කෝටි 3500ක මුදල් තැන්පතු ගසා කෑ ඔන්මැක්ස් ඩී. ටී. වංචාවෙන් තැන්පත්කරුවෝ ලක්‍ෂ 4ක් අනාථයි

251

කිහිපදෙනෙක් දැනටමත් සියදිවි හානි කරගෙන

අධික ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වී රට පුරා වෙසෙන ලක්‍ෂ හතරකට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 3500කට අධික මුදල් තැන්පත් කරගත් ඔන්මැක්ස් ඩී. ටී. සමාගමේ වංචාවට අසුවූ කිහිප දෙනකු මේ වනවිට සියදිවි හානි කරගෙන ඇතැයි එම තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.

තමන් හා දුවා දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් ඉතිරි කරගත් මුදල් අහිමිවීම නිසා විවිධ වෘත්තීන්වල නියැළුණු වයෝවෘද්ධ පුරවැසියන් රැසක් එලෙස සියදිවි හානි කරගෙන ඇති බවත් එකී කම්පනය නිසා හටගත් රෝගවලට ගොදුරු වී තවත් පිරිසක් මියගොස් ඇති බවත් එම මාධ්‍ය හමුවේදී ජ්‍යෙෂ්ඨ නීතිඥවයා පෙන්වා දුන්නේය. ඒ අතරින් බොහෝ දෙනකු සේවක අර්ථසාධක අරමුදල්, රැකියාවලින් විශ්‍රාම යෑමේදී හිමිවූ පාරිතෝෂික අරමුදල් පමණක් නොව රන් ආභරණ, ඉඩකඩම් පවා උකස් කර ලබාගත් මුදල් එකී ව්‍යාපෘති සඳහා ආයෝජනය කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන මහතා කොළඹ ඩීන්ස් පාරේ සමාජීය හා සාමායික කේන්ද්‍රයේ පැවැති එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

එවැනි වංචනික පුද්ගලයන්ට සමාගම් පිහිටුවා මහා පරිමාණයෙන් එවැනි වංචා කිරීමට ඉඩකඩ විවර වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව වැනි වගකිවයුතු ආයතන ඔවුන් වෙත පැවරී ඇති වගකීම් නිසියාකාරව ඉටු නොකිරීම නිසා බවත් එවැනි සමාගම් එලෙස අතිවිශාල පොලියක් ලබාදෙන බවට ප්‍රචාරය කළ අවස්ථාවලදී ඒ පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර නියාමනයක් නිකුත් කර ජනතාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත්තේ නම් මෙලෙස ලක්‍ෂ සංඛ්‍යාවක් ඔවුන්ගේ ගොදුරු බවට පත් නොවීමට ඉඩ තිබුණු බව ද එම මාධ්‍ය හමුවට එක්වූ නීතිඥ නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය. එකී වංචාවට අසුවූ පිළියන්දල හා අවට ප්‍රදේශවාසීන් 2000කට ආසන්න පිරිසක් නියෝජනය කරමින් පැමිණි නියෝජිතයෝ කිහිපදෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ. එකී ඔන්මැක්ස් ඩී. ටී. සමාගම විසින් වංචා කර ඇති මුදල් අතරින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සොයාගෙන ඇත්තේ ඉතා සුළු කොටසක් පමණක් බවත් තවත් විශාල දේපළ ප්‍රමාණයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වී ඇති බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වංචාවට හසුවූ තැන්පත්කරුවන්ගේ නියෝජිතයෝ පැවසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment