ලක්ෂ 560 වාලම්පුරිය අතේ පත්තු වෙයි

632

ජාඇල නගරයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිට දී නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තැත් කළ ලක්ෂ 560 පමණ වටිනා වාලම්පුරියක් සමග කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 6 දෙනකු පෙරේදා (12 දා) සවස අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර එකම පවුලේ වයස අවුරුදු 57 පසුවන මව, 32 වියේ පුතා සහ 26 වියේ ලේලිය ද වන බව පොලිසිය පවසයි.

සැකකරුවන් සමග මොන්ටෙරෝ වර්ගයේ සුපිරි ජීප් රියක් සහ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකපිට අත්අඩංගුවට ගෙන ඇති එකම පවුලේ මව, පුතා සහ ලේලිය එම ජීප් රථයේ පැමිණි බවත් තවත් පුද්ගලයන් තිදෙනකු යතුරුපැදිවලින් පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ජාඇල කොට්ඨාස බුද්ධි අංශයට සහ පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව ඉහළ පෙළේ ව්‍යාපාරිකයකු ලෙස වෙස් ගත් පොලිස් උපාය දූතයකු යොදවා වැටලීම සිදුකොට වාලම්පුරිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ අංක 29 වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් වාලම්පුරිය හිමි බව කියන 57 හැවිරිදි කාන්තාවක් වූ මව පොලිසියට කට උත්තරයක් ලබා දෙමින් මෙම වාලම්පුරිය අපවත් වී වදාළ හිමිනමක් විසින් තම ස්වාමිපුරුෂයාට ලබා දුන් එකක් බවත් තම පවුලට හදිසි මුදල් අවශ්‍යතාවක් උද්ගත වූ නිසා තැරව්කාරයන්ගේ මාර්ගයෙන් එය විකිණීමට තම පුතා සහ ලේලිය සමග එක්ව ගැනුම්කරුවා දැනුම් දී තිබුණු ස්ථානයට තම වාහනයෙන් පැමිණි බවත් පොලිසියට කටඋත්තරයක් ලබා දෙමින් පවසා ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කිරිඳිවෙල, තිහාරිය, අංගොඩ සහ මරදාන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26ත්, 57ත් අතර වයස් සීමාවේ පසුවන පුද්ගලයන් බවත් පොලිසිය පවසයි. ඔවුන් අතරින් දෙදෙනෙක් කාන්තාවෝය. සැකකරුවන් සහ භාණ්ඩ ඊයේ (13දා) වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නෝමන් පළිහවඩන බී. ටී. කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment