පෑවිල්ලට හයිය හීන වෙලා

1477

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා බොහෝදෙනා ප්‍රතිශක්තිකරණ දුර්වලතාවනට ලක්ව ඇතැයි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය කේ.ආර්. අල්විස් මහතා පැවැසීය.

මෙම තත්ත්වය නිසා නිතර සිරුර තෙහෙට්ටුවට පත්වීම, ඇඟපත වේදනාව, හිසරදය, සිරුරේ අප්‍රාණික බවක් මතුවිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වයස අවුරුදු 40 ඉක්මවූවන් මෙම තත්ත්වයට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකි බව ද ඔහු කීය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජලය පිරී පෝෂ්‍යදායී ආහාර වන කැකිරි, පිපිඤ්ඤා, පතෝල, කොළ වර්ග, කැඳ, ඇටවර්ග, කොමඩු, බෙලි, ගස්ලබු, ඇඹුල් කෙසෙල් වැනි ආහාර වැඩිපුර තම ආහාර වේලට එක්කර ගත යුතු බව ද වෛද්‍ය අල්විස් මහතා සඳහන් කළේය.

කිතුල්පිටි, රුලං, තණහාල්, මුංඇට, සව්, බාර්ලි වැනි පෝෂ්‍ය වර්ගවලින් සකස් කළ කැඳ වර්ග ආහාරයට ගැනීම මඟින් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි බව ද ඔහු පැවැසීය.

එසේම දෙහි, දොඩම් ආදියෙන් සකස් කළ බීම වර්ග පානය මඟින් සිරුරට අවශ්‍ය විටමින් ‘සී’ පහසුවෙන් ලබාගත හැකි බවත් එමඟින් ප්‍රතිශක්ති කරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වන බවත් හෙතෙම සඳහන් කළේය.

ශීත කළ ජලය සහ ශීත කළ පානවර්ග ගැනීම අහිතකර බවත් එමඟින් තාවකාලිකව පිපාසය යටපත් වුව ද ඉන් සිරුරේ ප්‍රතිශක්තිකරණය දුර්වල වන බවත් වෛද්‍ය අල්විස් මහතා පැවැසීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment