ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් සමරු උළෙල අදට යෙදී තිබේ. තායිලන්ත අගමැති ස්‍රෙතා තුවිසින් මහතා එහි ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතය. රටක නිදහස් උළෙල යනු එරටේ සියලු පුරවැසියන්ගේ අභිමානයට මෙන්ම ජාතික සංස්කෘතික අභිලාෂයන්ද උද්දීපනය කරනු ලබන සාඩම්බර ආවර්ජනයන්ගෙන් ජනතාව ප්‍රමුදිත වන විශිෂ්ට අවස්ථාවකි. සියලු යදම් සිඳලමින් ජාතීන් අතර සුහදත්වය හා සමානත්වය උත්කර්ෂයට පත්වන නිමේෂයක් ලෙසද ජාතික නිදහස් දිනයක් හැඳින්වීම නිවැරදිය. ඉතා සැකෙවින් කිවහොත් ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙස සමරනු ලබන්නේ බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් නැතහොත් ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් අප නිදහස් වූ දිනයයි. ලංකාවට එදා හිමිවූ නිදහස මෙන්ම අපේ නිදහස පිළිබඳ ඉතිහාසය විවිධ සමාජ විiාඥයන් මෙන්ම දේශපාලනඥයන් විසින්ද විවිධ අයුරින් අර්ථකථනය කරනු ලැබ ඇත. ලංකාව බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් බවට පත්කර ගැනීමත් එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ ජාතික සංස්කෘතික වටිනාකම් විනාශ මුඛයට පත්වූ බවත් පොදුවේ පිළිගන්නා කරුණකි. අපේ ජාතික ආධ්‍යාත්මයෙහි හැම මූලයක්ම විනාශ කිරීමටත් විකෘති කිරීමටත් ඉංග්‍රීසි පාලකයන් සමත් වූ බව සමහරු අවධාරණය කරති. එහෙත් එය විවේචනාත්මකව පිළිගන්නා විද්වත්හුද සිටිති.

නිදහස් සැමරුම් ජනතාවට තහනම්!

කෙසේ වුවද ශ්‍රී ලාංකික සභ්‍යත්වයෙහි හා සංස්කෘතියෙහි අභිනව යුගය අනුරාධපුර රාජධානිය බිහිවීමත් සමග සමාරම්භ වීමත් ඉනික්බිතිව විවිධ ආක්‍රමණිකයන්ගේ හා අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රියාකාරකම්වලට මුහුණ දෙමින් මේ රට ඉදිරියට ගමන් කළ ආකාරයද අපට සිහිපත් කළ හැකිය. දැනට තිබෙන වාර්තා සියල්ල විසින්ම තහවුරු කරනු ලැබ ඇත්තේ ලංකාවේ අවසන් පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේදී මෙරට ඉංග්‍රීසීන්ගේ පාලනයට යටත් කර ගත හැකි වූ බවය. උඩරට රාජ්‍යය බිඳ වැටීමත් ඉංග්‍රීසීන් රජවීම හෙවත් ලංකාව ඔවුන්ගේ යටත්විජිතයක් බවට පත්වූ ආකාරය සම්බන්ධයෙනුත් මෙහිදී අපට සාකච්ඡා කිරීමට අවකාශ නැත. කුමක් වුවත් ලාංකික පාලනයේම අභ්‍යන්තර ගැටුම්, බලකාමී අරගල ආදියෙහි ඛේදනීය ප්‍රතිඵලය වූයේ ඉංග්‍රීසින් මේ රට යටත් කර ගැනීම බව නිසැකය. එලෙස මෙරටේ ආරම්භ වූ යටත්විජිත පාලනය අනුව අපේ දේශපාලන අධ්‍යාපන හා පරිපාලන කටයුතු සියල්ල සිදුවූ අතර මෙරටේ සංස්කෘතික වටිනාකම් හා ජාතික සිරිත් විරිත්ද වෙනස් වූ බවද රහසක් නොවේ.

කුමක් වුවත් ලංකාවේ ඉංග්‍රීසි පාලන සමය විසින් මෙරටේ ජාතික සංස්කෘතික වටිනාකම් පද්ධතිය සියුම්ව විනාශ කළ බවට ජාතිකත්වය හා නිදහස පිළිබඳ වූ කතිකාවල නැඟෙන චෝදනාවය. ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග ගැටෙමින් නිදහස උදෙසා කළ ආකාරයේ අරගලයක් මෙරටේ සිදුවී නැතැයි මේ සංවාදවලදී බොහෝ දෙනෙකු විසින් මතු කරන ලද තර්කය විය. අපට වඩා වෙනස් සමාජ දේශපාලන ගැඹුරක් එදා ඉන්දියාවේ නිදහස් සටන් ව්‍යාපාරය තුළ වූ බව පැවසීමට අපි පසුබට විය යුතු නොවෙමු. ඇත්ත වශයෙන්ම මහත්මා ගාන්ධි හා මහාකවි රබින්ද්‍රනාත් තාගෝර්ගේ දායකත්වය වුවද ඒ භාරත නිදහස් සටන විචිත්‍ර කළ බව නිසැකය.

‘ඒවු නිදහසේ ස්වර්ණ රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ’ යැයි භාරතීය ජනතාවට තාගෝර් කවියා විසින් කරන ලද සාඩම්බර ආමන්ත්‍රණය අදත් අපේ ගුවන් තලයේත් නිදහස් සමයේ රැව් දෙන්නකි. මා මෙයින් අදහස් කළේ අපේ සංස්කෘතික දුගී භාවයක් නොව අපගේ නිදහස් ක්‍රියාවින්තයේ මුල් පෙළ සිටි දේශපාලන මැදිහත්වීම්වල අවුලයි. අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන මෙන්ම ආනන්ද කුමාරස්වාමි හා කුමාරතුංග මුනිදාස ඇතුළු විද්වත් හා ප්‍රබුද්ධ පරපුරක්ද අපට වූහ.

ආනන්ද කුමාරස්වාමි දැඩිව කළ අවධාරණයක් වූයේ ලංකාව මෙන්ම ඉන්දියාව ද ස්වදේශික අභිමානයෙන් ඈත්වූ රටවල් බවට පත් කිරීමට බ්‍රිතාන්‍ය පාලකයන් ක්‍රියා කළ බවය. බටහිර අනුකාරක බුද්ධිමතුන්ට ‘කළු සුද්දන්’ යැයි උපහාසයෙන් හැඳින්වූ අනගාරික ධර්මපාල හා පියදාස සිරිසේන වැනි දේශප්‍රේමීන්ගේ කාර්ය භාර්යට අදත් සරදම් සිනා නඟන අය සිටිති. ජාතිකත්වය හා සංස්කෘතිය පිළිබඳවූ විවාදයට මැදිහත්වීමට අප රිසි නොවූවත් මේ දෙකම වැරදි කෝණවලින් අල්ලා ගැනීම නිසා අපට සිදුවූ දේශපාලන හා සංස්කෘතික අලාභය බරපතළ බව නම් අපගේ අදහසය. ජාතිකත්වය හා සංස්කෘතික අනන්‍යතාව යනු කිසිසේත් නොතකා හැරිය හැකි හෝ හැරිය යුතු දෙයක් නොවන බවද අපි සඳහන් කරමු. ඉන්දියාවේ කීර්තිමත් රාජ්‍ය නායකයකු වූ ජවහර්ලාල් නේරු විසින් කළ ප්‍රකාශයක්ද මේ සම්බන්ධයෙන් උපුටා දැක්විය හැකිය.

‘පෙරදිග හා අපරදිග සංස්කෘතීන්ට මැදිව සිටීමත්, ස්වදේශීය භාෂා සංස්කෘතික උරුමයන්ගෙන් ඈත්ව සිටීමත් බටහිර අධ්‍යාපනයෙහි නිබඳ ඇසුරක් නිසා මා ඒ දෙකෙහි විකෘති සුසංයෝගයක ඵලයක් දැයි ඇතැම් විටෙක නැඟෙයි.

අගමැති නේරු එසේ සිය ආධ්‍යාත්මය අව්‍යාජව හෙළි කළත් ඔහු කිසි විටෙක තම ජාතික සංස්කෘතික මුල් සිඳ නොගත් නායකයකු බවද සඳහන් කළ යුතුය. එසේම බටහිරින් හෝ ඕනෑම තැනකින් අවශ්‍ය හා වුවමනා සාධනීය දේවල් ලබාගැනීමේ වරදක් නැති බව අපද පිළිගත යුතුය. මා කල්පනා කරන්නේ ධර්මපාල, පියදාස සිරිසේන වැනි විද්වතුන් නිරතව සිටියේ ජාතික සංස්කෘතික ප්‍රබෝධයෙහි පෙර ගමන්කරුවන් ලෙස බවය. පියදාස සිරිසේනගේ සාහිත්‍ය නිර්මාණ නිර්දය ලෙස විචාරයට ලක් කරන ඇතැම් නවීනයන්ට මේ යථාර්ථය පසක් නොවූ බවද පෙනේ. මෙරටේ දේශපාලනය සමග ඒ චින්තනධාරාව සංයෝග නොවීම වෙනම කරුණකි. ඉන්දියාවේ පමණක් නොව බටහිර ලෝකයේද ගෞරවයට පාත්‍රව සිටින මහත්මා ගාන්ධි එංගලන්තයේ උගත් එසේ වුවද ඒ සංස්කෘතිය වැළඳ නොගත් මහා පුරුෂයෙකි. ගාන්ධිගේ ජීවන පුවත් විමසා බලන විට ඔහු තුළ වූ අදීනත්වය මෙන්ම ජාතිකත්වය පිළිබඳ හැඟීම්ද විස්මය දනවන සුළු කරුණුද හමුවේ. එසේම ගාන්ධි අව්‍යාජව සඳහන් කර ඇත්තේ ඔවුන් පළමුවරට බුදුන් වහන්සේ පිළිබඳ දැන ගත්තේ ‘ලයිට් ඔෆ් ඒෂියා’ Light of Asia කෘතිය කියවීමෙන් පසුව බවය. මෙය උත්ප්‍රාසය දනවන කරුණකි. මක්නිසාද යත් භාරතීය මහා පුද්ගලයකු වූ ගාන්ධි තම දේශයේ පරමාර්දර්ශ විමුක්තියාදයකයකු මුණිවරයකු වූ බුදුන් වහන්සේ පිළිබඳ බටහිර ලේඛකයකුගෙන් දැන ගැනීමය. ශ්‍රී ලංකාවේ නිදහස පිළිබඳ සමරනු ලබන මෙබඳු අවස්ථාවකදී වුවද අපේ නිදහස පිළිබඳ ප්‍රබල අභිමානයක් හෝ උත්කර්ෂවත් හැඟීමක් ඇති වන්නේද යන්න නිශ්චිතව කිව නොහැක. මේ වන විට වාර්තා වී තිබුණු තත්ත්වය අනුව නම් නිදහස් උළෙලට ජනතා සහභාගීත්වය නැත. එය හුදු හමුදා පෙළපාලි ආදිය ප්‍රදර්ශනය කෙරෙන රාජ්‍ය නායකයා ප්‍රමුඛ සෙසු නිලබල අභියස කෙරෙන සංදර්ශනයකි. ත්‍රිවිධ හමුදාවලත් පොලිසියේත් 6125 ක සංඛ්‍යාවක් ඒ පෙළපාලිවලට එක්වන බවද වාර්තා කර තිබුණි. එසේම මෙවර නිදහසේ තේමාව ‘හදමු අලුත් රටක්’ බවද සඳහන් විය. පෙර සඳහන් කළ පරිදිම තායිලන්ත අගමැතිවරයා සම්භාවනීය ආරාධිතයකු ලෙස එම අවස්ථාවට සහභාගී වන බව නිවේදනය කර තිබුණි.

1948 පෙබ. 04 වැනිදා පැවැත්වුණු ලංකාවේ ප්‍රථම නිදහස් උළෙලේ ආරාධිතයා ලෙස පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍ය මහ රජුගේ සහෝදරයකු වූ ග්ලෝස්ටර් ආදිපාදිවරයාය. එවක අගමැතිව සිටියේ 1947 මැතිවරණයෙන් ජය ලද ඩී. ඇස්. සේනානායකය. මෙම නිදහස් උළෙල පැවැත්වෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය යටතේය. එසේම 2020 මැතිවරණවලින් ජයග්‍රහණය කළ පොදු ජන පෙරමුණේ ජනාධිපති ගෝඨාභයත් ඔහුගේ අගමැති වූ මහින්දත් අද රට මෙහෙයවීමේ වගකීම රනිල්ට පවරා දීමද සුවිශේෂ සිදුවීමක් වැන්න. ඒ කුමක් වුවත් 76 වසරකට පසු මෙරටේ නිදහස පිළිබඳ යථාර්ථය කුමක්ද? අපි ඊට පෙර අපේ පළමු නිදහස් උත්සවය වෙත යොමු වෙමු. එදා ලංකාව වෙනුවෙන් උත්සව සභාව ඇමතූ ඒ වන විට එජාප ආණ්ඩුවේ පළාත් පාලන හා සෞඛ්‍ය ඇමැතිවරයා වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් කරන ලද ප්‍රකාශ අදටත් වලංගු යැයි හැඟේ. මේ ඔහුගේ අදහස්වලින් බිඳකි.

නිදහස් සැමරුම් ජනතාවට තහනම්!

‘දාස භාවයේ දීර්ඝ නිද්‍රාවකින් පිබිදී අපි නැවතත් නිදහස්, නිවහල් භාවය නමැති නව ජීවිතය කරා පා තබමු’

අප ලත් නිදහස කෙබඳු එකක් දැයි විශේෂ ආරාධිත ග්ලෝස්ටර් ආදිපාදවරයාටත් දැනෙන ව්‍යක්ත ඉංග්‍රීසි බසින් බණ්ඩාරනායක කළ කතාවේ සිංහල පෙළ ගැස්ම මෙසේය.

‘දැන් අප භුක්ති විඳින මේ ජාතික නිදහස අපට ලැබුණේ කෙසේද? කිසියම් ස්ථිර ප්‍රතිපත්ති කලාපයක් උඩ හෝ ක්‍රියා කලාපයක් අනුව හෝ සටන් කිරීමෙන් අපේ ජාතික නිදහස අපට ලැබුණා නොවේ. ඉන්දියාව, පකිස්තානය හා බුරුමය ආදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ පැවති රටවල් ජාතික නිදහසට පත් වෙනවාත් සමගම මේ සෝල්බරී ආණ්ඩු ක්‍රමය ඇති කිරීමෙන් අපටද ජාතික නිදහස ප්‍රදානය වුණේය. ඒ සම්බන්ධයෙන් කිසිම කරුණක් හෝ වෙනසක් ඇති නොවීය. එක් උදෑසනක අප අවදිවූ කල ලංකාව දැන් නිදහස් රාජ්‍යයෙකැයි අපට කියවන්නට ලැබුණේය.’

‘තමන් විසින් ඉදිකරන ලද මාවතක මෝටර් රථය පදවමින් සිටි ඉංග්‍රීසි ජාතිකයා හදිසියේම රථය නතර කොට, ස්වකීය සේවකයා අමතා දැන් ඉතින් ඔබ මේ රථය භාරගෙන ඔබට කැමති පරිද්දෙන් එය පදවාගෙන යා යුතුයි. මම පසුපස ආසනයට යන්නෙමියි කියන්නාක් මෙන් ලංකාව හදිසියේම ලාංකිකයන්ට භාරවීම නිසා මේ චේතනාව මෙසේ ඇතිවී යැයි සිතන්නට ඉඩ තිබේ.

(බණ්ඩාරනායක චරිතයෙන් උපුටා ගත්තකි)

බණ්ඩාරනායකගේ මෙම විවරණයට අටුවා ටීකා වුවමනා නැත. එලෙස අපට, වඩාත් නිවැරදිව කිවහොත් අපේ දේශපාලන පක්‍ෂවලට ලැබුණු ඒ භාරයට සිදුවූයේ කුමක්ද යන්නටද පිළිතුරු මේ හැත්තෑ හය වසරක කාලය තුළ ලංකාව පාලනය කළ යුග හා නායකකාරකාදීන් වෙතින් ලබාගත හැකිය. ඒ දීර්ඝ හා දුෂ්කර ප්‍රයත්නය මේ කියවන පාඨක ඔබට පැවරෙන්නකි. එසේ වුවද අපේ නිදහස පිළිබඳ කතාවේ කඩඉම් කීපයක් ලෙස 1956, 1970 හා 1978 සඳහන් කළ යුතුය. 1956 සිදුවූ දේශපාලන වෙනස් පිළිබඳ ජනප්‍රිය හැඳින්වීම වන්නේ එය පනස් හයේ විප්ලවය හා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයෙහි විජයග්‍රහණයක් ලෙස දැක්වීමය. එසේම බණ්ඩාරනායක ඔහුද අයත් වන ධනේශ්වර හා වරප්‍රසාද සහිත පන්තියෙන් එළියට පැමිණ සේනානායක, ආධිපත්‍ය බිඳ දැමූ බවටද විග්‍රහයක් ඇත. 1956 දී සිදුවූයේ ඉංග්‍රීසි අනුකාරක පන්තිය විසින් නොතකා හරින ලද සිංහල බසත් එහි නියෝජිතයන් ලෙස සිටි ගුරුවරුන් කලාකරුවන් මෙන්ම භික්‍ෂූන් වහන්සේද ඉදිරියට පැමිණීමක් බව අපගේ අදහසය. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ සටන් පාඨය එදා එජාපයෙන් තරග කළ කොතලාවලද යොදා ගත්තකි. බණ්ඩාරනායක එය පැය විසිහතරෙන් කරන බවට දුන් පොරොන්දුව බහුතර ජනතාවක් විශ්වාස කළ බව පෙනුණි. කොළඹ යුගයේ කවියන් මෙන්ම ඩබ්ලිව්. ඒ. සිල්වා වැනි ජනප්‍රිය නවකතාකරුවන් ඇතුළු භාෂා පෙරමුණු නියෝජිතයෝද බණ්ඩාරනායකට සහාය දුන්හ. ඒ සමග දේශීය වෛiවරුන්ගේ හා අලුත් ලාංකික ව්‍යාපාරිකයන්ගේ පෙළ ගැස්වීමක්ද තිබුණි. සිංහල බෞද්ධ ජාතික අනන්‍යතාව සමාජ ගතවීමේ සමාරම්භය මෙම පනස්හයේ පරිවර්තනයේ ප්‍රතිඵලයකි. (මෙම ලියුම්කරුගේ කෘතියක් වන ‘පරපුටු දේශපාලනය හා තරවටු ප්‍රජාතන්ත්‍රවාදය’ නමැති ග්‍රන්ථයෙහි මේ පිබඳ දීර්ඝ විග්‍රහයක් ඇත.)

1956 විජයග්‍රහණය හා සිංහල රාජ්‍ය භාෂාව බවට පත්වීම සිංහල දෙමළ විරසකයක් ඇති වීමට හේතුවූ බවටද සමහරු දක්වති. සිංහල ජාතිවාදය හා දෙමළ ජාතිවාදය තේමා කරගත් විවාද මෙන්ම දෙමළ අන්තවාදීන්ගේ ඊළාම් අරගලය ආදිය සම්බන්ධ විවිධ ප්‍රතිචාර අදත් අඩුවක් නැතිව දැක ගත හැකිය. මෙය වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි. එහෙත් සිංහල හා දෙමළ විද්වතුන් හා දේශපාලනඥයන් මෙහිදී තම ජනතාවට ප්‍රබුද්ධ ආමන්ත්‍රණයක් නොකිරීමද කැපී පෙනුණි. එපමණක් නොව අපේ දේශපාලනය තවමත් බුද්ධිමය දර්ශනයක් මත පදනම්ව ජාතික සමගියක් ගොඩනඟා ගැනීමට වුවමනා අනුග්‍රහය ලබා නොදෙන වඳ පීදුනු ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන බව මේ නිදහස් සැමරුම් අතර අපට සිහිපත් වන්නකි.

ගාලුමුවදොර හමුදා පෙළපාලි සංදර්ශනයක් බවට නිදහස් උළෙල පත්වීමට මෙරට රටේ ජන ජීවිතයට බලපාන ඉන්ධන මිල ඇතුළු තවත් මිල සංශෝධන කීපයක්ද සිදුවිය. ජනාධිපති හා ව්‍යවස්ථා සභාව අතර වූ ගැටුම යළිත් මතුවී තිබේ. ව්‍යවස්ථා සභාව විධායකයට බාධා කරන්නේ යැයිද ජනාධිපති රනිල් කරන විවේචනය තුළ කිසියම් තරවටුවක් තිබේද? ඔහුගේ කාර්ය භාරයට හරස් වන ආයතනයක් ලෙස ඔහු එම සභාව දකින්නේද යන සැකයද ඒ ප්‍රකාශ දෙස බලද්දී මතු වන්නකි. ඒ සමගම ආණ්ඩුවේ මර්දන ක්‍රියාදාමයේද සැහැසි බව පෙන්වන සිදුවීම් කීපයක්ද මේ සතියේ දැකගත හැකි විය. මේ වන විටද අසාමාන්‍ය අයුරින් කුණුවීමට ලක්ව තිබෙන සෞඛ්‍ය සේවයේ අර්බුදය බෙහෙවින් උත්සන්න වී තිබෙන අතර එයට විරෝධතා දැක්වූ විද්වත් පිරිස්වලටද පොලිස් අත්අඩංගුවට පත්වීමට සිදුවිය. විපක්‍ෂ නායක සජිත් ඇතුළු එම පක්‍ෂයේ ප්‍රමුඛයන් එක්වූ විරෝධතාවකටද කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලින් උපහාර දැක්වූයේ නිදහස් උළෙලට දින කීපයකට පෙරය.

මේ නිදහස් සමරු උළෙලකට සැරසෙන ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන චිත්‍රයද? ජනතාවට තහනම් කලාපයක් ලෙස නිදහස් උළෙල පවතින භූමිය නම්කර තිබේනම් ඒ නිදහස අභිමානවත් එකකැයි කිව හැකිද? රටක නිදහස් දිනය හමුදා පෙළපාලි හා වෙනත් සංදර්ශනවලින් යුතු ජනතාවගෙන් ඈත්වූ රජුන් මැතිඳුන් පිනවන උත්සවයක් පමණක් නම් ඒ සඳහා ජනතාවගේ මුදල් වැය කිරීම සාධාරණදැයි ප්‍රශ්න කරන අයද සිටිති. මේ ලිපිය අවසන් කිරීම සඳහා විශ්ව සාහිත්‍ය කලාකරුවන්ගේ සම්භාවනාවට පාත්‍රවූ ප්‍රකට කෙටි කතා හා නවකතාකරුවකුද වූ ගී ද මෝපසාංගේ නිර්මාණයක් වූ භූතවේසය නමැති කෙටි කතාවෙන් කොටසක් දැක්වීම කෙතරම් උචිතදැයි ඔබම සිතාබලන්න. මෝපසාං එදා ප්‍රංශ ජනරජ උළෙල දුටුවේ මෙසේය.

අද ජනරජ දිනයයි. මම පුරයේ වීථි ඔස්සේ ගමන් කළෙමි. රාත්‍රි අහසට නැඟ පුපුරා යන අහස් වෙඩි හා සුළඟින් වැනෙන ධජ පතාක දෙස බලා මම දරුවකු මෙන් ප්‍රීති වීමි. රජයේ නියෝගයෙන් මහජන මුදල් වැය කොට පවත්වන උත්සවවලට සහභාගි වී විනෝද වීම නොහොබිනා කමකි. අඥාන කමකි. මෙවන් දවස්වල ප්‍රීතිවන මහජනයා කිසිවක් හරිහැටි තේරුම් ගත නොහැකි මෝඩයෝ වෙති. විටෙක ඔව්හු පාලකයන් කරන තාඩන පීඩන නිවටයන් මෙන් ඉවසා සිටිති. තවත් විටෙක චණ්ඩ ලෙස කැරලි ගසති. නුඹලා උත්සව පවත්වපල්ලා. ප්‍රීති වෙයල්ලා යැයි කී විට ඔව්හු උත්සව පවත්වති. නුඹලාගේ අසල්වැසියාට ගහපල්ලා, බැණපල්ලා, ඇනපල්ලා යයි කී විට ඔව්හු එසේ කරති. මහරජතුමාට පක්‍ෂපාතව කීකරුව, එතුමාට ඡන්දය දීපල්ලා යැයි කී විට ඔව්හු මහරජතුමාට ඡන්දය දෙති. සැබැවින්ම මහජනයා නාස් ලණුව අදින අතට හැරෙන ගොන් රැළක් නොවේද? ඔවුන්ගේ පාලකයෝද මෝඩයෝ වෙති. විපරීත බුද්ධිය ඇත්තෝ වෙති’

භූතාවේසය සිරිල් සී. පෙරේරා පරිවර්තනයකි

advertistmentadvertistment
advertistmentadvertistment