මේ ප්‍රහාරය එල්ල කළ ප්‍රධානම තුවක්කුකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව දරුණු ලෙස වධහිංසා පමුණුවා තිබේ. සමහරුන්ගේ පුරුෂ ලිංගයට විදුලි සර වද්දවා තිබේ. තවත් අයකුගේ කන කපා දමා ඇත. මේ සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවල ද සංසරණය විය. ප්‍රහාරකයන් ඉරිදා දිනයේ මොස්කව් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ මොවුන්ට දරුණු ලෙස වධ හිංසා පමුණුවා ඇති බව පැහැදිලි විය. අත්අඩංගුවට පත් පුද්ගලයින් තජිකිස්තාන ජාතිකයින් බව පසුව හෙළිව තිබිණි. මේ වධහිංසා පිළිබඳව උරණ වූ අයිසිස් සංවිධානය ජනපති පුටින්ගෙන් හා රුසියානුවන්ගෙන් යළිත් පළිගන්නා බව දන්වමින් දෙවනවරටත් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබිණි. එහි මෙසේ සඳහන් විය. “සියලු කැත රුසියානුවන් ගෙන් කෙරෙන ඉල්ලීමකි. ඉස්ලාමීය රාජ්‍ය සිරකරුවන්ට වධ දීම නවත්වන්න. පරෙස්සම් වන්න! අල්ලාගත් අපේ සහෝදරයන් වෙනුවෙන් ඔබගෙන් පළිගැනීමට අපට අවස්ථාවක් නැතැයි සිතන්න එපා. ‘සිකුරාදා ප්‍රහාරයේදී, අපි ඔබට ඔප්පු කළා, දෙවියන් කැමති නම්, ඉස්ලාමීය රාජ්‍යයේ මුජාහිදීන්වරු ඔබව ඕනෑම භීෂණයකට ලක්කර දඬුවම් කළ හැකි බව. අල්ලාගත් මුජාහිදීන්වරුන්ට වධහිංසා පැමිණවීම සහ ඔවුන්ගේ වීඩියෝ ප්‍රසිද්ධ කිරීම හරහා අපගේ දහස් ගණනක් වන සාමාජිකයන් අතර ඔබට එරෙහි ඔබේ ලේ පිපාසය වැඩි කරයි. දෙවියන් කැමති නම් තවත් සමූල ඝාතනයකට සූදානම් එයට ඉතා ඉක්මනින් දෙවියන් කැමති. වේවි.”

එහෙත් රුසියාව ත්‍රස්තයන්ට සලකන්නේ ඔවුන්ගේ ක්‍රමවේදයට ය. එතැන බබා පාර්ට් නම් නැත. යක්ෂයින්ට සලකන්නට යක්ෂ ක්‍රමවේදම භාවිතා කර තිබේ.

මොස්කව් ප්‍රහාරයේ යක්ෂයන්ට යක්ෂ ප්‍රහාරක්!

මේ අතර රුසියානු පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුවේ සභාපති අන්ද්‍ර කාටපොලොව් පවසන්නේ යුක්‍රේනය හා එහි බටහිර අනුග්‍රාහකයන් මොස්කව් ප්‍රහාරයේ ප්‍රධාන කොටස්කරුවන් බවයි. එහෙත් යුක්‍රේන හමුදා ප්‍රකාශක අන්ද්‍රියි යුසොව් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට තම හමුදාවල කිසිම සම්බන්ධයක් නැති බවයි. ප්‍රහාරකයන් යුක්‍රේනය බලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවට රුසියානු හමුදා සිදුකරන ප්‍රකාශය අන්ද්‍රියි යුසොව් කියන්නේ එය රුසියානු විශේෂ සේවාවන්ගේ තවත් ‘බොරුවක්’ බවයි. මේ ප්‍රහාරය පිටුපස අයිසිස් සිටින බවට පළ කරන ප්‍රකාශ ගැන මොස්කව් ආණ්ඩුව කිසිදු ප්‍රකාශයක් කර නැත.

ප්‍රහාරයෙන් පසුව ජාතිය අමතමින් රුසියානු ජනපති පුටින් මොස්කව් ප්‍රහාරය ‘ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක්’ ලෙස දැඩි ලෙස හෙළා දුටු අතර ප්‍රහාරකයන් යුක්‍රේනයට පැන යෑමට උත්සාහ කිරීමේදී රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද බව ප්‍රකාශ කර තිබිණි. මේ ප්‍රහාරය නිසා දැඩිව යුක්‍රේනයට පහර දෙන්නට පුටින් බලා සිටින බව රහසක් නොවේ. බටහිර ලෝකය මොස්කව් ප්‍රහාරය අයිසිස් වෙත පවරන්නේද මේ ගැටුම තවත් දුර යෑම වැළැක්වීමටය. නමුත් සිදුවන්නේ ලේ වැගිරීම තවත් වැඩිවීම පමණි. මොස්කව් ප්‍රහාරයට පසු දින ධවල මන්දිරය ප්‍රකාශ කළේ රුසියාවට එල්ලවූ “නීච” ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින අතර ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය පරාජය කළ යුතු පොදු ත්‍රස්තවාදී සතුරකු ලෙස දකින බවයි. මොස්කව් ප්‍රහාරය දේශපාලන බල අරගලයේ කොටසක් වී ඇත. කවරක් නමුත් මේ ප්‍රහාරය නිසා ජීවිත 150කට වැඩි ප්‍රමාණයක් අහිමි විය. දරුවන් මෙන්ම රූප රාජිනියන් ද මියගිය අය අතර වේ.

සෙම්යෝන් කාර්පොස්ටෝව්ගේ බිරිඳ සිකුරාදා රාත්‍රියේ ප්‍රසංගයට සහභාගි වූ අතර දැන් ඇය අතුරුදන් වී සිටියි. තමා රෝහල් පහකට ඇමතීමට උත්සාහ කළ නමුත් දුරකථන මාර්ග සියල්ලම කාර්යබහුල බව හෙතෙම කියයි. “මම සම්පූර්ණයෙන්ම භීතියට පත් වෙලා ඉන්නේ. මොකක්ද කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. බලාපොරොත්තු අතහැරලා ඉන්නේ ඇත්තටම.”

මොස්කව් ප්‍රසංගයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ එතැන සිරවී සිටි සිය ගාණක් ප්‍රේක්ෂකයින් බේරාගත් පාසල් සිසුන් දෙදෙනෙක් ගැන රුසියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. එක් වීරයෙක් වන්නේ 15 හැවිරිදි ඉස්ලාම් කාලෝයි වන ආතර අනෙක් සිසුවා 14 හැවිරිදි ආර්ටෙම් දොන්ස්කොව් වේ. මේ දෙදෙනා මෙම ප්‍රසංග ශාලාවේ වෙළෙඳ සහායකයන් ලෙස අමතර රැකියාවක නිරතවෙමින් සිටි අය වෙති. ප්‍රහාරයෙන් පසු ලබා ගත් සිසිටීවී දර්ශනවල දැක්වෙන්නේ ඉස්ලාම් සිසුවා නිර්භීතව අනතුරට පත්ව සිටින පුද්ගලයින් ආපදාවෙන් බේරීම සදහා පලා යා හැකි දොරවල් වෙත යොමුකරන අන්දමයි.

මොස්කව් ප්‍රහාරයේ යක්ෂයන්ට යක්ෂ ප්‍රහාරක්!

“ඇත්තම කියනවා නම්, මම ගොඩක් බය වුණා. නමුත් මිනිස්සු හිරවුණොත් මහා විනාශයක් වන බව දැනගත්තා. කලබල සිදුවීමක් වුණොත් මිනිස්සු පිටකරන්න ඕන තැන් ගැන අපට උපදෙස් ලැබිලා තිබුණේ. ඒ නිසා ඔවුන්ව ආරක්ෂාවට වෙනුවෙන් යවන්න ඕන තැන මම දැනගෙන හිටියා,” ඉස්ලාම් කාලෝයි පවසා තිබිණි. ධෛර්ය සම්පන්න පිරිමි ළමයා සන්සුන්ව සිටිමින් තුවක්කුකරුවන්ගෙන් බේරීම සඳහා පලා යන බියට පත් මිනිසුන්ට මඟ පෙන්වමින් ජීවිත සිය ගණනක් බේරා ගත්තේය. අනෙක් සිසු ආර්ටෙම් දැවෙන ගොඩනැඟිල්ලෙන් පිටවීමට මගක් සොයන කණ්ඩායමක් ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. මේ වීරත්වයට උපහාර පිණිස මෙම සිසු යුවළට ඔවුන්ගේ පාසල විසින් ලැප්ටොප් සහ සහතිකපත් ලබා දුන් අතර රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරයා ඔවුන්ට නිර්භීත පදක්කම් ප්‍රදානය කර තිබිණි. “ඔවුන් නිහතමානීව පවසන්නේ ඔවුන් කළ යුතු දේ කළ බවයි,” මාරියා ලෙවෝවා-බෙලෝවා පවසයි. රුසියාවේ ප්‍රධාන ආගමික සංවිධානයක් වන රුසියාවේ මුස්ලිම්වරුන්ගේ ආධ්‍යාත්මික සභාවෙන් ඉස්ලාම් සිසුවා වෙත මේ සතියේ සම්මානයක් ලබා දීමට නියමිතය. මුස්ලිම් දරුවෙක් ලෙස ඔහු අන්තවාදී ප්‍රහාරය හමුවේ කටයුතු කළ අයුරු සැමට ආදර්ශයකි. ප්‍රකට රැප් ගායක මොර්ගස්ටර්න් පැවසුවේ තමා තරුණ වීරයාට රූබල් මිලියනයක් ලබා දෙන බවයි. “මේ සියල්ල සිදුවුණේ මගේ ඇස් ඉදිරිපිට තමයි. ඇත්තම කිව්වොත් මම තාම ඉන්නේ කම්පනයෙන්. මගේ ඉස්සරහම මිනිහෙකුට වෙඩි තිබ්බා, මට ඒ ගැන හිතන එක නවත්තන්න බෑ” මේ කුඩා වීරයා ඉස්ලාම් කියයි. ඇත්තෙන්ම වීරයින් බිහිවන්නේ විපත් අවස්ථාවකදීය. ඒ අයට සැබෑ ගෞරවය හිමිවිය යුතුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment