මේක අභියෝගයක්… – දුලාන් වීරසිංහ

181

රැඩිකල් ප්‍රේමයක් ආපහු මරදානේ…

දුලාන් වීරසිංහගේ නාට්‍ය නිර්මාණයක් වන ‘රැඩිකල් ප්‍රේමයක්’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය පසුගියදා පැවැත්විණ. එහිදී රැඩිකල් ප්‍රේමයට ඉහළ ප්‍රතිචාර ලැබිණ. ඒ නිසාම මෙහි අධ්‍යක්ෂ දුලාන් තවත් දර්ශනයක් එළැඹෙන 29 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සවස 3.30 ට සහ සවස 6.30 ට වේදිකා ගත කිරීමට සූදානම් වෙනවා. එනිසාම අපි දුලාන් වීරසිංහ සමග රැඩිකල් ප්‍රේමයක් ගැන සංවාදයක එළැඹුණා.

● මොකක්ද මේ ‘රැඩිකල් ප්‍රේමයක්’ කියන්නේ?

මේක පර්යේෂණාත්මක නාට්‍යයක්. මේ නාට්‍ය මම මීට කලින් උසස් පෙළ අවසන් කරලා ගෙදර ඉන්න කාලසීමාවේදී ආපු අදහසක් අනුව තමයි නිර්මාණය කළේ. 2016 වසරේ මම මේ නාට්‍ය නිෂ්පාදනය කරලා වයඹ නාට්‍ය උළෙලට ඉදිරිපත් කරනවා. ඒ වසරේ මේ නාට්‍යයට සම්මාන දහතුනක් හිමිවෙනවා. ඊට පස්සේ මගෙ අධ්‍යාපන කටයුතු එක්ක මේ නාට්‍ය අතර මග නැවතිලා දැන් මේ නාට්‍ය නැවත ප්‍රති නිර්මාණය කරලා තිබෙනවා.

● මේ සඳහා රංගනයෙන් දායක වූ පිරිස කවුද?

2016 වසරේ රඟපෑ ගොඩක් කට්ටිය මේ නාට්‍යයේ දැන් නැහැ. මෙවර මම එක චරිතයක් හැර අලුත්ම පිරිසක් එකතු කර ගන්නවා. ගියවර ප්‍රධාන චරිතය රඟපාලා හොඳම නිළිය සම්මානය දිනාගත් කෞමදි මහේෂිකා මෙවරද සම්බන්ධ වෙනවා. ඊට අමතරව භානු දිසානායක, සුධීක්‍ෂා සමාධි, සුලෝචනා හරපන්දෙණිය රංගනයෙන් දායක වෙනවා. තවද වනිඳු රත්නායක, පැතුම් ආකර්ෂණ, නිමංක ජයලත්, රවිඳු ගිම්හාන.

● රැඩිකල් ප්‍රේමයක් නාට්‍යයේ තිබෙන විශේෂත්වය කුමක්ද?

මේකෙදි අපි ග්‍රීක රංග ශෛලය භාවිතා කරනවා. ඒ වගේම වර්තමානයේ නාට්‍ය කලාවන්ගේ තිබෙන ශිල්පීය ක්‍රමයන් භාවිතා කරලා තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක ඇත්තටම ස්වතන්ත්‍ර නිර්මාණයක්. මෙහි පිටපත් රචනය, අධ්‍යක්‍ෂණය වගේම රංගන වින්‍යාසය මගේ. මේක අලුත් වැඩක්.

● මෙවැනි නාට්‍යයක් නිර්මාණය කරන්න හිතුවේ ඇයි?

මම කලාවට සම්බන්ධ වෙන්න කලින් වෘත්තියෙන් නීතිඥවරයෙක්. මම අධ්‍යාපනය කරන කාලයේ දකිනවා සමාජයේ කාන්තාවට ඇතිවෙලා තිබෙන තාඩන පීඩන වගේම ඔවුන්ට තිබෙන දරාගැනීමේ පරාසය. ඉතින් මම මේ කතාවටත් ප්‍රධාන තේමාව විදිහට තෝරා ගන්නේ කාන්තාව. ඇත්තටම මේකේ 28 කට 30 කට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා. ඒකේ කාන්තා චරිත දහයක් ඉන්නවා.

● ඔබේ උත්සාහය සාර්ථකයි කියලා හිතනවාද?

ඇත්තටම සාර්ථකයි. පසුගිය 01 වැනිදා පැවැති දර්ශනවාරය ඉතා සාර්ථක ලෙස පැවැත්වුණා. ආසන සියල්ලම වාගේ පිරී ඉතිරී ගියා. මෙහිදී මට ඕන වෙන්නේ කාන්තාව ඇතුළේ කොහොමද ප්‍රේමය ගලාගෙන යන්නේ. පිරිමියා තුළ කාන්තාව යම් භාණ්ඩයක් විදිහට හුවමාරු වෙන්නේ කොහොමද? ප්‍රේමය කොයි විදිහටද කාන්තාව දරා ගන්නේ. දැන් සමාජය තුළ තිබෙන ස්ත්‍රීවාදය අනුව කාන්තාවන්ගේ හැසිරීම සහ නවතම සමාජ තත්ත්වය මොනවාද කියන එක මේක ඇතුළේ සියුම්ව කතා කරනවා. ප්‍රේමය සහ කාන්තාව ගැන කතා කරන හින්දමයි මේකට රැඩිකල් ප්‍රේමය කියලා නම යොදලා තියෙන්නේ.

● රැඩිකල් ප්‍රේමයක් රට පුරා අරගෙන යන්න සූදානමක් තිබෙනවද?

ඔව්. එහෙම අදහසක් තිබෙනවා. මේ වෙනකොටත් අපිට දර්ශන වාර කිහිපයක් ඇවිත් තිබෙනවා. කොළඹ දර්ශන වාර දෙකක් මේ වෙනකොට ඇවිත් තිබෙනවා. ඒ වගේම කොළඹින් පිට ප්‍රදේශවලත් දර්ශන වාර රැසකට ආරාධනා ලැබිලා තිබෙනවා. මේක විශාල පිරිසක් ඉන්න වැඩක් හින්දා විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.

● මොන වගේ අභියෝගවලටද මුහුණ දෙන්න වෙලා තියෙන්නේ?

ප්‍රධානම ගැටලුව තමයි පුහුණුවීම් කරන්න ස්ථානයක් නොමැති වීම. ස්ථානයක් තිබුණත් එතැන මිල අධිකයි. අනික අපි වගේ නවකයන්ට එවැනි ස්ථානයක් ලබාගැනීම ලොකු ගැටලුවක්.

● මෙච්චර දැවැන්ත පිරිසක් එකතුකරගෙන කරන වැඩේ සාර්ථක වෙයි කියලා හිතනවද?

නාට්‍ය කියන්නේ කණ්ඩායම් ක්‍රියාවලියක්. ඒක අපිට තනියෙන් කරන්න බැහැ. දෙතුන් දෙනෙක් යොදාගෙන නාට්‍යයක් කරන එක හරි පහසුයි. අපිට ඕන වෙන්නේ මේ අත්දැකීම් සියලුදෙනාටම ලබාදෙන්න. මේ සඳහා රංගනයෙන් දායක වෙන්නේ සරසවි විද්‍යාර්ථීන්. ඔවුන්ටත් මේක අලුත් අත්දැකීමක් වේවි. අපි සියල්ලෝම තරුණ කට්ටිය. අපි සියලුම දෙනාගේ අදහස් එකතු කරගෙන තමයි මේ වැඩේ කරන්නේ.

● සිනමා අත්දැකීමක් වේදිකාවෙන් ලබාදෙන්න පුළුවන්ද?

මේ රටේ තිබුණු අභියෝග එක්ක පසුගිය කාලයේ අපිට නාට්‍යයක රසය හරිහමන් විදිහට විඳින්නට ලැබුණේ නැහැ. මම දන්නවා මේක ලොකු අභියෝගයක් කියලා. ඒ වගේම ලොකු ගැටලුවලට මට මුහුණදෙන්න සිද්ධ වේවි කියන එක මම දන්නවා. සිනමාත්මක අත්දැකීම වේදිකාවක් තුළ ලබාදෙන්න මම සෑහෙන්න මහන්සි වෙනවා. ඒක මට අභියෝගයක් වෙලා තිබෙනවා. තිරයක තිබෙන දෙයක් වේදිකාව තුළ කොහොමද අපි මවාපාන්නේ කියන එක සෑහෙන බැරෑරුම් කාර්යයක්. ඒකට අපිට විවේචන එන්න පුළුවන්. සාර්ථක වෙන්න පුළුවන්. අසාර්ථක වෙන්න පුළුවන්. ඒ හැමදේම භාරගන්න බලාගෙන සිනමාත්මක වචනය වෙනුවෙන් අපි මහන්සි වෙනවා.

දිනේෂ් විතාන

මේක අභියෝගයක්… - දුලාන් වීරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment