අපේ ආණ්ඩුවකින් ගොවි නිෂ්පාදනවලට ස්ථාවර මිලක් ලබාදෙනවා

85

ජාජබ නායක අනුර කුමාර දිසානායක ඌව පරණගමදී කියයි
පාරිභෝගිකයාත් ගොවියාත් රැකගැනීමට

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් පාරිභෝගිකයාටත් ගොවි ජනතාවටත් තමන්ගේ ඵලදාව විකිණීම සහ මිලදී ගැනීම සඳහා ස්ථාවර මිලක් අපි ලබාදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

පෙරේදා පැවති ජාතික ජන බලවේගයේ ඌව පරණගම ආසන සමුළුව අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ ජාතික ජන බලවේගයේ නැගිටීම, වර්ධනය, ඡන්ද කල්දාලා අඩපණ කරන්න පුළුවන් වෙයි කියා හිතුවා. පළාත් පාලන මැතිවරණය අද වෙනකල් නැහැ. හේතුව මොකක්ද? ඔවුන් ඡන්දය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ තිබුණු තත්ත්වය නොවෙයි, ඡන්ද ව්‍යාපාරය ඇතුලේ ඔවුන්ට නියත පරාජයත්, ජාතික ජන බලවේගයට නියත ජයග්‍රහණයත් ලියැවිලා තිබුණා.

රනිල් ඇතුළු කණ්ඩායම ව්‍යවස්ථාව, නීති උල්ලංඝනය කරමින්, අධිකරණ නීතිවලට පයින් ගහලා, මැතිවරණ කොමිසමට බලපෑම් කරමින් ඡන්දෙ කඩාකප්පල් කළා. නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ අවසන් සමුළුව වන ඌව පරණගම මේ දහස් සංඛ්‍යාත ජනතාවගෙන් පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගය යනු මේ රටේ දිනෙන් දින වර්ධනය වෙමින් ජයග්‍රහණය දක්වා ගමන් කරමින් තිබෙන බවයි.

මේ පාලකයන් දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරලා ලෝකයේ දුප්පත්කමේ පතුලටම හිරවුණු රටක බවට පත්කළා.

ගෙවාගන්න බැරි ණය කන්දක්, දෛනිකව වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයට එන්නේ නැහැ. පසුගිය කාලයේ භාණ්ඩාගාරයට ආවේ රුපියල් බිලියන 06යි. දවසකට භාණ්ඩාගාරය වියදම් කොට තිබෙනවා රුපියල් බිලියන 16ක්. දවසකට අවශ්‍ය කෝටි 1000ක් ණයට ගන්න සිදුවෙලා තිබෙනවා. පුවත්පතක තිබුණා බංග්ලාදේශයෙන් ගත් සියලු‍ම ණය අපි ගෙව්ව බවට ප්‍රවෘත්තියක්. අපි බංගලාදේශයෙන් අරගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 200යි. අපි ලෝකයට ණයයි ඩොලර් මිලියන 37,000යි. ණය අරගෙන විශාල ණය උගුලක හිරකරපු රටක් බවට පත් කළා. රට දුප්පත් වුණාම ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැහැ. අධ්‍යාපනයට වැඩි බරක් දෙමව්පියන්ට දරන්න සිදුවෙලා තිබෙනවා. අලු‍තින් රැකියා උත්පාදනය වෙන්නේ නැහැ. ත්‍රීවිලර් එකට හයර් ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරිකයාට බිස්නස් ලැබෙන්නේ නැහැ. පාර හැදෙන්නේ නැහැ. අපරාධ, සොරකම්, සියදිවි හානිකර ගැනීම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, වැඩිවෙනවා. අද රටත් දුප්පත්, ජනතාවත් දුප්පත්. මේ ජනතාව රැස්වී සිටින්නේ මේ පාලකයන්ගෙන් මේ රට මුදා ගෙන නව ආණ්ඩුවක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන්. අපි එක්වෙලා අලු‍ත් ආණ්ඩුවක් හදමු. මේ රටත්, ජනතාවත් පොහොසත් බවට පත්කරනවා. මේ හුවමාරුව කරන්න ලෙහෙසියෙන් ඉඩදෙන්නේ නැහැ. ඒ සඳහා ඒගොල්ලෝ ඡන්ද කල්දානවා. නමුත් අපේ රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කල් දාන්න බැහැ. ලබන වසරේ ඔක්තෝබර් 17ට කලින් ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. අගෝස්තු වෙනකොට ජනාධිපති ඡන්දය කැඳවන්න ඕනෑ. තව රනිල්ට තිබෙන්නේ මාස 11යි. කුමන උප්පරවැට්ටි යෙදුවත් ඒ සියල්ල පරාජයට පත්කරලා, නව ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන ජාතික ඡන්දය අපි ලබාගන්නවා.

ගොවියා පොහොසත්භාවයට පත් කරන්න ඕනෑ. අර්තාපල් බීජ මිල ඉහළ යාම, සහ අපේ අස්වැන්නවලින් අපට හොඳ අස්වැන්නක් නොලැබීම ප්‍රධාන ප්‍රශ්න.

ගොවියා මුහුණ දී තිබෙන තවත් ප්‍රශ්නයක් වෙළඳපොළ ප්‍රශ්නය. අස්වනු නෙළන කාලයට මිල බහිනවා, අස්වනු නෙළන්නේ නැති කාලයේදී මිල ඉහළ යනවා. මෙවැනි උච්ඡාවචනයක් ලෝකයේ කිසිදු වෙළඳපොළක සිදුවන්නේ නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පාරිභෝගිකයාටත් ගොවි ජනතාවටත් තමන්ගේ ඵලදාව සහ මිලදී ගැනීම සඳහා ස්ථාවර මිලක් අපි ලබාදෙනවා. විනෝදය තිබෙන, සතුට තිබෙන, අධ්‍යාපනය තිබෙන, නිරෝගී සම්පන්න ජීවිතයක් තිබෙන, නව පරම්පරාවක් සහිත රටක් හදමු. පොහොසත් රටක් පොහොසත් ජනතාවක් අපි හදමු.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න

මේ දහස් සංඛ්‍යාත ජනතාවක් මෙතනට රොද බැන්දේ කිසිවක් හෝ ලාභ අපේක්ෂාවෙන් තොරව, අනාගතයේ එන ඕනෑම මැතිවරණයකදී පොදු ජනතාවගේ ආණ්ඩුවක් මාලිමාවෙන් හැදීමේ අපේක්ෂාවෙන්. බදුල්ල දිස්ත්‍රික්කයෙන් අපි නායකයෝ හාරසියයකට ආසන්න ප්‍රමාණයක් බිහිකර තිබෙනවා. ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්න හැකි දැවැන්ත නායකත්වයක් අපි ලංකාව පුරාම පිහිටුවා තිබෙනවා. අවංකව මේ රටට ආදරය කරන මිනිස්සු අද මාලිමාවේ කඳවුරට එකතු වී තිබෙනවා. පොදුජන ජයග්‍රහණය වෙනුවෙන් මේ වගේ ඒකරාශීවීම අපට ලොකු ශක්තියක්, ධෛර්යයක්.

advertistmentadvertistment
advertistmentadvertistment