ස්වසන රෝගයක පෙර නිමිති පහළ වන තුරු අපට හුස්මක අගය දැනෙන්නේ නැත. කොවිඩ් – 19 හුස්මක අගය කියා දී හුස්ම ගැනීමටවත් කාලයක් නො දී තවත් හුස්ම සිර කිරීමක් සිදුකරමින් පවතියි. එය කාලයක සිට මිනිසා ඇතුළු සත්ත්ව සන්තතිය වායු දූෂණයට ගොදුරු වෙමින් සිටියි.

මෙතෙක් වායු දූෂණයේ තරම ශ්‍රී ලාංකිකයන්ට නො දනුණේ අපේ යෝධ අසල්වැසි රට ඉන්දියාව වායු දූෂණයෙන් බරපතළ ලෙස බැට කෑව ද ලංකාවට එය එපමණට ම බල නො පෑ බැවිනි. එහෙත් වායුවට වැට බැඳිය නො හැකි ය. ඉන්දියාවේ වායු දූෂණය ලංකාවට ද බලපාමින් පවතියි. මේ වන විට ලංකාවේ වායු දූෂණයේ ඉහළ යාමක් දැකිය හැකි නිසා කොළඹ, ගාල්ල, යාපනය, මන්නාරම සහ මඩකලපුව ප්‍රදේශවාසීන්ට මුහුණු ආවරණ (මාස්ක්) පලඳින ලෙසට මධ්‍යම පාරිසරික අධිකාරිය මගින් දැනුම් දී තිබිණි. විශේෂයෙන් වයෝවෘද්ධ, දිගුකාලීනව රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්, පාසල් ළමයින්, ගැබිනි මවුවරුන් මුහුණු ආවරණයෙන් හෝ දූෂිත වායුවෙන් බේරී සිටීමට වග බලා ගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇත. දරුවන්ට එළිමහනේ සිටින කාලය සීමා කිරීමටත් ඇදුම රෝගීන්ට නිතර ඉන්හේලර්ස් ළඟ තබා ගන්නා ලෙසටත් වෛද්‍ය උපදෙස් ලැබී තිබෙයි.

● වායු දූෂණය වැඩිම නගර

මේ වන විට ලොව රටවල්වල් ගණනාවක වායු දූෂණය හේතුවෙන් ප්‍රධාන නගර රැසකම කොවිඩ් කාලයේදී මෙන්ම නිවෙසේ සිට වැඩ කිරීමේ ක්‍රියා පිළිවෙත හඳුන්වා දී ඇත. වායු දූෂණය වැඩි දිනවල පාසල් පවා වසා දැමෙයි.

මෑතකදී තායිලන්තයේ බැංකොක් නුවර කාර්යාල සේවකයන්ට එරට රජය විසින් නිවෙසේ සිට රාජකාරි කරන ලෙසට උපදෙස් ලබා දුණි. ඊට හේතුව වූයේ පසුගිය දිනක ලොව වායු දූෂණය ඉහළම නගරවල් දහය අතරට බැංකොක් නගරයත් නම්කර තිබීම ය.

තායිලන්තයේ පසුගිය වසරේදී පරිසර දූෂණය නිසා ඇතිවූ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අඩු වශයෙන් මිලියන දෙකකටවත් වෛද්‍ය ප්‍රතිකාර පැතීමට සිදුව ඇත. එරට අගමැති ශ්‍රෙතා තස්විසින් පවිත්‍ර වාතය ජාතික න්‍යාය පත්‍රයට ද ඇතුළත් කළ ද තවමත් කිසිදු වෙනසක් සිදුවී නැත. පසුගිය මාසයේ එරට ෂියැං මායි අධිකරණය විසින් දින 90න් වායු දූෂණය අවම කිරීමට වහාම සැලැස්මක් යොදන ලෙසට අණ කර තිබෙයි. ඉන්දියාවේ දිල්ලි ඇතුළු නගර ගණනාවක් ම ලොව ඉහළ වායු දූෂණයක් ඇති නගර අතර පෙරමුණ ගනියි. දකුණු ආසියාවට ම අයත් පකිස්තානයේ ලාහෝර්, බංග්ලාදේශයේ ඩකා නිරන්තරවම වායු දූෂණය ඉහළ නගර අතර පෙරමුණ ගනියි. 2018 වසරේ ලොව වායු දූෂණය ඉහළම නගර පනහ අතර නගර 25ක් ඉන්දියාවෙන් ද නගර 22ක් චීනයෙන් ද වාර්තා වී තිබිණි. 2024 වසරේ ශ්‍රේණිග කිරීම්වලට අනුව වායු දූෂණය ඉහළ ම නගර අතරට ඉන්දියාවේ දිල්ලි, පත්නා, නව දිල්ලි, චන්දිගාර්, විසාකාපට්නම්, මුසාෆර්නගර් යන නගර ඇතුළත් විය. පකිස්තානයේ ලාහෝර්, බංග්ලාදේශයේ ධකා සහ නේපාලයේ කත්මන්ඩු ද වායු දූෂිත නගර අතර තිබීම අපේ රටට දල්වන රතු එළියකි.

● වායු දූෂණය මෙතරම් භයානක ඇයි ?

අප වායු දූෂණයට ගොදුරු වන්නේ හොර රහසේ වුව ද ප්‍රතිඵල ලොවට විද්‍යමානය. හෘද රෝග, ආඝාතය, පිළිකා වැනි රෝග තත්ත්ව, විවිධ ස්වසන රෝග වාගේම රෝග රැසකට වායු දූෂණය හේතුවන බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලින් සහතික වී අවසන් ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වාර්ෂිකව අකල් ගෝලීය මරණ මිලියන හතකට පමණ වගකිව යුත්තේ වායු දූෂණයයි. ගෝලීය ජනතාවගෙන් සියයට 99ක් ආස්වාස කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මට්ටමට වඩා ඉහළ දූෂිත අංශු ප්‍රමාණයක් අඩංගු වාතය ය. මේවා අපේ සිරුරට ඇතුළුවී බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරයි. දූෂිත වායු අංශු පෙණහලුවල සහ හෘද පද්ධතියේ ගැඹුරටම ගමන් කරයි. හෘද රෝග, ආඝාතය, ස්වසන රෝග, විවිධ පිළිකා ඉන් කිහිපයක් පමණි.

දිගුකාලීනව පමණක් නොව කෙටි කාලීනව ද වායු දූෂණය සෞඛ්‍යයට බලපායි. ජාතික රෝහලේ සෞඛ්‍ය බලධාරීන් ඇදුම රෝගීන් ගේ රෝගය උත්සන්න විය හැකි බව පෙන්වා දෙයි. එපමණක් නොව නිදන්ගත පෙණහලු අවහිර වීමේ රෝගයෙන් COPD/Chronic obstructive pulmonary disease පීඩා විඳින්නන්ට තත්ත්වය තවත් බරපතළ වෙයි.

● ලංකාවේ තත්ත්වය

ලංකාවේ ආහාර පිසීමේදී සහ වාහන ධාවනය වීමේදී පරිසරයේ වාතය දැඩි ලෙස දූෂ්‍ය වෙයි. ගඩොල් පෝරණු වැනි කුඩා කර්මාන්ත මගින් පිටවන දුම ද මීට වගකිව යුතුය. කොළඹ නගරයේ වායු දූෂණයට 70 % කටම වගකිව යුත්තේ වාහනවලින් පිටවන දුම ය. ඇතැම් වාහන වසර පහළොවකටත් වඩා පැරැණි ය. අපේ රටේ ධාවන කරන ඇතැම් පැරැණි වාහන මේ වන විට ඉන්දියාව වැනි රටවල තහනම් කර ඇති වාහන ය.

සුළඟ මගින් දූෂිත වායුව ශ්‍රී ලංකාවට පැමිණීම දැන් ප්‍රබල ගැටලුවක් වෙමින් පවතියි. එටේ පවතින දූෂ්‍ය වායුව දෙගුණ තෙගුණ කිරීමට එය හේතුවී ඇත. එබැවින් නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාවක් හිමි කර දීම පිළිබඳව වගකිව යුත්තන් ගේ දෑස් ඉක්මනින් ම යොමු වීමට කාලය එළඹ තිබෙයි.

සටහන – චම්පිකා දීපානි රණසිංහ
උපදෙස් – කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස.

advertistmentadvertistment
advertistmentadvertistment