රාමඤ්ඤ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ අපවත් වෙති

233

රාමඤ්ඤ නිකායේ අනුනායක, අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමිපාණන් වහන්සේ පෙරේදා (23 දා) අපවත්වූහ.

මෙරට ජ්‍යෙෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක ලෙස ගෞරවාදරයට පාත්‍රවූ උන්වහන්සේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අභාවප්‍රාප්ත වන විට 73 හැවිරදි වියෙහි පසුවූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූ උන්වහන්සේ සමස්ත ලංකා පිරිවෙන් අධ්‍යාපන උපදේශක හිමිනමක් ලෙසත්, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභික ධුරයේත් කටයුතු කළහ.

1963 වර්ෂයේදී පැවිදි දිවියට ඇතුළත්වූ උන්වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසකද තනතුරු හෙබවූහ.

විචිත්‍ර ධර්ම කථිකයකු වූ ද නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ විදේශ ධර්ම දූත සේවාවන්හිද නිරත වෙමින් බුදු සසුනේ චිරස්තිතිය වෙනුවෙන් විශාල ශාසනික මෙහෙවරක් සිදු කළහ.

මිනුවන්ගොඩ පත්තඬුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශකවරයාණන් ද වූ උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියට පත් කරනු ලැබුවේ එම නිකායේ කාරක සංඝ සභාව විසිනි.

රාමඤ්ඤ පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමිපාණන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී පදවියද හෙබවූහ.

අපවත් වී වදාළ උන්වහන්සේගේ දේහය මේ වනවිට කොළඹ පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය පිළිබඳ පසුව දැනුම් දෙනු ලැබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment