ක්‍රිස්තු දහමට උරුමකම් කියනුයේ කතෝලික සභාවයි – කෙනඩි පෙරේරා පියතුමා

250

“ක්‍රිස්තුස් වහන්සේ විසින්ම ආරම්භ කළ පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ආගම කතෝලික සභාවයි. එය දෙස් විදෙස් අය විසින් වරින්වර ආරම්භ කරන ලද හතු පිපෙන්නා සේ බිහිවන ආගම් වගේ නොවේ.”

මීගමුව ලොයලා විදුහල් අදියුරු කෙනඩි’ පෙරේරා පියතුමා එසේ පැවසූයේ ඉකුත් ජූනි මස 25 ඉරිදා වත්තල, හැඳල, නායකකන්ද මීසමේ සාන්ත සෙබස්තියන් මුනි භාර මංගල්‍යය විශේෂ දේව මෙහෙයේ දේශනය පවත්වමිනි.

ගරු පියතුමා එහිදී මෙසේද පැවසූහ.

“තම විශ්වාසය වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාග කළ සාන්තුවරයන්ගේ රුධිරය කතෝලික සභාවේ බීජයයි. එලෙස ප්‍රාණ පරිත්‍යාග කළ අය ඉන්නේ කතෝලික සභාවේ පමණයි.

අධිරාජ්‍යවාදීන්ගේ අභියෝග හා ආගමික පීඩනය එදා සිටම පැවතුනත් අද ලොව විශාලතම සැදැහැවතුන් පිරිසක් අදහන ආගම බවට පත්ව තිබෙන්නේ කතෝලික සභාවයි.

නමුත් කිතුනු අපට විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන්නේ කතෝලික සභාවේ සැබෑ අන්‍යතාවය හරිහැටි නොදන්නා නිසයි.

ආත්මික පෙළහර පාන සාන්තුවරයන් සමරන්නේ, උන්වහන්සේලා මියගිය දවසේයි. එය සාක්ෂි දැරීමකි. එම බලය අභිමානය හා විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙන යාම කිතුනු අපේ යුතුකමක් හා වගකීමකි .

හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ සම්මාන විහාරාධිපති, දකුණු අලුත්කුරු කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය, උල්ලල අමිත නාහිමි ඇතුළු පූජක, පැවිදි හා ගිහි කිතුනු’ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

එදින ශුද්ධවූ සෙබස්තියන් මුනි ප්‍රතිමාව රැගත් පෙරහැර නායකකන්ද දේවස්ථානයෙන් පස්වරු 2.00ට පිටත්ව රාත්‍රී 9.00 දක්වා කිලෝමීටර 22 ක පමණ දුරක් විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් හැඳල ගම්මානය වටා ගමන් කිරීම විශේෂත්වයකි.

ප්‍රංශ ජාතික අගාසියෝ පියතුමාගේ මීසම් පාලන සමයේදී (1906-1911) වසංගත රෝගයකින් හැඳල ගම්මානයම පීඩා විඳි අවස්ථාවේදී එම පියතුමා විසින් සිදුකළ භාරයක ප්‍රතිඵලයක් ලෙස කෙටි කලක් තුළ එම වසංගතය දුරු වීම නිසා ස්තුතිය පළ කිරීම සඳහා මෙම වීදි පෙරහැර සම්ප්‍රදායිකව සිදු කෙරේ. එය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන දීර්ඝතම පෙරහැර ලෙස පිළිගැනේ.

නායකකන්ද මීසම්පති, ප්‍රිය ජයමාන්න සහ මීසම් සහයක යොහාන් ෆ්ලසි යන පියතුමන්ලාගේ අනුශාසකත්වයෙන් මෙවර සංවිධානය කෙරුණි. එහි අවස්ථා කිහිපයක් සේයාරූ වලින් දැක්වෙයි.

ජේ. ස්ටැනිස්ලස් පයස්
සංස්කරණය – නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment