ඉන්දීය රජයේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක්: ඉඩම් වාර්තාව සතියකදි දෙන්න – ජනපති ත්‍රීමලේදී කියයි

141

1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා සේම නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (24දා) ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධනය පිළිබඳ විශේෂ රැස්වීමට එක් වෙමිනි.

දිස්ත්‍රික්කයේ පවතින රජයේ ඉඩම් සහ මහවැලි ඉඩම් කළමනාකරණය පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර 2019-2023 කාලසීමාව තුළ එම ඉඩම් ලබාදීම පිළිබඳ වාර්තාවක් සතියක් තුළ තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රමුඛ සාධකය ඉඩම් බවත්, එය නිසි කළමනාකරණයකින් පවත්වාගෙන නොගියහොත් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

එසේම තරගකාරි ලෙස ආගමික ස්ථාන ඉදිකිරීම නතර කළ යුතු බවත්, ඉදිරියේ දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන ඉදිකිරීමේ දී ආගමික නායකයන්, ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයකට එළැඹිය යුතු බවටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

අද මෙම රැස්වීම කැඳවනු ලැබුවේ නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. දැනට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාළව සර්බානා ජුරෝන් සමාගමෙන් සැලැස්මක් සකස් කර තිබෙනවා. එම සැලැස්ම පදනම් කර ගනිමින් ත්‍රිකුණාමලය සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර එකඟතාවකට පැමිණ තිබෙනවා. අප එය ක්‍රියාත්මක කළ යුතුයි.

සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment