‘ෆෝන් ආන්සර්’ නොකළ ඕඅයිසීලා හතකට වැඩ වරදී

5263

මහජනතාව විසින් ලබාදෙන දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූ පොලිස් ස්ථානාධිපතිවරුන් 07 දෙනෙකුට එරෙහිව පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් වංචා විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අපරාධකාරයන් පිළිබඳ තොරතුරු ලබාදීමට මෙන්ම හදිසි අවස්ථාවන්වලදී ප්‍රදේශයේ පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයාගේ රාජකාරි ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද ඊට කිසිම අවස්ථාවක ප්‍රතිචාර නොදැක්වූ බවට මහජනතාව විසින් පොලිස්පතිවරයාට අවස්ථා ගණනාවකදී පැමිණිලි කර තිබිණි.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් සංදේශ කොට්ඨාසය මගින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි එක් පළාතක පොලිස් ස්ථාන 05ක් බැගින් අහඹු ලෙස තෝරාගෙන මෙම විමර්ශනය ක්‍රියාත්මක කෙරිණි. එහිදී බුත්තල, තඹලගමුව, තිරික්කෝවිල්, චීන වරාය, කටුපොත, වෙන්නප්පුව, වාද්දුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් තම රාජකාරි ජංගම දුරකථනයට කිසිදු අවස්ථාවක ප්‍රතිචාර දක්වා නොතිබිණි.

ඒ අනුව මෙම පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස්පතිවරයා කියා සිටියේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට රාජකාරි ජංගම දුරකථන ලබාදී ඇත්තේ මහජනතාවට වඩා හොඳ රාජකාරියක් ලබාදීම සඳහා බවයි.

එසේ නොකර මහජනතාවගේ දුක් ගැනවිලිවලට ඔවුන් ලබාදෙන වැදගත් රහසිගත තොරතුරුවලට කන් නොදී රාජකාරිය පැහැර හරින පොලිස් ස්ථානාධිපතිවරුන් රාජකාරි සඳහා සුදුසු නැති බවද පොලිස්පතිවරයා කීවේය.

මේ ආකාරයට රාජකාරි ජංගම දුරකථනයට දිගින් දිගටම ප්‍රතිචාර නොදක්වන ස්ථානාධිපතිවරුන් පිළිබඳව වහාම පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කරන ලෙස පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment