ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස 98,000ක ඉදිකිරීම් නතර වෙලා – කෝප් කමිටුවේ දී අනාවරණය වෙයි

39

රු. මි. 10,000ක් කිසිදු ඇපයකින් තොරව ණය දීලා

ආර්ථික තත්ත්වය හේතුවෙන් වැඩ ආරම්භ කර ඇති නිවාස 98,000ක ඉදිකිරීම් කටයුතු මේ වනවිට නතර වී ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) දී අනාවරණය වී තිබේ.

2011 වසරේ මිලියන 10,000කට ආසන්න මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලෙස ලබාදී ඇති බවද එහිදී හෙළි වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කැඳවා තිබිණි.

මෙහිදී 2019 සහ 2020 වර්ෂ සදහා වූ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබදව විමර්ශනය කිරීම සිදුවිය.

අධිකාරියේ සාමාන්‍යධිකාරී තනතුර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක් වැඩබලන තනතුරු බව අනාවරණය විය. මෙහිදී ලේකම්වරයා පවසා සිටියේ මෙම අධිකාරිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව බඳවා ගැනීම් සිදු කර ඇති බැවින් එය නිවැරදි මාවතට ගැනීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බවයි.

මෙහිදී අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේ වැඩබලන තනතුරු 16න් සුදුසුකම් ඇත්තේ 5කට ආසන්න පිරිසකට බවයි. මේ අනුව අභ්‍යන්තරිකව සුදුසුකම් සහිත පුද්ගලයන් මෙම තනතුරුවලට පත් කිරීමට කටයුතු කරන ලෙසද බාහිරින් ද සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවා බඳවාගැනීමට කටයුතු කරන ලෙස ද නියෝග කෙරිණි.

ලබා දී ඇති මිලියන 10,000කට අධික ණය මගින් ඇපවී ඇත්තේ අධිකාරියේ ගිණුම් පමණක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය තුළ මෙම මුදල් අය කර ගැනීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත්, තවත් බිලියන තුනකට අධික ප්‍රමාණයක අයකර ගැනීමට ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මේ අනුව මෙම ණය යෝජනා ක්‍රමය පිළිබඳව සංක්ෂිප්ත වාර්තාවක් කඩිනමින් කමිටුවට ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය. තවද ආයතනයේ වත්කම් ඇපයට තබාගනිමින් මෙවැනි ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා කඩිනමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද පැමිණ සිටි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන්ට නිර්දේශ කරන ලදී.

පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් වැඩ ආරම්භ කර ඇති නිවාස 98000ක ඉදිකිරීම් කටයුතු අතරමඟ මේ වන විට නතර වී ඇති බවද අනාවරණය විය. මෙම නිවාස ඉදිකිරීම් නිම කිරීමට තවත් රුපියල් මිලියන 24000ක් අවශ්‍ය බවද මේ වන විට රුපියල් මිලියන 3750 ක් වෙන් කර ඇති බවද සභාපතිවරයා පැවසීය. මේ අනුව ඉදිරියේදී මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශයට ඉල්ලීම් කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අනාවරණය වූයේ 2015- 2019 කාලයේ දී පුහුණු සේවකයන් 5296 බඳවා ගෙන ඇති බවත් ඉන් 2800කට ආසන්න ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති බවත්ය. ඔවුන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා යොදවා ඇති බවත් ඔවුන් සඳහා වැටුප් ලෙස රුපියල් මිලියන 2148 ක් ගෙවා ඇති බවත් අනාවරණය විය. නිලධාරීන් පවසා සිටියේ අනවශ්‍ය පුහුණු සේවක පිරිස ඉවත් කිරීමෙන් පසු මේ වන විට පුහුණු සේවකයන් 167 දෙනෙකු පමණක් සේවය කරන බවයි.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment