සමාජවාදය කියන්නේ ජන ජීවිත හා පෞද්ගලික කර්මාන්ත විනාශ කරන්නක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

65

සමාජවාදය කියන්නේ ජන ජීවිත, ජීවනෝපාය, නව ව්‍යවසාය සහ පෞද්ගලික කර්මාන්ත විනාශ කරන මහා බලවේගයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ගෙන ආ අවස්ථාවේ සුද්දියන්ට යට ඇඳුම් මැසීමට ගමේ තරුණියන් යොදා ගන්නවා කියා පාද යාත්‍රා යමින්, රට පුරා භීෂණයක් වැපුරුවත් අද එම කර්මාන්තශාලා නිසා බංකොලොත් අප රටට ඩොලර් ලැබෙමින් පවතින බවත් අප රටට නව සංකල්ප හඳුන්වා දෙනකොට එයට විරුද්ධ වන මෙවැනි පුද්ගලයන් අදටත් සිටින බවත් පවතින අන්ධකාරය තුළින් රිදී රේඛාව නිර්මාණය කර ගැනීමට නම් මෙවැනි පසුගාමී සිතුවිලිවලින් බැහැරව ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සමාජවාදය තුළින් මැණික් කර්මාන්තය, තේ කර්මාන්තය දියුණු කළ නොහැකි බවත් අන්ත වාමාංශික රජය කේන්ද්‍ර කර ගත් ආර්ථික රටාවක් තුළින් ව්‍යවසායකයන්ට ඉදිරියට යා නොහැකි බවත් මේ සමාජවාදය ජන ජිවිත හා ජීවනෝපාය විනාශ කරන මහා පිළිලයක් බවත් එය රටටත් ජනතාවටත් කරන මහා ද්‍රෝහිකමක් බැවින් 2019 මෙන් නැවත වරක් නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (27 දා) රත්නපුරයේ පැවැති සමගි ජන බලවේග ආර්ථික දැක්ම එළි දැක්වීමේ බ්ලූප්‍රින්ට් වැඩසටහන හා එක්වෙමිනි.

ව්‍යාපාරිකයන් දහඩිය මහන්සියෙන් උපයන දේ රජයේ භාරකරත්වයට ගත හොත් සිදුවන දේ මොකද්ද කියා බුද්ධිමත්ව සිතන ලෙසත් විකල්ප යැයි කියා ගන්නා පුද්ගලයන් බලයට පැමිණිය හොත් සිදු වන්නේ එවැනි දෙයක් බවත් ව්‍යවසායකයන් උත්පාදනය කරන ධනය රජයට පවරා ගැනීම සිදුවන බවත් මේ රටට ඉදිරියක් ඇත්තේ නව ව්‍යවසායකත්වයෙන් බවත් දරිද්‍රතාව තුරන් කිරීමට එය උපකාරි වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍යවලින් සමහර ප්‍රතිවාදීන් ඉදිරිපත් කරන කතා අහද්දී හිනා යන බවත් ෆයිල් පෙන්වා හොරු අල්ලනවා යැයි කිව්වත් තවම අල්ලපු හොරෙක් නොමැති වුවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය කර ගත් බවත් ප්‍රායෝගිකවම සමගි ජන බලවේගය හොරු කවුද කියා අනාවරණය කළ බවත් මේ නිසා මොවුන්ට වන්දි ගෙවීමට පවා සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අප රට වැරදි ගණනාවක් නිසා බංකොලොත් වූ රටක් බවත් බංකොලොත් රටක සිට අප එයට විසඳුම් සොයමින් සිටින බවත් එහි දී සමගි ජන බලවේගයට සාර්ව සහ ක්ෂුද්‍ර ආර්ථික දැක්මක් පවතින බවත් සාර්ව ආර්ථික දැක්ම තුළ මානුෂීය ධනවාදය අනුගමනය කරන බවත් එහි දී ධනවාදයේ වැදගත්කම ගැන කතා කිරීමට තමා මැළි නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජවාදය කියන්නේ ජන ජීවිත හා පෞද්ගලික කර්මාන්ත විනාශ කරන්නක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වැටුණු තැනින් රට ගොඩ ගන්න මානුෂීය ධනවාදී ප්‍රතිපත්තිය තුළ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයට ඉඩ තබා ඉල්ලුම සැපයුම කේන්ද්‍ර කර ගත් ආර්ථික රටාව තුළ සමාජ සාධාරණත්වය හා යුක්තිය තහවුරු කෙරෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ඉදිරියට යන බවත් එහි දී සැවොම එකට එක් කර ගත් ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම නව කෘෂි තාක්ෂණයට මුල් තැන දී පසු අස්වනු තාක්ෂණය ශීතාගාර පහසුකම්වලට යා යුතු බවත් නෙදර්ලන්තය, ඊශ්‍රාලය, මැදපෙරදිග රටවල සාර්ථක කෘෂිකර්මාන්තයක් ක්‍රියාත්මක වෙනවා නම් අප රටටද එවැනි හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

දළ දේශීය නිෂ්පාදනයට 50%ක් සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබාදෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පසුගිය මාසය වන තුරු ආණ්ඩුවේ අවධානය නොලැබුණු බවත් වසර එක හමාරක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සමගි ජන බලවේගය ඔවුන් වෙනුවෙන් හඬ නගා ඒ අයට ආසියානු සංවර්ධන බැංකුවට, යුරෝපා සංගමයේ කොමසාරිස්වරියට සෘජුවම සම්බන්ධ කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව ඇ. ඩොලර් මිලියන 100ක සහයෝගයක් මොවුන් වෙනුවෙන් ලබා දුන්නත් එය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේද ගැන බරපතළ ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment