රාජගිරියේ රිය අනතුර: – පාඨලීගේ සහ ඒඑස්පීගේ ඇප කොන්දේසි ඉවතට

323

2016.02.28 වැනිදා රාත්‍රී රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා රිය අනතුරකට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය සාකෂි නිර්මාණය කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක හා සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන මහත්වරුන්ට පනවා ඇති ඇප කොන්දේසි ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (25දා) නියෝග කළේය.

එම විත්තිකරුවන්ට ඇප ලබාදීමේදී අධිකරණය විසින් නියම කළ සෑම මසකම පළමු හා අවසන් ඉරිදා දිනවල කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය වසර ගණනාවක්ම නියමිත පරිදි ඉටුකර ඇති බැවින් එය ඉවත් කරන්නැයි විත්තිකරුවන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට රජයේ අධිනීතිඥවරයා විරුද්ධත්වයක් නොදැක්වීම නිසා එය ඉවත් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

එමෙන්ම පළමුවන විත්තිකාර පාඨලි චම්පික රණවක මහතාට තම අධිකරණය විසින් පනවා ඇති විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය ලබන 26 වැනිදා සිට ලබන වසරේ මාර්තු 1 වැනිදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය. එකී නඩුව විභාගයට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන ජනවාරි 19 වැනිදා දක්වා දීර්ඝකර ඇති බැවින් එම නඩුව ලබන වසරේ මාර්තු 4 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment