වසංගතයක බරපතළකම සකල ලෝකවාසීන්ම දැන ගත්තේ කොවිඩ් වසංගතය රටවල් 229 ක පැතිරීමෙන් ඇවෑමෙන් ය. තවමත් වසංගතයට මුල්වූ නව කොරෝනා වෛරසයේ ප්‍රභේද වෙනස් වෙමින් ලොව පුරා පැතිරෙමින් පවතියි. එසේ තිබියදී ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආර්ථික ෆෝරමය සහ විද්‍යාඥයන් කණ්ඩායමක් ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවරට එක්වී නුදුරු අනාගතයේදී කවර හෝ දිනක පැමිණෙන වසංගතයක් ගැන අවධානය යොමු කර ඇත. එය නම් කර ඇත්තේ ඩිසීස් එක්ස් (“Disease X”) ලෙසිනි.

මෙය මන:කල්පිත රෝග බීජ කාරකය වෛරස පවුල් විසි ගණනින් කුමක් හෝ විය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වසර 2018 දක්වා බලපෑ වෛරස නිසා ඇතිවූ රෝග තත්ත්ව පිළිබඳ ඒ සංවිධානය අවධානය යොමුකර තිබෙයි. විද්‍යාඥයන් ගේ අදහසට අනුව ඩිසීස් එක්ස් නව කොරෝනා වෛරසයට වඩා විසි ගුණයක් මාරාන්තික ය. එයින් සිතා ගත යුත්තේ කොවිඩ්වලින් මිලියන ගණනක් මිය ගියා නම් ඩිසීස් එක්ස් ශරීරගත වීමෙන් ඊටත් වැඩි රෝගීන් සංඛ්‍යාවක් මිය යා හැකි බව ය.

★ මොකක්ද මේ ඩිසීස් එක්ස් ?

මෙය සරම්ප, පෝලියෝ, ඉන්ෆ්ලුවෙන්සා මෙන් අසවල් වෛරස රෝගය කියා නම් කළ හැක්කක් නො වෙයි. ඩිසීස් එක්ස් හුදෙක් සංකල්පයක් පමණි. මේ නමින් සංකේතවත් කරන්නේ තවමත් හඳුනා නොගත් අනාගතයේදී මිනිසාට බරපතළ තර්ජනයක් විය හැකි බවට අනුමාන කරන රෝගයකි. මෙය මුහුද සත් ගව්වක් තිබියදී අමුඩ ගැසීමක් හා සමානය. එහෙත් ඒ අමුඩ ගැසීම ලෝක ප්‍රජාව ගේ සුවසෙතට ඉතා වැදගත් ය.

★ එය කොරෝනා, ෆ්ලූ වෛරස්වලට ද නෑකම් කිව හැකිය. නව වෛරසයක් වීමට ද පුළුවන.

එන්නට නියමිත ලොවම බිය ගන්වන වසංගතයක්!

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හට ගන්නේ ද කොරෝනා වෛරස කාණ්ඩයකිනි. සාර්ස් ( severe acute respiratory syndrome) සහ මර්ස් (Middle East respiratory syndrome) වසංගතයක් ඇති කිරීමට තරම් දරුණු කොරෝනා වෛරස කාණ්ඩ වුව ද රෝගය වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ හේතුවෙන් ගෝලීය වසංගත තත්ත්වයක් ඇති නො විණි. සාර්ස් රෝග තත්ත්වය මුලින් හඳුනාගෙන ඇත්තේ ද චීන ප්‍රාන්තයකිනි.

මේ වන විට කොවිඩ් – 19 වසංගතයට මුල පිරූ නව කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ ගෝලීය ජනතාව සතුව ඇත.

ෆ්ලූ වෛරස කාණ්ඩ වන ඉබෝලා සහ සිකා ද වසංගත ඇති කළ හැකි ෆ්ලූ වෛරසය. විද්‍යාඥයන් වසරකට අඩු වශයෙන් නව වෛරස දෙකක්වත් සොයා ගනී. ඩිසීස් එක්ස් මේ කුමන වෛරස කාණ්ඩයකින් හෝ නිර්මාණය වූවක් වීමට පුළුවන.

★ නො දන්නා වෛරස් රෝගයක් ගැන මෙතරම් පෙර සූදානමක් ඇයි ?

තමන් ගේ ජීවන රටාවේ වරදින් හෝ පරම්පරාවෙන් උරුම වන දියවැඩියාව, හෘදයාබාධ වැනි බෝ නො වන රෝග මෙන් නොව මේ රෝග වාතයෙන් ජලයෙන් ආහාර මගින් පැතිරෙන බැවින් සමස්ත ප්‍රජාවට ම රෝගය බෝවීමේ අවදානමක් පවතියි. කොවිඩ් – 19, ඉන්ෆ්ලුවෙන්සාව, අතීත වසංගතයක් වූ ස්පාඤ්ඤ ෆ්ලූ සියල්ලම වාතය මගින් පැතිරෙන වෛරස් රෝග ය.

විද්‍යාඥයන්, ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් – 19 න් උගත් පාඩම් ඉදිරි වසංගතයට මුහුණ දීමේදී ප්‍රයෝජනයට ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියි. නව රෝග කාරක බීජයට කොවිඩ් එන්නත් ක්‍රමයක් වන mRNA එන්නත් යොදා ගැනීම පිළිබඳව ද විද්‍යාඥයන් ගේ අවධානය යොමුවී ඇත. ඒ සඳහා දැනටමත් ඇස්ට්‍රසෙනිකා අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති මයිකල් ඩිමෙයාර් ඩාවොස් රැස්වීමේදී කියා සිටියේ රෝගය කළමනාකරණය පිළිබඳ අවධානය යොමු කර ඇති බව ය.

★ ඩිසීස් එක්ස් විසි ගුණයක් මාරාන්තික විය හැකි බව සිතන්නේ ඇයි?

ලෝක ජනගහනය උපරිම මට්ටමක ඇති නිසා රෝගීවන ප්‍රතිශතයත් මිය යන ප්‍රතිශතයත් ඉහළ යෑම ස්වාභාවිකයි.

සෑම සීත කාලයකදීම ස්වසන රෝග හිස ඔසවන අතර කුමන මොහොතේ තවමත් හඳුනා නොගත් ඩිසීස් එක්ස් තර්ජනයක් වේදැයි කිව නො හැකි ය. වඩා වැදගත් වන්නේ පෙර සූදානම ය. වාර්ෂිකව විද්‍යාඥයන් විසින් අලුතින් වෛරස හඳුනා ගන්නා අතර එයින් ම අදිසි ඩිසීස් එක්ස්හි අවදානම ගැන අපට සිතා ගත හැකිය.

චම්පිකා දීපානි රණසිංහ
අන්තර්ජාලයෙනි

advertistmentadvertistment
advertistmentadvertistment