ජගත් පාපන්දු තරගාවලියක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

180

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දෙවන අදියරයට සුදුසුකම් ලබන්නට අසමත් වන රටවල් සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් අලුතෙන්ම හඳුන්වා දෙන ලෝක ශූරතා පාපන්දු තරගාවලියේ සත්කාරක අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමි වී ඇත.

ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අනුග්‍රාහකත්වය මත සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් මෙරටදී පැවැත්වීමට නියමිත වේ. එම තරගාවලිය ලබන මාර්තු මස පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ සඳහා සහභාගී වන අනෙක් රටවල් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ආසියානු, අප්‍රිකානු සහ ඕෂනියා කලාප නියෝජනය කරමින් එම රටවල් තුන නම් කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා සඳහන් කරයි.

පසුගිය දා දෝහා හි පැවති ආසියානු පාපන්දු කුසලාන සමාරම්භක උත්සවයේ දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් මත අදාළ තරගාවලියේ සත්කාරක අවස්ථාවක් ශ්‍රී ලංකාවට උරුම වූ බව ජස්වර් උමාර් මහතා සඳහන් කර සිටී. එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පාපන්දු උප සභාපතිවරුන් වන රංජිත් රුද්‍රිගෝ සහ මනිල් ප්‍රනාන්දු යන මහත්වරු ද සහභාගී වී ඇත. ශ්‍රී ලංකා නියෝජිත පිරිස ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි මාවත පැහැදිලි කිරීමෙන් පසු මෙරට පාපන්දු ක්‍රීඩාව නැංවීමට අවශ්‍ය සහයෝගයක් ලෙස එම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවූ බවද අදාළ නියෝජිතයෝ පැවසූහ.

ශ්‍රී ලංකාව මේ වනවිට පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 209 වැනි ස්ථානයේ පසුවන අතර එම ස්ථානයෙන් ඉහළට පැමිණීම සඳහා මෙය හොඳ අවස්ථාවක් වනු ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment