පෞද්ගලික දේවාලයක් ඇරඹීමේ ‘දේව වරම’

සුපිරි ගණයේ “රෙඩි මේඩ්” පිළිතුරු කට්ටලය

දේව වරම් ලැබීමේ දී පුරුෂ පක්ෂය අබිබවා කාන්තා පක්ෂය පෙරට පැමිණීම

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලය ශීඝ්‍රාකාරයෙන් පිරිහෙන අතරේ එතෙක් ඔහු ගේ ‘ගුප්ත උපදේශිකාව” බවට පත්ව සිටි බව පැවසෙන අනුරාධපුර, කැටේ හන්දියේ ඥානක්කා නම් කාන්තාවක පිළිබඳ ආන්දෝලනාත්මක පුවත් රට පුරා පැතිර යන්නට විය. අනුරාධපුර මහ රෝහලේ කම්කරු කාන්තාවක, සාත්තු සේවිකාවක හා දුරකථන සේවිකාවක ලෙස සේවය කොට පසුව ඉන් ඉවත්ව ශාස්ත්‍ර කීම සිය ජීවන වෘත්තිය කර ගත් වර්ණසූරිය මුදියන්සේලාගේ ඥානවතී නම් වන ඇය අසල්වාසීන් විසින් ඥානක්කා නමින් හඳුවනු ලදුව පසුව ඒ නමින් දීප ව්‍යාප්ත ප්‍රසිද්ධියක් ලද බව පෙනේ. නමුත් අසල් වැසියන් හමුවේ “අක්කා” කෙනකු වුව ඇය සමාජ සම්මතයට අනුව සාත්තර මෑණි කෙනකු බව පෙනෙයි. ඒ කෙසේ හෝ අද සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වන මෙම ගණයේ දේව වරම් හිමි කර ගත් බව පැවසෙන සාත්තර මෑණිවරුන් අවම තරමින් විසි තිස් දහසක් වත් මෙරට සිටිනු ඇතැයි යන්න මගේ පෞද්ගලික විශ්වාසයයි. මොවුන් පිළිබඳව දශක තුනක පමණ කාලසීමාව තුළ ගොනු කරගත් අත්දැකීම් යම් ප්‍රමාණයක් මා සතුව තිබේ. ඉහත සඳහන් කළ අන්දමේ දේව වරම් ලැබීමේ දී පුරුෂ පක්ෂය අබිබවා කාන්තා පක්ෂය පෙරට පැමිණීම ද ඉතා පැහැදිලිවම දක්නට ලැබෙන බව සියල්ලන්ටම පළමුව කිව යුතු ය. දේව වරමින් ශාස්ත්‍ර කියන ‘පියවරුන්’ නොමැතිව ‘මෑණිවරුන්’ පමණක් බහුල ලෙසම දැකිය හැක්කේ එබැවිනි.

ඉංග්‍රීසි භාෂාවේ Witch යන වදනින් මායාකාරිය ද Witchcraft යන වදනින් මායාකර්මය ද හැඳින්වීම මත මෙය කාන්තා කේන්ද්‍රීය වෘත්තියක් ය යන මූලික නිගමනයට ඒමට අපට පුළුවන.

ලෝක තත්ත්වය එසේ තිබියදී ශ්‍රී ලාංකේය ජන සමාජයේ අපට සාත්තර මෑණිවරුන් යනුවෙන් හැඳින්වෙන මෙම කාන්තා පිරිස අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ශාස්ත්‍ර කීම තම ප්‍රධාන හෝ ද්වීතියික ආදායම් මාර්ගයක් කර ගත් මොවුන් පවසනුයේ තමන්ට දේව වරමක් ලැබී ඇති බවකි. එමෙන්ම මොවුන්ගෙන් වැඩි පිරිස ජීවිතයේ යොවුන් විය ඉක්ම වූවන් බව ද පෙනෙයි. සමාජමය පසුබිම අනුව මොවුන්ගෙන් බහුතරය අඩු හෝ නොවිධිමත් ආදායම්ලාභී පහළ මධ්‍යම පන්තියට අයත් වෙති. මෙරට ග්‍රාමීය සමාජ ස්ථරයෙන් වැඩිපුර දක්නට ලැබෙන මොවුන්ගෙන් සුළුතරයක් නාගරික අඩු හෝ නොවිධිමත් ආදායම්ලාභීන් අතරින් මතුව ඇති බව පෙනෙයි. ඉහත සඳහන් සමාජ ස්ථරයන්ගෙන් බැහැරව මෙවන් දේව වරම් ලාභීන් වාර්තා වන්නේ නම් ඒ ඉතා සුළු වශයෙනි. මෙලෙස දේව වරම් ලැබූවන් පිළිබඳ වෙන් වෙන් වශයෙන් කරුණු විමසා බැලීමේ දී පෙනී යනුයේ ඔවුන්ගෙන් වැඩි පිරිස ජීවිතයේ යොවුන් වියේදී විවිධාකාර පෞරුෂ, පවුල්, සමාජමය ගැටලු අර්බුදවලට මුහුණ පාන ලද්ද වුන් බව ය.

කුමන හෝ හේතුවක් මත සිය පවුල් දිවිය බිඳවැටුණු හෝ අසාර්ථක වූ “මෑණිවරු” ද මෙම පිරිස් අතර සිටිති. ඉහත සඳහන් ඥානක්කා මෑණියන්ගේ සැමියා ද මීට වසර තිස් තුනකට ඉහත අනුරාධපුර නුවරවැව ඉස්මත්තේ දී ඝාතනයට ලක්ව තිබේ. මිනී මරුවන් අදත් නිදැල්ලේ පසුවනුයේ ඥානක්කා මෑණියන්ගේ දේව වරමින් ලත් බව පැවසෙන දිවැසි නුවණට අභියෝග කරමිනි. වරක් මා එම මෑණිවරුන්ගේ විවාහ ජීවිත අසාර්ථක වීම සම්බන්ධයෙන් එවන් දේව වරම් ලැබූ බව පැවසෙන මෑණි කෙනකුගෙන් විමසීමි. එවිට මා නිරුත්තර කරමින් ඇය කියා සිටියේ “පවුල් ප්‍රශ්න නම් ඉතින් පත්තිනි මෑණියන්ටත් තිබුණනෙ” යන්න ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් මූලිකව කිව හැක්කේ ශාස්ත්‍ර අසන්නවුන් තමන් වෙතින් අසන ප්‍රශ්නවලට දිය හැකි සුපිරි ගණයේ “රෙඩි මේඩ්” පිළිතුරු කට්ටලයක් මෙම මෑණිවරුන් සතුව තිබෙන බවකි.

පුරා තිස් වසරක පමණ කාලයක් තිස්සේ වරින් වර මා විසින් කරනු ලැබූ අධ්‍යයනයනට අනුව මෙම මෑණිවරුන්ට වැඩිපුරම හිමි වනුයේ කාලි දේව වරමය. එසේ දේව වරම් හිමි වන ක්‍රම ද කිහිපයකි. තම ජීවිතයට එළැඹි අනේක විධ දුක් කරදර දෙවියන් හමුවේ නිරන්තරයෙන් කියා සිටින අතරේ ඇය එම දුකින් මුදාලනු පිණිස දේව වරමක් දිය හැකි බව දෙවියන් විසින් ඇය වෙත පවසා හිඳීම ඉන් එක් ක්‍රමයකි. ඇතැම් විට එම කාන්තාවට නිතර පෙනෙන සිහිනයක් ලෙසින් මෙම පණිවුඩය ලැබෙන අතර තවත් විටෙක හිටිහැටියේ පත්වන ආරූඪයක් මගින් ද දෙවියන්ගේ මෙම පණිවුඩය ඇය වෙත හිටිහැටියේ සන්නිවේදනය විය හැක.

ආරූඪ වීම තහනම්

ඉහත සඳහන් කවර හෝ ලෙසකින් දේව වරමක් ඇති බව වටහා ගන්නා කාන්තාව එය ලබා ගැනීම පිණිස එම දෙවියන් හා සම්බන්ධ ප්‍රධාන දේවාලයට යෑම පිළිගත් සම්ප්‍රදායයි. එහිදී එම දේවාලයේ ප්‍රධාන කපු හෝ පූජක තැනට තමන් පැමිණි කාරණය පැවසූ විට එම දේව වරම හිමි තැනත්තාට හෝ තැනැත්තියට එම වරම ප්‍රදානය කිරීම ඒ දේවාලයේ ප්‍රධාන කපුවා හෝ පූජකවරයා විසින් කළ යුතුව තිබේ. එහෙත්, ඒ සම්බන්ධ ප්‍රායෝගික පක්ෂය ඊට සපුරාම වෙනස් ය. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේවාල බොහොමයක පාලක පක්ෂය හෝ කපු මහතුන් එබඳු වරම් ගැනීමට පැමිණෙන්නියන් “සතපහකටවත්” ගණන් නොගැනීම ය. ඒ නොතැකීම කොතෙක් ද යත් පසුගිය කාලයේ හලාවත මුන්නේෂ්වරම භද්‍ර කාලී කෝවිලේ “ආරූඪ වීම තහනම්” යනුවෙන් දැන්වීම් පුවරුවක් ද සවි කොට තිබිණ. එය කාලි මෑණියන් ගේ “අන පරිදි” සවි කරන ලද්දක් දැයි දැන ගනු පිණිස මා එහි ඥානසුන්දරම් පූජක වරයාගෙන් විමසූ විට ඔහු ගත් කටටම කියා සිටියේ “ඔය බොරු වැඩ වලට අපි සපෝට් දෙන්නේ නෑ” යනුවෙනි.

පසුව මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමසුමකදී නවගමුව පත්තිනි දේවාලයේ කපු මහතකු මා හා කියා සිටියේ එම වරම් ලබා දීම ඒ ඒ පුද්ගලයන්ගේ මියගිය ඥාතීන් විසින් සිදු කරනු ලබන්නක් මිස ඊට පත්තිනි මෑණියන්ගේ හෝ වෙනයම් දෙවිවරුන්ගේ කිසිදු සබැඳියාවක් නොමැති බවකි. කිසිම දෙවියෙක් මිනිස් ශරීරයකට ආරූඪ වෙන්නේ නෑ. එහෙම වුණොත් ඒ වෙලාවෙම ඒ තැනැත්තාගේ ඔළුව හත් කඩකට පුපුරලා යනවා. දේව බලය ඒ තරම් ප්‍රබලයි. ඇත්තෙන්ම ඒ විදිහට ආරූඪ වෙන්නේ මියගිය ඥාතීන්ම තමයි. නමුත් ඒ ඥාතීන් අතර දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල සේවය කරන අය ඒ සම්බන්ධයෙන් එලෙස දේව වරම් ලබා ගන්නවුන්ගේ පාර්ශ්වයේ අය ද එසේ කියති.

ඉහත සඳහන් දෙවිවරුන් සම්බන්ධ ප්‍රධාන දේවාලවල තත්ත්වය එසේ වුවද, එලෙස දේව වරම් ඇත්තවුන් හට එම වරප්‍රසාදය හිමිකරගත හැකි වෙනත් පෞද්ගලික දේවාල තිබේ. මෙලෙස දේව වරමක් ඇති බවට ඉඟි පළවන අයකු එවන් දේවාලයකට ගොස් එවැන්නක් කී විට එම දෙවියන් සඳහා සංවිධානය කෙරෙන සුවිසල් පූජාවකට යටත්ව එම දේව වරම ප්‍රදානය කරවීමේ කොන්ත්‍රාත්තුව එම දේවාල පාලකයෝ භාර ගනිති. එවිට එම දේවාලයේදී එම කපුවා හෝ එම වරම් හිමි තැනැත්තා ආරූඪයට පත්කොට එම වරමේ ස්වභාවය සහ ඉන් ගත හැකි ප්‍රයෝජන පිළිබඳ දෙවියන්ගේ ස්ථාවරය පැහැදිලි කර දෙනු ඇත. නමුදු ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වන අතර ඇතැම් විට එය රුපියල් ලක්ෂ ගණනක් ද විය හැක. ඉන්පසු එම තැනැත්තාට පෞද්ගලික දේවාලයක් ඇරඹීමේ ‘දේව වරම’ හිමි වෙයි. මෙය හරියට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු වී උපාධියක් ගැනීම සඳහා සුදුසු කම් නොළද අයෙකුට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් එම වරම උදාකර ගැනීමට ලැබෙන අවස්ථාව මෙනි.

මීට වසර විස්සකට පමණ පෙර කාලි අම්මාගේ ආරූඪයෙන් ශාස්ත්‍ර කියන තැනකට ගොස් අපේ වැඩිහිටි ඥාතියකුගේ නමක් කියා ඔහුගේ “ප්‍රාණ කාරයා” ගෙන් මට පිහිටක් ලබා ගත නොහැකි දැයි කාලි අම්මාගෙන් අසා සිටියෙමි. අප රටේ ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ ව්‍යවහාරයේ දී ජීවත් වන හෝ මියගිය අයකුගේ ආත්මයක් හැඳින්වීම පිණිස මෙම ප්‍රාණ කාරයා යන වදන යෙදෙයි. එවිට කාලි අම්මා ආරූඪ වූ සාත්තර මෑණියන් කියා සිටියේ “දරුවා, ඔය කියන ප්‍රාණ කාරයාගෙන් උඹලට කැඹුරුමක් තියනවා නම් තමයි. ඒත්, තාම එහෙම දේකට ඒ ප්‍රාණ කාරයාගේ ආත්මේ බලවත් මදි. ඒකයි ඒකා ඔය තාමත් අහසේ පාවෙවී ඉන්නේ. ඒත් උඹලා ඒ වෙනුවෙන් මට පූජාවක් තියලා කන්නලව්වක් කළොත් මං ඔය ප්‍රාණකාරයගේ බල පිහිටුවලා මගේ දේව සමාගමට ගන්නම්. එතකොට ඒකා උඹලට පිහිට වෙයි” යනුවෙනි. අවසානයේ ඒ පූජාව සම්බන්ධයෙන් විමසූ මට ඒ සඳහා වන පූජා භාණ්ඩ වලට රුපියල් විසි දහසක් පමණ වැය වන බව දැනගත හැකි විය. එහෙත්, පිටතින් ගන්නා එම පූජා භාණ්ඩ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් තමන් තුළ විශ්වාසයක් නොමැති බැවින් එම පූජා භාණ්ඩවලට අවශ්‍ය මුදල තම කාර්යාලයට දී ලදු පතක් ගන්නා ලෙස ද එම ශාස්ත්‍ර මෑණියෝ මගෙන් ඉල්ලා සිටියහ. නමුදු මා එම ශාස්ත්‍රය අසා ආපසු එන අතරේ ඒ ඥාතියා හෙවත් ප්‍රාණ කාරයා “ගම් මට්ටමින්” ඇඟ පත රත් කරගෙන අපේ ගමේ සිල්ලර කඩයක් ඉදිරියේ ඒ මේ අතට “පා වෙමින්” සිටින අයුරු මට දැකගත හැකි විය.

ප්‍රාණයක්, භූමියක්, සිත් වේදනාවක්, ලෙඩක් දුකක්

නමුදු මගේ එම ඥාතියා මෙන් ජීවත්ව හිඳින්නෙකු සම්බන්ධයෙන් නොව සැබැවින්ම මියගිය අයකු සම්බන්ධයෙන් මෙවැනි විමසීමක් කළ හොත් ඒ තැනැත්තා “කොරහේ නෑවීමේ කලාව” මේ සාත්තර මෑණිවරු සුපිරියටම දනිති.

එමෙන්ම මෙම මෑණිවරුන් ගේ ප්‍රශ්න කිරීම්වල ද පහසුවෙන් හඳුනාගත හැකි මාදිලියක් තිබේ. එනම් ඔවුන් අසන එක් ප්‍රශ්නයක් තුළ වර්තමාන සමාජයේ බොහෝ දෙනකු මුහුණ දෙන පොදු ප්‍රශ්න කට්ටලයක්ම මනා සේ ගොනුව තිබීම ය.

‘ප්‍රාණයක්, භූමියක්, සිත් වේදනාවක්, ලෙඩක් දුකක් පෙන්නුම් කරනවා දරුවා ඔව් නම් ඔව් කියාපන් නෑ නම් නෑ කියාපන්’ ශාස්ත්‍රකරුවකු හෝ කාරියක ශාස්ත්‍ර අසන්නකුගෙන් එසේ අසන විට ශාස්ත්‍ර අසන්නවුන්ගෙන් සියයට හැත්තෑ පහක්ම ‘ඔව්’ කීම අතිශය ස්වාභාවික ය. මන්දයත් එවැනි ප්‍රශ්න මෙම සමාජය පුරා කොතෙකුත් දක්නට ලැබෙන බැවිනි. ‘තවම ඔය ප්‍රශ්නෙ කෙළවරක් නෑ නේද දරුවා’ ශාස්ත්‍රකරු හෝ කාරිය ඉන්පසුව අසයි.

‘දැන් ඉතින්, මොකද කරන්න හිතාගෙන ඉන්නේ’ ශාස්ත්‍ර ඇසීමට යන තැනැත්තා ‘නෑ’ කී සැණින් ශාස්ත්‍රකරු අසා සිටියි.

‘ආයිමත් ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ නම්’අසන්නා එසේ කී සැණින් ඔහුගේ මෙම ශාස්ත්‍ර විමසුම රෝගියකු පිළිබඳව බව ශාස්ත්‍ර කියන්නා වටහා ගනී. එලෙස ශාස්ත්‍ර කීමේ පළමු වටය නිමා කරන ඔහුට ඉන්පසු දෙවෙනි වටයට පැමිණීමට පුළුවන. මෙලෙස ශාස්ත්‍ර කීමේ මුවාවෙන් ශාස්ත්‍ර අසන්නාගෙන් ඉතා සූක්ෂම අයුරින් දැනගන්නා කරුණු මතින් තමන් පවසන ශාස්ත්‍රය ගොඩනඟා ගන්නා මෙම උපාය අනුයාත බැහැරලීමේ ක්‍රමෝපාය (Process of Elimination) නම් වන විද්‍යාත්මක සිද්ධාන්තය මත පදනම් වෙයි.

එමෙන්ම බානම් ප්‍රයෝගය (Burnum Effect) හෙවත් දේදුණු ප්‍රයෝගය නමින් හැඳින්වෙන උපාය මාර්ගය ද සමහරෙක් මෙහිදී ප්‍රයෝජනයට ගනිති. දේදුන්න යනු වර්ණ කිහිපයක සංකලනයකි. එබැවින් එහි නිශ්චිත වර්ණයක් නොමැත. ඒ අනුව දේදුනු ප්‍රයෝගය ඔස්සේ ශාස්ත්‍ර කීමේ දී ද ඕනෑම අයකු තුළ පැන නැඟිය හැකි මානසික ගැටලු, අර්බුද ආදිය පිළිබඳ පොදු දර්ශකයක් ශාස්ත්‍ර අසන්නා වෙත යොමු කිරීම බොහෝ ශාස්ත්‍රකරුවන්ගේ උපාය මාර්ගයකි. “දැන් ඔය දේ හිතින් අයින් කර ගන්නම බෑ නේද?” යනුවෙන් ශාස්ත්‍රකරුවකු වෙතින් නැගෙන ප්‍රශ්නයක් හමුවේ ඕනෑම පුද්ගලයකු තුළ බල පැවැත්වෙන ආත්ම සංවේදීතාව හමුවේ තම සිතින් ඉවත් කර ගත නොනැකි කිනම් හෝ පැනයක් සිහියට නැංවෙනු ඇත.

එමෙන්ම “කොහොම හරි දියුණු වෙන්න බැලුවට අඩියක් ඉස්සරහට තියන කොට අඩි දහයක් පස්සට යනවා වගේ තේරෙනවා නේද?” යනුවෙන් ද සමහර ශාස්ත්‍රකරුවෝ අසති. ඒ උත්සාහය යනු සෑම විටෙකම අසීරු වූවක් සේම ඒ අසීරුව වැඩි වන තරමට ඒ පුද්ගලයාගේ මානසික ආතතිය ද ඉහළ නැංවෙන බව ඔවුන් මනාව දැන හිඳින බැවිනි. ඒ කෙසේ හෝ ශාස්ත්‍ර ඇසීමට යෑමේ දී තමන් පිළිබඳ සත්‍ය තත්ත්වයන් වසන් කරන තරමට එම ශාස්ත්‍ර මගින් පැවසෙන දෑ ද අසත්‍ය බවට පත් වන බව ඒකාන්ත සත්‍යයකි. මා ඒ බව පවසනුයේ ඒ සම්බන්ධ න්‍යායික කරුණුවලට අමතරව එවන් ස්ථානවල ඇති ‘සාත්තර සූත්තර’ පිළිබඳ ලබා ගත් රසවත් අත්දැකීම් රැසක් ද සමඟිනි.

“හැබැයි ඔතන මෙහෙම දේකුත් තියනවා. ඔය විදියට ශාස්ත්‍ර කියන අයට සමහර විට ‘ආරූඪ වෙන්නේ ප්‍රබල දෙවිවරුන්ගේ දේව සභාවල ඉන්න පහත්ම පෙළේ අය, ඒ අතරේ ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ වගේ අයත් ඉන්න පුළුවනි. අන්න එහෙම අය ආරූඪ වුණාම තමයි සාස්තරවලට ඔහොම බොරු කියවෙන්නේ. අනික මොන තරම් වැදගත් ප්‍රභූවරයකු යටතේ වුණත් පහත් පෙළේ සේවකයෝ ඉන්න බැරිකමක් නැහැනේ, මෙතනත් වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. මොකද අපි ඒ අයගේ අයිඩෙන්ටිටි කාඩ් චෙක් කරන්න කියලයැ” එලෙස දේව වරමින් පැවසෙන ශාස්ත්‍ර මගින් පට්ටපල් බොරු කියැවීම සම්බන්ධයෙන් එම සාත්තර මෑණි වරුන්ගේ පාර්ශ්වයෙන් නිදහසට කරුණු දක්වනුයේ එලෙසිනි.

යකා වැහීම

මෙලෙස ශාස්ත්‍ර කීමේ යෙදෙන බොහෝ මෑණිවරුන් එම කටයුත්තේ යෙදෙනුයේ පියවි සිහිය ඉක්මවා ගිය ස්වරූපයකිනි. මෙය ඇතැම් විට කිසියම් මානසික පෙරැලියක් මත පදනම් වන ආරූඪය (Possession) නම් තත්ත්වය විය හැකිය. නැතිනම් ස්වෝත්සාහයෙන් එවැනි ආරූඪ තත්ත්වයකට එළැඹීමක් හෙවත් සමාරෝපණයක් (Impersonation) ද විය හැකිය. එසේත් නැතිනම් තමන් එසේ ආරූඪයකට පත් වූ බව හඟවන ව්‍යාජ ආටෝපකාරී මවා පෑමක් ද විය හැක. ඒ කෙසේ හෝ මේ සියලු තත්ත්වයන් පොදු සමාජය විසින් හඳුන්වන එක්තරා නමක් ද තිබේ. එනම් ‘මායම් වීම’ යනුවෙනි. යමකු තුළ ස්වභාවිකත්වය ඉක්ම වූ දරුණු ප්‍රචණ්ඩ ගති පහළ වීම යක්ෂාවේෂය, යක්ෂාරූඪය (Demonize) ලෙස හැඳින්වෙන අතර එය “යකා වැහීම” යනුවෙන් අපේ ජන වහරෙහි පැවසෙයි. එහෙත් දෙවියකු සම්බන්ධයෙන් එම වැහීම යන වදන නොයෙදෙයි. එය හැඳින්වෙනුයේ “දෙවියන් මායම් වීම” යනුවෙනි.

අප ජන සම්මතයට අනුව ‘මායම’ යන වදන පුරුෂ පක්ෂයට වඩා කාන්තා පක්ෂයට ආදේශ වන අවස්ථා අතිශය බහුලය. අපගේ ජන සංස්කෘතියට අනුව කාන්තාව සතුව මායම් හැට හතරක් තිබේ. මෙම මායම් යනු කාන්තාවක සතු පිරිමින් වසඟ කරගත හැකි ආව භාව ලීලාවන් මිස ඔවුන් ගේ වැරදි අඩුපාඩු වශයෙන් කෙසේවත් සැලකිය යුතු නැත. එමෙන්ම කතා බහ සහ චර්යාවන් මත පදනම් වන ඒ මායම් හෙවත් ආව භාව ලීලාවන් ස්ත්‍රී හෝමෝන ක්‍රියාකාරීත්වය මත පදනම් වන ඒවා බව පෙනේ. ඊට හේතුව ආර්ථවහරණය මගින් කාන්තාවක වියපත් වන විට ආව භාව ලීලා මගින් පිරිමියකු ආකර්ශනය කරගැනීමට ඇති හැකියාව කෙමෙන් අව ප්‍රමාණ වන බැවිනි.

මෙලෙස ශාස්ත්‍ර මෑණිවරුන් ලෙස සමාජය හමුවේ පෙනී සිටින කාන්තාවන්ගේ චර්යාවන් සහ ක්‍රියාකාකරම් කෙබඳු වුවද ඔවුන් ඒ සඳහා පොළඹවන මනෝමය මූලයන් සම්බන්ධ විවිධ කරුණු ඒකරාශී වී තිබේ. අභ්‍යන්තර මානසික ගැටුම (Conflict) නම් වන මනෝමය සාධකය මුල් කර ගෙන තම ප්‍රකෘති පෞරුෂයෙන් ඉවත් වී ද්වියිතීයික පෞරුෂයක් ගොඩනඟා ගැනීම ඇතැම් කාන්තාවන් තුළ පවතින ස්වභාවික නැඹුරුව මෙම මෑණිවරුන් බිහි වීමේ මූලික මනෝ විද්‍යාත්මක සිද්ධාන්තය වෙයි.

මෙම කරුණ සම්බන්ධයෙන් මෑත භාගයේ විශිෂ්ඨතම පර්යේෂණයක් සිදු කළ කාන්තාව සහ ආගමික විශ්වාස සම්බන්ධ ප්‍රවීණාචාර්ය වරියක වන මහා බ්‍රිතාන්‍යයේ සෆොක් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය සුසන් ස්ටෝර් සෙරෙඩ් ( Susan Starr Sered) පෙන්වා දෙනුයේ ඇතැම් කාන්තාවන් තමන් සතු බොහෝ දේ ප්‍රකෘති ලෙසින් අහිමි වීම් (Deprivation) පවතින විට තම ස්වයං ආරක්ෂාව සඳහා ප්‍රකෘතියෙන් බැහැර විශ්වාස පද්ධතීන් කෙරෙහි එල්බ ගන්නා බවකි. මේවා ඇතැම් විට ලෝක සම්මත ආගමික විශ්වාසයන් ඉක්මවා යන මනෝමය මූලයන් බව ඇය පෙන්වා දෙයි. අප රටේ බොහෝ මෑණිවරුන්ගේ යටගියාව තුළ ද එවැනි අහිමි වීම් සුලබ බව මගේ වැටහීම ය.

දේව වරමින් ශාස්ත්‍ර කීම නම් වෘත්තිය

ඒ කෙසේ හෝ යමකු මෙලෙස ආරූඪයට පත් වීම මොළයේ ජෛව රසායනික විෂමතා නිසා හට ගන්නා තත්ත්වයක් ද විය හැක. නො එසේ නම් ඒ තැනැත්තාගේ යටි සිතේ බලපෑමකට අනුව සිදුවන්නක් බව කිව යුතු ය. ඒ විනා වෙනත් බාහිර ගුප්ත බලවේගයක් සිරුර තුළට ඇතුළු වීම කෙසේවත් සිදු නොවන බව මේ වන විට විද්‍යාත්මක වශයෙන් මනාව අනාවරණය වී තිබේ. එමෙන්ම යම් යම් පුද්ගලයන් තම ජීවිතයේ මුහුණ දෙන ගැටලු අර්බුද මත පැන නඟින මානසික ගැටුම නම් වන සාධකය හමුවේ ඒ තැනැත්තා ප්‍රකෘති පෞරුෂයෙන් අත්මිදී වෙනත් පෞරුෂයකට පිවිසීම මෙහිදී සිදුවන බව තහවුරු කරන නවීන මනෝ විද්‍යාව එය හඳුන්වනුයේ විඝටන අපවර්තනය (Dissociative Trance) යන නමිනි. ඒ අනුව මනෝ වෛද්‍ය ප්‍රතිකාර හෝ චිකිත්සක ක්‍රම මගින් සමනය කළ යුතු එවන් මානසික අර්බුද සාම්ප්‍රදායික ජන සමාජයන් තුළ යම් යම් කළමනාකරණයන්ට ලක්වීමෙන් ඒවා මුල්කොට “දේව වරමින් ශාස්ත්‍ර කීම” නම් වෘත්තියක් හෙවත් වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. මෙය අප රටේ මෙන්ම ආසියා, අප්‍රිකා මහද්වීපවල සාම්ප්‍රදායික ජන සමාජයන්හි බහුල වශයෙන් සිදු වන්නක් බව පෙනේ. එමෙන්ම තමන්හට දේව වරමක් ලැබුණු බවට මානසික සංඥා ලැබීම භින්නෝන්මාදය (Schizophrenia) මානසික රෝගයේ මූලික ලක්ෂණයක් ද විය හැක. නමුදු එවැනි රෝග ලක්ෂණ දේව වරම් ලැබීම ලෙස “කළමනාකරණය” කළ නොහැක. ඒ එම රෝගයේ ලක්ෂණ වරින් වර විෂම ස්වරූපයන් ගන්නා බැවිනි. නමුදු තම ජීවිතයේ විවිධ ගැටලු, අර්බුද මුල්කොට එවන්, මානසික ගැටුම්වලට ලක්වන සමහරුනට ‘දේව වරම් ලැබීම’ මත ශාස්ත්‍ර කීමෙන් තම ජීවනෝපාය සළසා ගැනීමට අවකාශ ලැබේ. එමෙන්ම ඒ තැනැත්තාගේ මානසික ගැටලුව දුරුවී මනැස ප්‍රකෘතිමත් වීම මත එම ආවේගය හෝ ආරූඪය අහිමි වී යෑම ද බොහෝ විට සිදුවන්නකි. එහෙත්, එම තත්ත්වයට මුහුණ දෙන “මෑණිවරුන්” වුව ඉන් පසුව ද තම දේව වරමින් ශාස්ත්‍ර කීම එලෙසින්ම පවත්වාගෙන යනු ලබනුයේ කෘත්‍රිම ආරූඪයක් හෙවත් ඉහත සඳහන් කළ සමාරෝපණ තත්ත්වයක් යටතේ ය. අප සමාජය තුළ මෙම සාත්තර මෑණිවරුන්ගේ පැවැත්ම තහවුරු වනුයේ හුදෙක් මෙම සමාජ මනෝ විද්‍යාත්මක පදනම මත බව මනඃකල්පිත කාලි මෑණියන් පිළිගත්තත් අප සමාජයේ බහුතරය පිළිනොගන්නා බවට සහතික වන්නට මට පුළුවන.

මානව විද්‍යාඥයන් අර්ථ දක්වන ආකාරයට කාලි යනු හින්දු ත්‍රිමුර්තියට අයත් ශිව ගේ අව ගුණ විදහා දැක්වෙන අවතාරයකි. නැතහොත් ස්වරූපයකි. ශිව ශිෂ්ඨත්වය නියෝජනය කරන අතරේ කාලි අශිෂ්ටත්වය නියෝජනය කරන්නීය. යම් කලෙක ශිව ගේ බලය බිඳ වැටී ශිව “ශව” හෙවත් මළ සිරුරක් වූ පසු කාලි ඔහුගේ සිරුර මතට නැඟ නිරුවතින් රැඟුම් පාන්නීය. අද අප දකින කාලි රූප සමහරක ඒ අවස්ථාව විදහා දැක් වේ. එම කතා ප්‍රවෘත්තියේ එන දාර්ශනික අරුත අනුව මෙය ශිව ශව බවට පත් කාලි අම්මලාගේ යුගයක් බව රාජ්‍ය නායකයන්ගේ පවා කරවල් මත නැඟී බඩ පිනුම් ගසන නූතන කාලි අම්මලාගෙන් ද මැනැවින් පසක් කර ගන්නට අපට පුළුවන.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment