සකලවිධ කලාංගයේ සන්නාම පෞරුෂය ලූෂන් බුලත්සිංහල

585

ලූෂන් බුලත්සිංහල නම අපට අලුත් නමක් නොවේ. මෙරට ගුවන් විදුලියට, වේදිකා නාට්‍යයට, ටෙලි නාට්‍ය කලාවට පමණක් නොව සිංහල චිත්‍රපටයට, ගීතයට සහ ග්‍රන්ථකරණයට කළ මෙහෙවර විශිෂ්ඨය. ඔහුගේ ඒ නමට අද පමණක් නොව තව යුග ගණනක් ගරු බුහුමන් කරනු ඇත. මට විටක මෙලෙස සිතේ. ලූෂන් බුලත්සිංහලයන් යනු මහ කන්දකි. කඳු ශිඛර අතර දිදුලන, සුදිලෙන මතු මතුත් ඉහළට නැග අප මතකයේ රැඳෙන ගිරි ශිඛරයකි. හෙළ කලාව අස්වැද්දීමට ඔහු කළ නිර්මාණ දකින විට, සිහිවන විට ඔහු අසම සම නිර්මාණකරුවෙක් නොවේ දැයි මට සිතේ. කලාව යනු භාෂාවකි. මේ භාෂාවට ජාතිය, ආගම, කුලයක් නැත. ඇත්තේ රසයකි. ලූෂන් බුලත්සිංහලයන් හා සමතැන් ගත් ඔහුටත් වඩා ඉහළින් හෝ පහළින් කවර ගණයේ කලාකරුවන් සිටිත්ද, ලූෂන් බුලත්සිංහලයන්ද ඒ කලාකරුවන් අතර නොදෙවෙනි අසහාය කලාකරුවෙකි. එය හරියට මට පෙනෙන්නේ කඳු හෙල් අතර දිදුලන, සුදිලෙන අලංකාර පරිසරයක පෙනෙන කඳු යායක, අපූර්ව කන්දක් ලෙසිනි. කලා කෘතියක අපූර්වත්වය හෙළ කලා කෙතට දායාද කළ ඒ අපූර්ව කලාකරුවා පිළිබඳ මේ තබන සටහන අකුරට ලඝු කළ නොහැකිය. අත්විඳ රසවිඳිය යුතු මහා චරිතයක් බව මගේ හැඟීමය. ලූෂන් නමැති ශිඛරයේ තැනෙක උස් සදාහරිත ශාකයෝ ය. ඒ ලූෂන්ගේ ටෙලි සිතුවම් නිර්මාණ මෙන් උස් ව, හැඩ ව පවතී. තැනෙක පාෂාණීභූත හැඩතලයන් ය. ඒවා ලූෂන් නම් නාට්‍යකරුවා ජාතියට දායාද කළ අමරණීය නාට්‍යයන් සම වේ. සූක්ෂ්ම ව බැලූවිට ඒ ගස් ගල් අතරින් ගලා හැලෙන අලංකාර දිය පහරවල් ය. ඒ කුඩා දියපහර පසුව ඕඝයන්, මහෝඝයන් වී දැය පොබ කළ නාට්‍ය ගීත, ටෙලිනාට්‍ය ගීත, චිත්‍රපට ගීත හා සරල ගීත ප්‍රවාහයෝ ය. ලූෂන් රඟ පෑ චරිතයෝ මඳනලක් ව හමමින් මේ ශිඛරය සිසිල් වාතාශ්‍රයෙන් පුරවති.

උපමා රූපක මගින් ගිණිය නොහැකි, අගය කළ නොහැකි ඒ අසහාය කලාකරුවා ගැන අකුරු වලින් කරන සටහනක් එතරම් හැඩ නැත. ඊට වඩා මනස විසින් හැඟීම්වලින් සිරිලක මිනිස් ජන සන්තානයේ කළ සටහන් ආඪ්‍ය වෙයි. ගතික වෙයි. යථාර්ථය විනිවිදිය හැකි මායාරූපී භාව ප්‍රකාශනයන් වෙයි.

මෙරට නිදහස ලබන්නට වසර පහකට පෙරාතු ව, එනම් 1943 මැයි තිස්වන ඉරු දින, හිරු තරම් තේජස් පුතෙකු වැදූ අම්මා ජේන්නෝනා මාතාවයි. රයිගම් බුලත්සිංහලගේ මාටින් පෙරේරා මහතා හිත උපන් සතුට වින්දේ පුත්‍රයාට “ලූෂන්” යනුවෙන් නම් තැබීමෙනි. ලූෂන් යනු අතීතයේ උපහාස රචනයේත්, අලංකාරෝක්ති රචනා කලාවේත් පුරෝගාමියකු බව එදා මාටින් පෙරේරා පියාණන් දැන සිටින්ට නැත. එහෙත් මතු දිනක හෙළ කලා භූමියේ අලංකාර අනන්‍ය ගිරි ශිඛරයක් වන්නට ඒ ලූෂන් සමර්ථ විය.

එක් පසෙකින් මුහුදු සුළඟත්, අනෙක් පසින් ඈතට දිවෙන සමතලා භූමියත් අතර ගහකොළ හෙබි ගමක උපන්නත් විවිධ අගහිඟකම් කුඩා ලූෂන් ට කරදර කළේ ය. එහෙත් ලූෂන් පාසල් යාමට ආශා කළේ ය. ලූෂන් පාසල් යාම ආරම්භ කරන්නේ ගමේ පාසලෙනි. අද රත්මලාන යනු ශබ්ද උපදින නගරය යන නම දීමට තරම් සාධාරණ, අධික ශබ්ද හා විවිධ දූෂණයන්ට ලක් වූ නාගරික කලාපයකි. එදා අලංකාර ගමක ගහකොළ අතරේ ඇවිදිමින් ලූෂන් පාසල ගමනේ සුන්දරත්වය වින්දේය. රත්මලානේ ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලදී ම ලූෂන්, විධිමත් අධ්‍යාපනයේ ද දක්ෂයකු බව ඔප්පු කරමින් ඉහළට ගමන් කරද්දී දෙහිවල මධ්‍ය විද්‍යාලය ලූෂන් ගේ අධ්‍යාපනික හැඩතල මනා ලෙස සියුම් කළේය. ඔපවත් කළේය. ප්‍රතිඵලය වූයේ එකල සිසුන් තුළ සිහිනයක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සමත්වූවන් ගේ ලේඛනයට ලූෂන්ගේ නමත් ඇතුළත් වීමයි. දරිද්‍රතාව ලූෂන්ගේ උසස් අධ්‍යාපනයට වධ දුන්නේ ය. රජයේ ලිපිකරු විභාගය ලියා ඉන් සමත් ව රැකියාවක් වෙත යන්නේ ද දිවි සටන ජයගනු පිණිසම ය. රැකියාවක් කරමින් ඉගෙනීම ලද ලූෂන් හැකියාවෙන් පූර්ණ චරිතයක් බව එතුළින් ම පසක් වේ. ලූෂන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරද්දී ම තම වියදම් සොයා ගත්තේ රජයේ රැකියාවක නිරතවීමෙන් ලද ආදායමෙනි. ඒ හැකියාවත් කැපවීමත් විසින් ලූෂන් බුලත්සිංහල යනු අද වනවිට හුදෙක් සාමාන්‍ය නමක් නොව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පමණක් නොව, සමස්ත ජාතියටම ගෞරවයක් දෙන ශ්‍රේෂ්ඨ නාමයක් ලෙස ඉතිහාසගත ව තිබේ. උපාධිය සමත්වීමෙන් පසුව ද ලූෂන්, අඹේවෙල සත්ත්ව ගොවිපළට රැකියාව කරමින් එහි ටික කලක් සේවය කළේය. මේ ගෙවෙන කාලය වැටුප ඉක්මවා ගිය යමක් ඔහු තුළ ආයෝජනය වීම ඔහු තුළ කැකෑරෙන වුවමනාවට ශක්තියක් විය. විවිධ ඒ සමාජ තලයන් ඇසුරු කරමින් අනේකවිධ අත්දැකීම් සම්භාරයක් මනස තුළට රැස් කර ගැනීමට ශමු ලද වාසනාවයි. පසු කලෙක අසහාය නිර්මාණ වී දායාද වූයේ ඒ ආයෝජනයන්ය.

දවසින් දවස ම කය විසින් මේ රැකියාව කළත්, තමන්ගේ සිත තුළ ජීවත්වන රැකියාව මෙය නොවන බව වටහා ගත් ලූෂන් කොළඹ හා නිතර සම්බන්ධ විය. පාසල් කාලයේ සිටම කලාකරුවකු වීමේ සිහිනයේ ජීවත් වෙමින් සිටි ලූෂන්ට වරින් වර ඊට අවස්ථා නොලැබුණාමත් නොවේ. පාසල් කාලයේදී ම අශෝකමාලා නම් නාට්‍යයේ සාලිය චරිතය රඟපා ලැබූ පරිචය පසුකාලීන කටයුතුවලට ඉතා ප්‍රයෝජනවත් විය. 1966 දී බන්ධුල ජයවර්ධන ගේ නාට්‍යයකත්, ඒ සමයේදී ම රංජිත් තිලකරත්නගේ කෝන්තරේ නාට්‍යයේ රංගනයට ලද අවස්ථාවත්, සරච්චන්ද්‍රයන්ගේ පෙමතො ජායතී සොකො නාට්‍යයේ වාද්‍ය වෘන්දයේ වාදනයට ලද අවස්ථාවත්, ලූෂන් ක්ෂේත්‍ර ගණනක අත්දැකීම් හා වෙනස්කම් කරා යොමු කරවී ය. විධිමත් අධ්‍යාපනයේ ඥානයත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා ආභාෂයත්, උපතින්ම තිබූ නිසග කලා හැකියාවත්, ප්‍රතිභාව විසින් මතු කළ ලූෂන්ගේ ඕනෑකමත් එක්වූ විට අනාගතය ජයගන්නා විශිෂ්ටයකු මතුවෙමින් පැවතින.

හැටේ දශකය වනවිට හෙළ කලා මාධ්‍යයන් අතරින් මිනිස් සිත් පැහැරගෙන තිබූ ප්‍රධාන කලාංගය වූයේ නාට්‍යයයි. ලූෂන් තුළ ද වැඩෙමින් තිබුණේ නාට්‍යකරුවකු වීමේ වුවමනාවයි. ලූෂන්ට වයස විසිඑක විසිදෙක කාලයේදී ඔහු නිර්මාණය කළ නොනිවෙන ගිනි නාට්‍යය ප්‍රේක්ෂක-විචාරක පැසසුමට ලක් වී රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනයට යෑම ලූෂන්ගේ ප්‍රබෝධයට ඉනිමං තැබීමක් විය. සම්මාන නැතත් වාර දෙක තුනක ම ලූෂන් ගේ ප්‍රතිභාව පැසසුමට ලක්වීමෙන් ලූෂන්ගේ ඉදිරිගමන් මග හෙළි පෙහෙළි වන්නේ නාට්‍ය ක්ෂේත්‍රය ඔස්සේ බව ඕනෑකමින් බලා සිටින අයෙකුට පෙණින. මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔහුට නව රැකියාවක් ලබාදෙමින් යන ගමනට සිහිලක් මැව්වේය.

ලූෂන්ට වයස තිහ වෙද්දී ලියූ පිටපත, ඊළඟ වසරේදී නාට්‍යයක් බවට නිෂ්පාදනය කිරීමේ වුවමනාව ලූෂන් ජයගත්තේය. ඒ 1974 දී රතුහැට්ටකාරී වේදිකාගත කිරීමයි. ලූෂන්ගේ සිතේ තිබූ ගතික චිත්තවේගය පුපුරුවාලමින් එය ජනතාව වැළඳගත් නාට්‍යයක් වූවා සේම විචාරක- විනිශ්චය ප්‍රතිචාර ද උපරිම ව ලබමින්, ඒ වසරේ නාට්‍ය උළෙල ගණනාවක ම කතාබහට ලක්වූ නාට්‍යය විය. “රතු හැට්ටකාරිය” නිවසේ ම සිටි බැවින්, වැඩි පුහුණුවක් ලද නිසාදෝ, රතු හැට්ටකාරී නාට්‍යයට සම්මාන පිට සම්මාන ලද රාජ්‍ය නාට්‍ය උළෙලක් නිමා විය. දීකිරි දීකිරි හා යස ඉසුරු පිරුණු තැනා ආදී ගීත මගතොටේ, බස් නැවතුමේ, දුම්රියපොළේ දනන් මුවඟ නිතැතින් ගැයෙන්නට විය. හැත්තෑවේ දශකයේ අවසන් අවුරුදු පහ ම ලූෂන් ට නිදහසක් ඉසිඹුවක් නැති විය. රට පුරා රතු හැට්ටකාරී රැගෙන යන ගමන්වලින් පිරී ගියේ ය. ලූෂන්ගේ නිවසේ යසඉසුරු නොපිරුණත්, සිත සිරි දෙව් දූ වැඩ සිටින තැනක් විය. මේ ප්‍රහර්ෂය විසින් ගුවන් විදුලියේ නිවේදක ලූෂන් මෙන් ම, නළු ලූෂන්ට ද හොඳ ඉල්ලුමක් ඇතිවිය. චිත්‍රපට නළුවකු ලෙස දනන් තුඩග රැව්දෙන නමක් දිනා ගැනීමට ලූෂන් සමත් වූවා සේම හත්දින්නත් තරු, චූඩා මාණික්‍යය, දඬු මොණර, හංස විලක්, ආරාධනා, සිටු දියණිය, කිරි කවඩි සිනමා පට තුළ කළ රංගනයන් මතක හිටින ඒවා විය. මෑතක දී හෝ ගානා පොකුණේ විදුහල්පති ලෙස කළ අමතක නොවන රංගනය මෙන් ම වර්තමානයේ ක්ෂීර සාගරය කැළඹිණ හි රංගන සාමාර්ථය සම්මානනීය වෙයි.

ලූෂන්ගේ අනන්‍ය වූ කටහඬ එදා ගුවන් විදුලිය තුළ තමාගේ අත්තිවාරම තහවුරු කර තිබිණි. එය ම ශක්තියක් වෙමින්, 1982 දී ආරම්භ වන ශ්‍රී ලංකා රූපවාහිනී වංශකතාවේ මුල් පරිච්ඡේදයන් නිර්මාණයට ලූෂන්ට අවස්ථාව හිමිවිය. රූපවාහිනී කාර්යයන් පිළිබඳ දේශීය-විදේශීය පුහුණුව ලබා ජාතික රූපවාහිනියේ ගමන් මග අලංකරණයට ආරම්භක කැපවීම කළ පිරිස අතර ලූෂන් පෙරමුණේ සිටියේය. එදා ලූෂන් ඇතුළු විද්වත් නිර්මාණකරුවන් පෙන්වූ මග ගියා නම් වර්තමාන රූපවාහිනී ජාලයන් හි මග පෙන්වන සුබ සලකුණ වන්නට ජාතික රූපවාහිනියට හොඳ ම ප්‍රස්ථාව තිබිණ. එහෙත් සිදුවූයේ නිවැරදි ව මග පෙන්වූ ලූෂන්, බන්දුල විතානගේ ආදීන් ට රූපවාහිනියෙන් පිටමංවීමටයි.

1981 වර්ෂය ලූෂන් බුලත්සිංහල නාමය නාට්‍යකරුවකු ලෙස ඔසවා ලූ උස අපරිමිත විය. ඔහු ශ්‍රී ලාංකීය නාට්‍යකරුවන්ගේ ලැයිස්තුවේ යුග පුරුෂයන් අතරට එක්කළේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයයි. ගීත දහයකින් සංගෘහිත වූ මේ නාට්‍යය එකල නොනැරඹූවකු සොයාගත නොහැකි තරමට ජනගත විය. ජනසිත් පැහැරගත්තේය. ගීත දහයම පාහේ ජනප්‍රිය වූ අතර ම, අතිශය ජනාදරයට පත්ව මංගලයෝත්සව, විවිධ උත්සවවල ගැයෙන තරමට සීමා ඉක්මවූ ගීත කිහිපයකින් ද මේ නාට්‍යය පොහොසත් විය. ඒ අතර, සෝබාව දේ මෙපුර සිරි විසිතුරු…. මඩේ ලගින තාරාවන්….. යාළුවෝ මාළුවෝ…. කඩේට පලයං චූං චෑං… යන ගීත පෙරමුණෙ ය. ඒවා එකල නිරතුරු මග තොට පවා ඇසෙන නිර්මාණ විය. ඊට අමතර ව සුළඟින් බිත්ති තැනූ…. හඬන්නෙපා…. අතුරු මිතුරු….. පුරුෂ භාවයයි අපේ ආයුධේ….. බෑ බෑ ගෙදර යන්න බෑ… හා තට්ටු කරන්න සෙමින් ගීත ද අදත් බොහෝ වැඩිහිටි රසිකයන්ට පෙළ මතක ඇති ගීතයන් ය. ගීත නාටකයක් නොවී ගීත දහයක් අඩංගු වී, ජනතා ප්‍රසාදයට පත් වෙනත් නාට්‍යයක් තාරාවෝ ඉගිලෙති හැර වෙන අන් කවරක් ද?. නාට්‍යකරුවකු ලෙස ලූෂන් වසර ගණනක් එක හුස්මට ගෙවා දැම්මේ තාරාවෝ ඉගිලෙති හා රට වටා යමිනි. ඒ රට වටා යන ගමනේ දී විවිධ වයසේ, විවිධ තලයේ, නෙක නෙක මට්ටමේ රසික සමූහයක් ලූෂන්ගේ ආරක්ෂක ගමනාන්තය වෙමින් ඔහුට ආදරය කළ රසිකාකරය විය.

ලූෂන්ගේ නාට්‍ය ගීත සාමාන්‍ය ජන ප්‍රසාදයට පාත්‍ර වූයේ එහි බස් වහරේ ඇති නාටකීය හා මුව වහරෙන් උපයා ගෙන තිබීමෙන් හා අර්ථ රසයෙන් ඉතිරෙන්නක් වීමත් පාදක කරගෙන ය. වරක් දෙවරක් ඇසූ රසික සමූහයා මේවා නිරායාසයෙන් ම මතකයේ රැඳෙන බවත් නොදැනම මතකයේ ගායනා බවට පත්කරගති.

1961 දී මන්නඩියා නිපදවා ආරම්භ වූ ලූෂන් ගේ නාට්‍ය ජීවිතය 1966 දී නොනිවෙන ගිනි ද තුළින් නාට්‍ය වෙත ඇති ඇවිළුනු ගින්න උච්චස්ථානයකට ගෙන යමින් 1974 දී රතු හැට්ටකාරී ලෙසින් හැඩ වැඩ වී පැමිණ, 1981 දී තාරාවෝ ඉගිලෙති තුළින් ජන හදවතේ ආකාශයට ම ඉගිළිණ. ඔහු හෙළ නාට්‍ය වංශකතාවට ඉටු කළ මෙහෙවර ම දීර්ඝායුෂ වෙයි. මැයි 30 දා අසූවැනි වියට පා තරණය කරන ලූෂන් බුලත්සිංහල නම් අග්‍රගන්‍ය කලාකරුවාට අපි නිරෝගීත්වය, චිර ජීවනය ආශීර්වාද කරමු.

ගුවන් විදුලිය, නාට්‍යය, රූපවාහිනිය, ටෙලි නාට්‍යය, ග්‍රන්ථකරණය ආදී ක්ෂේත්‍ර ගණනක් ඔස්සේ ගතික වෙමින්, නැවුම් වෙමින් ආ ලූෂන් ගේ ජීවිතය තුළ ගී නිර්මාණ බිහිවීමේ මහා හෘදයංගම බවක් මතුවෙමින්, ලියලමින්, පැතිර පැවතින. 1980 දී නන්දා මාලිනියට සඳුන් සිහින මණ්ඩපයේ ගීතය ලියමින් ඇරඹුනු ඒ අනර්ඝ කලා රසාංගය අදත් වෙනස් වූ, නව ආරේ ගීත පද රචකයා ලූෂන් ය යන්න පසක් කර ඇත. සරල ගීත, චිත්‍රපට ගීත, එකිනෙකින් වෙන් කරගත හැකි රූපක භාවිතාවේ කූඨ ප්‍රාප්තිකයා ඔහු ය. මායාවත්, ඉන්ද්‍රජාලික යථාර්ථයත් අතර අසන්නාට, තමාටම සුන්දර වූ මනස් රූ මවන ගීත රචනා ඔහුට ම අතුල්‍ය, පරම රමණිය විය. ඊට අසමසම ව තනු නිමැවූ සංගීතඥයෝ සහ ගායක ගායිකාවේ ඉටු කළ සාධාරණය ඒවා සදාතනික ගීත නිර්මාණ බවට මිනිස් චිත්ත සන්තානයේ නිධන්ගත කරවීය.

කොළොම්තොට නැත මහලු වී… රජ මැදුරක ඉපදී සිටියා නම්… පිපුනු මලේ රුව… දෙතොල නොකී දේ… සිරි යහනේ ලණු ඉහිරී…. පිනිබර යාමේ…. මිණි මිණි පොදේ….මුතු කුඩ ඉහලන මල් වරුසාවේ… මේ ගඟ මේ දුර කතර ගෙවා… පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ… බුදුන් වඳින මේ දෑතින්… යන ගීත පමණක් වුවද ලූෂන් හඳුනාගැනීමේ හොඳම හැඳුනුම්පත් ය. සිනමා වංශ කතාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ කන්‍යාවී ගීතය සිරිමැඳුර සිනමා පටයට ආලෝකවත් ගමන්මග විය. අමරසිරි පීරිස් ගායකයකු සේ මුදුනපෙතට ගෙන ආ අතර කේමදාසයන් ගේ සිනමා සංගීතයේ ගමනාන්තයක් ද විය. මේ ගීතය තුළ ලූෂන් කළ වදන් අරුමැසිය ඉන්ද්‍රජාලික මනෝ භාවයන් මැවී ය. එසේම ගිනි අවි සහ ගිනි කෙළි සිනමා පටයේ ගීයත්, මීහරකා, රන්දියදහර, බහුභාර්යා සහ ජුලියට්ගේ භූමිකාව සිනමාපටයේ ගීතයනුත් රස භාව මෙන් ම දෘශ්‍ය සිතුවම් මවන නිර්මාණයන් ය.

ලූෂන්ගේ සිනමා ගීත සරල වදන් පෙළක අරුමය අරුත්ගැන්වීමකි. එහෙත් එහි ගැඹුරේ කතා කරන අර්ථය ධ්වනිතාර්ථය විනිවිද අර්ථ පත්ල කරා එළැඹේ.

ගීත රචකයා ඉංග්‍රීසියෙන් Lyricist නමි. එහෙත් ඔපෙරා රචකයා හඳුන්වන්නේ Librettist යනුවෙනි. මෙයින් පෙනෙන්නේ සාමාන්‍ය ගීත රචකයා ඉක්මවා ගිය වෙනත් කලා උත්පාදකයකු ඔපෙරා රචනයේ සිටින බවයි. ඉතාලියේ උපන් ඔපෙරාව ලංකාවේදී උපන්නේ මානසවිල ඔපෙරාව තුළිනි. ශ්‍රී ලංකාවේ එකම ඔපෙරා රචක ගීත රචකයා අවිවාදයෙන් ම ලූෂන් ය. කේමදාසයන් විසින් නිමැවූ දොරමඬළ හා සොඳුරු වර්ණදාසී ඔපෙරා රචනයෙන් ලූෂන් පෑ විස්කම වචන තුළ හිරකරනු උගහට ය. එය වචන ඉක්මවා, අදහස සිඳ, අදහස ඉක්මවා සංගීතය විනිවිද ගොසිනි. ගැහැනු පිරිමි දෙපාර්ශවයේ ම ගායනා තල හය වූ bass, baritone, tenor, alto, mezzo-soprano, soprano ආදී වූ සෑම ගායනා ආකාරයකට ම මියුරු වදන් සම්පාදනයේ ලාංකීය සංකේතය ඔහු ය.

සාමාන්‍ය ගීතය ඉක්මවා ගිය, සාහිත්‍යයත්, සංගීතයත්, නාදමාලා සමුච්චයත්, රංග වින්‍යාසයත්, සංධව්නියත් මුසු ව නිමැවෙන ඔපෙරාවක සාහිත්‍යයෙන් අනූන, මිහිරි නාද මවන වදන් එකතු කරන රචනයක් යනු පහසු කාර්යයක් නොවේ. ලූෂන් ඒ කඩඉම වරක් නොව දෙවරක් තරණය කළ එකම හෙළ කලාකරුවා ය. ඒ පෙර දැක්වූ දොරමඬල හා සොඳුරු වර්ණදාසී තුළිනි.

එක් එක් කාලයෙන් කාලයට ලූෂන් නමැති කලාකරුවා පෙනී සිටින වේශයන් විවිධ වීම නිසා ඔහු කවර කලාංගයේ පෞරුෂයක්දැයි නිවැරදි අරුත්ගැන්වීමක් කරනු අපහසු ය. ඒ හැම පෞරුෂයක්ම ඉක්මවා ලූෂන් බුලත්සිංහල නැගී සිටී. විටින් විට ඒ එක් එක් මාධ්‍යය තුළ ඔහුගේ ප්‍රතිභාව උච්චාවචනය වෙයි. ගීත රචකයා, නිවේදකයා, රංගන ශිල්පියා, නාට්‍ය රචකයා, නාට්‍ය නිෂ්පාදකයා, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා, ග්‍රන්ථ කර්තෘවරයා, ඔපෙරා රචකයා ආදී විසිර පැතිර ගිය ප්‍රතිභාව එක් එක් අවස්ථාවේ, එක් එක් කාල වකවානුවේ සමාජය හා බද්ධ වෙයි. එතුළින් ලූෂන් මතු වේ. ඒ අපූර්වත්වයත් සමග ම අප තුළ ලූෂන්ගේ සන්නාමය තිරසර වේ.

පවුලේ කලා බන්ධන කිසිවකින් තොර ව පොදු කලා රසික හදවත් දිනූ මේ අපූරු නිර්මාණවේදියා ගේ කුටුම්භය ම කලාගාරයක් විය. ප්‍රියම්බිකාව වූ අනුලා මෙන්ඩිස් බුලත්සිංහල රංගනයේ හා ගායනයේ දේශීය සංඥා සණ්ඨානයක් විය. පුතු හර්ෂ නව පරපුරේ හද දිනූ ගායකයකු, වාදකයකු හා සංගීතඥයෙකි. දියණි ඉන්ද්‍රචාපා ලාංකීය ඔපෙරා කලාවේ සලකුණකි. මේ කලා කළඹ විසින් ලූෂන් ප්‍රහර්ෂවත් කළේය, ලූෂන්ගේ ජීවන ආකාශයේ නොමැකෙන වෛවර්ණවත් දේදුනු මැවී ය. එනයින් බලන විට ඔහු වාසනාවන්ත දූ-පුතුන් ලද පියෙකු ලෙස සතුටින් දිවි හරියි.

මේ සුන්දර නිර්මාණ ශිල්පියා ලාංකීය හදවත් තුළ ලැගුම්ගන්නේ ඔහුගේ නිර්මාණ තුළ ගම්‍ය වන, සුවිශේෂී ගුණාංග සමූහයක් නිසා ය. මිනිසත්කම ඒ නිර්මාණවල පාදම යි. ඒ හැම නිර්මාණයක ම, අව්‍යාජ බව එහි උසස් බව හා ස්වීයත්වයට හේතු වෙයි. කුඩා කල විඳි අප්‍රමාණ දුක ගැහැට නිර්මාණ තුළ සැබෑකම මතු කරවන්නේ එබැවිනි. ප්‍රේමය, විරහව, ප්‍රේමයේ වියෝවින් උපන් දොම්නස ඔහුට නිර්මාණකරණයේ දී පිපාසිතයාට දිය බිඳ මෙනි. සමාජ පරිහානිය, විපරීතය මනා ව දකින ඔහු තම නිර්මාණවල එය තවරා සරල සුගම ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ සමාජ උන්නතිය, සමාජ ඥානනය උදෙසා ය. චිරන්තන සාහිත්‍යය, පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ ඇසුර, බොහෝ ඇසූ පිරූ බව, මිනිස් සමාජ ප්‍රවාහය තුළින් ලද දැනුම ඔහුගේ නිර්මාණ වඩාත් හැඩ කළේය. වඩාත් ඔපවත් කළේය. සියුම් තැන් වදන් කිහිපයකින් හැඟුම්බර කළේය.

ජීවිතයෙන් තුන්කාලක් හෙවත් හතරෙන් තුනක් ම කලාවේ උන්නතිය වෙනුවෙන් ගෙවූයේය. කලාවේ පරපීඩකයන්ට හිස නොනමා උජුපටිපන්න කලාකරුවා යනු කවුදැයි පසක් කළේය. සතුටත්, දැනුමත්, ඥානනයත්, පුළුල් ආකල්පයනුත් සමභරිත ව, ආනන්දයෙන් ප්‍රඥාවට මිනිසා ගෙන යන හැටි නිර්මාණ තුළින් කියා දුන්නේය. ලූෂන් බුලත්සිංහල නම් මේ අනන්‍යවූත්, අසහායවූත්, ජ්‍යෙෂ්ඨ කලාකරුවාට සුවබර, නිරෝගිමත් හෙට දිනක් පතමු, සුබ උපන්දිනයකුත් සමග ම.

● ගාමිණි ජයවර්ධන

ඡායාරූපය – සරත් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment