143 වැනි ‘නිල් මහ සටන’ ජය පරාජයෙන් තොරව අවසන්

179

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර ක්‍රියාත්මක වූ නිල් මහ සටන ක්‍රිකට් තරගයේ 143 වැන්න ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ සාන්ත තෝමස් විද්‍යාලයට වැඩි ගෞරව අත්කර දෙමිනි.

 පසුගිය 21 වැනිදා ආරම්භ කෙරණු අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් තෝමසුවන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 242ක් රැස් කිරීමට සමත්විය. ඊට පිළිතුරු ලෙසින් රාජකීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 219ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ අනුව ලකුණු 29ක පළමු ඉනිමේ වාසිය සමගින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සාන්ත තෝමස් කණ්ඩායම තරගයේ අවසන් දිනය හෙවත් තෙවැනි දිනය නිමාවට පත් වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 142ක් ලබා සිටියේය.

 තෝමස් දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 74ක් රැස් කිරීමට රයන් ප්‍රනාන්දු සමත් වෙද්දී පළමු ඉනිමේදී අර්ධ ශතකයක් වාර්ත කළ සෙනේෂ් හෙට්ටිආරච්චි දෙවැනි ඉනිමේදී ලකුණු 26ක් රැස් කළේය. තෝමස් පළමු ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමූ රාජකීය විදුහලේ ගිහාන් බාලසූරිය දෙවැනි ඉනිමේදීද කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වීම කැපී පෙණුනි.

 සාන්ත තෝමස් විදුහලේ රයන් තෝමස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර රාජකීය විදුහලේ උවිඳු වීරසේකර හොඳම පිතිකරුවා ලෙසින් සම්මාන ලැබීය. රාජකීය ඉනිමේ ලකුණු 65කට කඩුලු 4ක් බිඳ දැමූ තෝමස් විදුහලේ කවිඳු ඩයස් හොඳම පන්දු යවන්නා සම්මානයෙන් පිදු ලැබීය. රාජකීය කණ්ඩායමේ සදීෂ රාජපක්ෂ හොඳම පන්දු රකින්නා ලෙසින් සම්මාන ලැබීය.

 පාසල් දෙක අතර පැවැත්වෙන පන්දු වාර 50 එක්දින තරගය ලබන 30 වැනිදා පැවැත්වේ.

 ලකුණු සාරාංශය

 සා. තෝමස් පළමු ඉනිම 242/10 (පන්දු වාර 106.2): සෙනේෂ් හෙට්ටිආරච්චි 55, චාරුක පීරිස් 51, මහීත් පෙරේරා 33, ගිෂාන් බාලසූරිය 3/56, සන්දේශ් රාමනායක 2/16, රමිරු පෙරේරා 2/36.

 රාජකීය පළමු ඉනිම 219/8 (පන්දු වාර 70.4): උවිඳු වීරසේකර 66, රමිරු පෙරේරා 34, සිනෙත් ජයවර්ධන 32, කවිඳු ඩයස් 4/65, කැනිස්ටන් ගුණරත්නම් 2/67.

 සා. තෝමස් දෙවැනි ඉනිම – 142/6 (පන්දු වාර 64): රයන් ප්‍රනාන්දු 74, සෙනේෂ් හෙට්ටිආරච්චි 26, ගිෂාන් බාලසූරිය 3/56, සදීෂ රාජපක්ෂ 2/30.

advertistmentadvertistment
advertistmentadvertistment