෙනුවෙන් වෙන්කර තිබෙන මුදල රුපියල් කෝටි හාරසිය හැත්තෑවකි. (කෝටි 470) රුපියල් කෝටි හාරසිය හැත්තෑවක් යනු රුපියල් ලක්‍ෂ හාරදහස් හත්සියයකි. මෑතක සිට සිදුව තිබූ බන්ධනාගාරගත වන පිරිසේ ප්‍රමාණය ඉහළ යෑමේ ප්‍රවණතාව අනුව ඉකුත් බදාදා වන විට මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා සිටි රැඳවියෝ සංඛ්‍යාව විසිපන්දහස් අටසිය හතළිස්හයක් (25846) වූහ.

බන්ධනාගාරගත වූවන් නිදහස් වීම සහ ඇප මත නිදහස්ව යෑම ආදී කරුණු අනුව මෙම සංඛ්‍යාවේ ඉලක්කම් වෙනසක් වරින් වර සිදු වුවද එම 25846 ගණන සමඟ සසඳා බැලුවහොත් රජය දිනකට එක් සිරකරුවකු වෙනුවෙන් ඉදිරි මුදල් වර්ෂයේදී වැය කිරීමට නියමිත මුදල රුපියල් එක්ලක්‍ෂ අනූදහසකට (190000) ආසන්නය.

එක් රැඳවියකු වෙනුවෙන් දිනකට වැය කරන මුදල රුපියල් 530 ට ආසන්නය. රජය දරණු ලබන මෙකී වැය බරෙන් අද රට පවතින තත්ත්වය තුළ අපට අත්වන විශේෂ වාසිය කුමක්ද?

රට තුළ සිදුවන සොරකම්, මිනී මැරීම්, කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්, ස්ත්‍රී දූෂණ ආදී වශයෙන් සමාජ විරෝධී ක්‍රියා මර්දනය කිරීම උදෙසා එකී මුදල වැය කිරීමෙන් සමාජ සුරක්‍ෂිතභාවය ඇති කෙරෙන බව මෙහිදී දැන් ඇතැම් පණ්ඩිතයකු පැවසිය හැකිය. ඔව්. සමාජයේ සාමකාමී පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහ සුබසිද්ධිය උදෙසා මිනී මරුවන්, කොල්ලකරුවන්, කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමුන් සහ ස්ත්‍රී දූෂකයන් ආදී ලෙසින් වූ බල අපරාධකරුවන් නෛතික ක්‍රියාමාර්ග තුළින් සිරගතකර තැබිය යුතුය. එහි තර්කයක් නැත.

එහෙත් අද මේ රටේ බන්ධනාගාර පද්ධතිය තුළ රක්‍ෂිත බන්ධනාගාරගතව සහ සිරගතව සිටින සියලු දෙනා එවැන්නෝද? නැත. සමස්ත සමාජයට ප්‍රබල කම්පනයක් ඇති නොකළ, සුළු වැරදි සහ අල්ලස් ගැනීම්, මහා පරිමාණ නොවන මුදල් වංචා, පුරාවස්තු හෙවත් නිධන් ගැනීමට තැත් කිරීම් වැනි සිදුවීම් හමුවේ මේ මොහොත වන විට සිරගතව සිටින පිරිස 3000 කට අධික වන්නාහ.

ඇතැම්හු මෙහිදී රුපියල් 5000 ක 10000 ක අල්ලසක් ගැනීම හේතුවෙන් දඬුවම් නියම කෙරෙමින් සිරගත කෙරුනෝ වෙති. මෙවන් පිරිසක් සිරගතව තබා නොමිලේ ආහාර වේලේ සිට සියල්ල ලබා දෙමින් පෝෂණය කිරීම මේ මොහොතේ රටට දරාගත හැකිද?

අප එකී සංඛ්‍යාව තුන් දහසක් ලෙස සලකා ගණන් බැලුවහොත් එම පිරිස නඩත්තු කිරීම වෙනුවෙන් රජය වසරකට වැය කරන මුදල රුපියල් කෝටි 57 කි. රටේ දහසකුත් ගැටලු තිබියදී මෙවැනි පිරිසක් සිරගතව තබා ගෙන මෙතරම් මුදලක් ඔවුන් වෙනුවෙන් වසරකට වැය කිරීම අද පවතින අර්බුදය හමුවේ රටට ප්‍රයෝජනවත් වන්නක්ද?

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සමීක්‍ෂණ අනුව සඳහන් කෙරෙන පරිදි මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා අවැසිව ඇත්තේ වසරකට රුපියල් කෝටි හැටක් පමණ බව අපි මුලින්ද සඳහන් කළෙමු. එසේ නම් මෙකී තුන්දහසකට අධික වූ සිරකරුවන් පිරිස නිර්ණායක රැසක් යොදා ගනිමින් හොඳින් තෝරා බේරා දැඩි කොන්දේසි මත බැඳුම්කර යටතේ හෝ නිදහස් කර යැවීමට කටයුතු කළහොත් අද අපේ දරු පරපුර පීඩාවට පත්ව සිටින මන්දපෝෂණය තුරන් කිරීමට අපට හැකි නොවේද?

පැහැදිලිවම පුළුවන. එකී තුන්දහසකට අධික සියලු දෙනා සමඟ සමාජයට බලපෑමක් එල්ල නොවන වැරදි හමුවේ දීර්ඝකාලීනව සිරගතව සිටින්නන් ද සැලකිල්ලට ගෙන කිසියම් ක්‍රමවේදයක් අනුව ඒ සියලු දෙනා නිදහස් කර යවන්නට කටයුතු කෙරුණහොත් දරුවන්ගේ ප්‍රශ්නය මෙන්ම සෙසු ගැටලුද අවසන්ය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු නීති ක්‍ෂෙත්‍රයේ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර අධිකරණ මඟින් රක්‍ෂිත බන්ධනාගාරගත කරන පිරිස අවම කිරීමේ ක්‍රමවේදයක් වෙත ගමන් කිරීමේ හැකියාවද රජයට ඇත. එහිදීද යම් මුදලක් ඉතිරිකර ගත හැකිය. එසේ කිරීමෙන් ඉතිරිවන මුදල් යොදවා දිළිඳු ගැබිනි මව්වරුන්ගේ පෝෂණීය අවශ්‍යතාද සපුරාගත හැකිවනු ඇත. එසේම දිළිඳු පවුල්වල කුසගින්න හා ජ්‍යේෂඨ පුරවැසි මන්දපෝෂණයද අවසන් වන්නේය.

බන්ධනාගාර ප්‍රකාශවලට අනුව නම් එසේ සිරකරුවන් නිදහස් කර යැවීම සමාජයට බරපතළ විපාක දෙන කරුණකි. එහෙත් රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරය දරන සමයේ මරණ දඬුවම හිමිවූවන්ද සමඟ දහසකට අධික සිරකරුවන් පිරිසකට පොදු සමාවක් ලබා දුන්නා අපට මතකය. එසේම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය හොබවන සමයේදීද එවැනි නිදහස්කර යැවීමක් සිදුවිය. බන්ධනාගාර වාර්තාවලට අනුව නම් එසේ නිදහස් කර යැවුණු සිරකරුවන් අතරින් එක් අයකු දෙන්නකු හැරෙන්නට කිසිවකුත් යළි සිරගත වී නැත.

මරණීය දණ්ඩනය නියම වී එසේ නිදහස්ව ගිය සිරකරුවන් අතරින් මෙතෙක් බන්ධනාගාර ඉතිහාසයේ නැවත මරණීය දණ්ඩනය හිමිවී සිරගතව ඇත්තේ එක් පුද්ගලයකු පමණි. එහිදී සිදුව ඇත්තේ ද ඔහු පෙර දඬුවම විඳිමින් සිටියදී විභාග වෙමින් තිබූ තවත් නඩුවකට අනුව මරණ දඬුවම නියම වීමය. මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ මරණීය දණ්ඩනය නියම වී සිරගතව වන පුද්ගලයකු දසවසරකට පසු සිටින්නේ නිදහසක් හිමි වුවහොත් යළි බන්ධනාගාරයක් දෙස හැරී නොබලන තත්ත්වයකට පත්වය. සිරගතවීමේදී ලබන ඛේදනීය අත්දැකීම තුළ යළි ඔවුන් සිරගත වන්නට සිතන්නේවත් නැත. යථාර්ථය එයය.

එසේම මෙවැනි නිදහස් කිරීමකදී අවශ්‍ය නම් නිදහස් කර යවන පුද්ගලයන්ට දැඩි කොන්දේසි පැනවීමට රජයට හැකියාව ඇත. ඔවුන්ව අධීක්‍ෂණය කිරීමට ප්‍රදේශයේ පොලිසිවලට පුළුවන. යළි වරදක් කළහොත් පෙර දඬුවම යළි ක්‍රියාත්මක කරන බව දන්වා බැඳුම්කරයක් මත නිදහස් කර යවන එකී පුද්ගලයන්ට පොලිසියේ හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සතියකට වතාවක් අත්සන් කළ යුතු බවටද නියමයන් පනවා දැඩි රැකවල් යෙදීමේ හැකියාවද ඇත.

මේ අන්දමට කරනු ලබන නිදහස් කිරීමකදී තවත් පැත්තකින් සිදුවන දෙයක්ද ඇත. මෙහිදී නිදහස් වී යන පුද්ගලයන් අතරින් අති බහුතරය පියවරුන්ය. එසේ නැතහොත් පවුලක ආදායම් උපයන්නාය. නිදහස් වීමෙන් පසු ඔහු පැනවෙන කොන්දේසි අනුව වරදකට යොමු නොවී රැකියාවක් කිරීමට කටයුතු කළහොත් ඉහළ යන්නේ පවුලේ ආර්ථික තත්ත්වය ය.

එහිදීද සෙතක් වන්නේ එම පවුලේ දරුවන්ටය. ඇතැම් විට එමඟින්ද දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයට පිළිතුරක් ලැබීමට ඉඩක් ඇත. එසේම කාන්තා හිංසනය ඉහළ ගොස් තිබෙන වත්මන් සමාජ තත්ත්වය තුළ යළි සැමියාගේ රැකවරණය ලැබීම හමුවේ බිරිඳගේ රැකවරණය ද සැලසෙන්නේය.

නිසි ක්‍රමවේදයක් යටතේ පැහැදිලි සැලසුමකට අනුව මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් අද රට ඇදවැටී තිබෙන තැන පිළිබඳ සිතීමේදී කිසිවකුටත් අවැඩක් විය හැකිද? අප ඒ විමසීම මේ මොහොතේදී කරනුයේ වැටී තිබෙන රට ගොඩනඟන්නට පැහැදිලි වෙහෙසක් දරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය පිණිසය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment