යුද ගිනි නොම වේවා: ඊශ්‍රායලය ඉරානයට යළි පහර දෙයි

0

නගර ගණනක ගුවන් ගමන් අත්හිටුවයි

නළා නාද වෙයි

ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඉරාන හමුදා විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ඩ්‍රෝන යානා හා මිසයිල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ඊශ්‍රායලය විසින් ඊයේ ((19) උදෑසන ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වුවද මෙම මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදු වූවාද යන්න පිළිවඳව කිසිදු තොරතුරක් ඊයේ දහවල් වන විටද වාර්තා වී නොතිබිණි.

යුද ගිනි නොම වේවා: ඊශ්‍රායලය ඉරානයට යළි පහර දෙයි

ඉරානයේ රාජ්‍ය මාධ්‍යවලට අනුව ඉරානයේ නම් නොකළ ප්‍රදේශයකට ඊශ්‍රායලය විසින් එල්ල කර ඇති මිසයිලයක් හේතුවෙන් නගර ගණනාවක පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට ඉරාන බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මේ අතර ඉරානයේ මධ්‍යම පළාතක් වන, ඉස්ෆහාන් පළාතේ තහවුරු නොකළ පිපිරුම් ශබ්ද හටගෙන ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මේ හා සමාන පිපිරීම් සිරියාවෙන් හා ඉරාකයෙන් ද ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රයලයේ උතුරු දිග ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ සයිරන් නාද කළ බව ඊශ්‍රායල් හමුදා සඳහන් කරයි.

මේ අතර ඉරානයේ හමුදා අණදෙන නිලධාරිවරයකු එරට රාජ්‍ය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ ගුවන් ආරක්ෂණ බැටරි සැක කටයුතු යමකට පහර දීම සඳහා භාවිත කළ බවකි. ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද ඩ්‍රෝන යානා හා මිසයිල ප්‍රහාර 300 කට අධික ප්‍රමාණයක් නිසා එයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය විසින් අනතුරු අඟවා තිබිණි. ඊශ්‍රායල හමුදා විසින් ඉකුත් අප්‍රේල් 01 වැනිදා සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදා නිලධාරියකු ඇතුළු 13 දෙනකු මිය යෑමේ සිද්ධියට පළිගැනීමක් වශයෙන් ඉරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන යාන හා මිසයිල ප්‍රහාර එල්ල කර තිබූ අතර එම ප්‍රහාර බොහොමයක් ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායල හමුදා විසින් පියවර ගෙන තිබිණි.

ඒමන්ති මාරඹේ

ශ්‍රී ලාංකිකයන් ගැන ඇහැගහගෙන ඉන්න – විදේශ ඇමැති තානාපති කාර්යාලවලට කියයි

මැද පෙරදිග රටවල් කිහිපයක් අතර හට ගනිමින් පවතින යුදමය තත්ත්වය හමුවේ රටවල් හතරක වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා එම රටවල තානාපති කාර්යාල 4කට උපදෙස් දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, ජෝර්දානය හා ඊශ්‍රායලය යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පැය 24 පුරාම පසු විපරමක් කරන ලෙසද අදාළ රටවල තානාපතිවරුන්ට උපදෙස් දී ඇතැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා පවසයි.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment