ප්‍රතිත්‍රස්ත පනත හා මාර්ගගත ආරක්ෂණ පනත සම්මත වුණොත් ගැටලු ගොඩක්- ජී. එල්. පීරිස්

117

ආණ්ඩුව මගින් ගෙන ආ ප්‍රතිත්‍රස්ත පනත හා මාර්ගගත ආරක්ෂණ පනත සම්මත වුවහොත් දේශපාලනික, ආර්ථික හා සමාජයීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (25 දා) පැවසීය.

මෙම පනත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කිරීමට විපක්ෂය සූදානමින් සිටින බව නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසීය.

මහජන විරෝධය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව නොයෙකුත් පනත් ගෙනඑන බවත්, චිරාත් කාලයක් ආරක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය මෙම ආණ්ඩුව අමු අමුවේ උල්ලංඝනය කරන බවත් පැවසූ ඒ මහතා ජනතා අයිතිය නිශේද කිරීම සඳහා ජනතා මුදල් භාවිතා කරන මෙම ආණ්ඩුව අරුම පුදුම ආණ්ඩුවක් බවත් පැවසීය.

යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත මගින් පිහිටුවන කොමිෂන් සභාවේ සාමාජිකයන් 05 දෙනා ජනාධිපතිවරයා විසින් පත් කරන බවත්, එමගින් ඔවුන් ව්‍යවස්ථාදායක කමිටුවට වග නොකියන අතර ඔවුන්ට දේව බලයක් ලැබෙන බවත් පීරිස් මහතා කීය. ආණ්ඩුව මෙවැනි පනත් ගෙන ඒමට පෙර, පසුගිය නඩු තීන්දු පිළිබඳ පූර්වාදර්ශයක් ලබාගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

ආණ්ඩුව මෙවැනි පනත් ගෙන එන්නේ ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට නොව මහජනතාව මර්දනය කර ආණ්ඩු බලය සුරක්ෂිත කර ගැනීමට බවත් පැවසූ ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා මෙම ආණ්ඩුව මහජනතාව රවටමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන නාමයෙන් ජනතාව මුලා කළ බවත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment