9 දා ප්‍රහාරයට ඇල්ලූ බහුතරය ජවිපෙ නොවන බව පොලිස්පති හා කළ සාකච්ඡාවෙන් තහවුරු වුණා-ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

199

ගාලුමුවදොර ප්‍රහාරයත් සමඟ පසුගිය 09 වැනිදා රට පුරා හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු කලහකාරී සිදූවීම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමසීමට එම පෙරමුණේ නියෝජිතයෝ කණ්ඩායමක් ඊයේ (23 වැනිදා) පොලිස්පතිවරයා මුණගැසීමට කටයුතු කරනු ලැබූහ.එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, නීතිඥවරුන් වන සුනිල් වටගල හා හර්ෂණ නානායක්කාර යන මහත්වරු එහිදී පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු මුණගැසී සාකච්ඡා කර ඇත. එකී සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පොලීසියේ අපක්ෂපාතීභාවය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා පර්යේෂණ අපක්ෂපාතීව සිදු කරන බවට සහතික වී ඇත.

කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ දී ඊයේ 23 වැනිදා පෙරවරු 9.00 සිට 9.30 දැක්වා පමණ මෙම සාකච්ඡාව සිදුව ඇති අතර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මෙසේද කීවේය.පසුගිය 09 වැනිදා උදෑසන අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගොල්ෆේස් පිට්ටනියේ සාමකාමී අරගලයේ හිටපු අයට ම්ලේච්ඡ ලෙස පහර දෙනු ලැබුවා. ඒ පහරදීම කළේ පොදුජන පෙරමුණේ ත්‍රස්තවාදී කල්ලියක්. ඉන් පසුව 09 වැනිදා සවස රට පුරා උද්ඝෝෂණ පැවැත්වුණා. ඒ වගේම රාත්‍රිය වන විට බොහෝ තැන්වල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණා. ගෙවල් ගිනි තැබීම්, විනාශ කිරීම් සිදු වුණා. මේ සිදුවීම් පිටුපස ජනතා විමුක්ති පෙරමුණ ඉන්න බව කියන්න පහුගිය දවස්වල ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් විශාල උත්සාහයක් දැරුවා. ඔවුන් විවිධ අභූත චෝදනා නැගුවා. කිසිදු සාක්ෂියක් තොරතුරක් නැතිව ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණ මත පැටෙව්වා. මේ කරුණවල සත්‍ය අසත්‍යතාව දැනගන්න අපට අවශ්‍ය වුණා.

මේ සිදුවීම්වලට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, චෝදනා තිබෙනවාද, අනෙකත් දේශපාලන පක්ෂවල අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, ඔවුන්ට චෝදනා එල්ල කර තිබෙනවාද කියන කරුණු පොලිස්පතිවරයාගෙන් දැනගන්න අපට අවශ්‍ය වුණා. මේ සිදුවීම්වලට අදාළ චෝදනා ලැබූ බහුතරයක් අපේ පක්ෂයට සම්බන්ධ අය නොවන බව පැහැදිලි වී තිබෙනවා. පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලැබුණු වාර්තා අනුව මේ අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිස ජවිපෙට කිසිදු සම්බන්ධයක් නැහැ. ඔවුන් වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධකම් හා බැදීම් ඇති අයයි ඍජුවම සම්බන්ධකම් ඇති අයයි.යම් තැනක වැරදි ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු වී තිබෙනවානම්, විශේෂයෙන් ඇමැතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවලට අත්අඩංගුවට ගැනීම් සිදු වී තිබේ නම් ඒ පිළිබඳව පරීක්ෂණ කරන්නත් ඔවුන් එකඟ වුණා. මේ අවස්ථාවේදී ඇතැම් අය පෞද්ගලික පළිගැනීම් මත, දේශපාලන පළිගැනීම් මත අපේ පක්ෂයේ සාමාජිකයන් දඩයම් කිරීම ඉලක්ක කර ගනිමින් ඇතැම් දේ සිදු වෙමින් තිබෙන බව අප පෙන්වා දුන්නා. ඒ පිළිබඳවත් සොයා බලන්න ඔවුන් එකඟ වුණා. පොලීසියේ අපක්ෂපාතීභාවය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව අපි අවධාරණය කළා. මීට අදාළ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතව සිදු කරන බවට පොලිස්පතිතුමා ඇතුළු පොලීසිය පාර්ශ්වයෙන් සහතිකයක් දුන්නා.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment