නිපෝන් පේන්ට් කුසලාන ලීග් රග්බි තරගාවලිය පළමු ජය කොළඹ හැව්ලොක්ස්ට

77

තරග 42 කින් සැදුම්ලත් වන “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන – 2023 – 2024” අන්තර් සමාජ රග්බි පාපන්දු තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට හිමි විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 49 – 08 ක් ලෙස අදාළ ජයග්‍රහණය සටහන් කර ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

විදුලි ආලෝක ධාරා මධ්‍යයේ කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේදී ක්‍රියාත්මක කෙරුණු මෙම තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 13 – 08 ක් ලෙස සටහන් විය.

මෙවර තරගාවලියේ දෙවන තරගයෙන් ජය ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වූයේ ප්‍රතිවාදී නාවික හමුදා සමාජයට එරෙහිව ලකුණු 41 – 22 ක් සටහන් කරමිනි. බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා පිටියේ දී පැවති මෙම තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 31 – 08 කි.

ජයග්‍රාහී පොලිසිය ගෝල් දිනුම් 04, උත්සාහක දිනුම් 02 සහ එක් දඬුවම් පහරක් මගින් තම ලකුණු එකතුව ඉහළ නංවා ගත් අතර නාවික හමුදාව ගෝල් දිනුම් 02 ක් සමගින් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.

යුද හමුදාව සමග පනාගොඩ දී පැවති තෙවන තරගයේ ජයග්‍රහණය පහසුවෙන් වාර්තා කර ගැනීමට සී. ආර් ඇන්ඩ් එෆ්. සී. පිලට හැකි විය. එහිදී යුද හමුදාව ලබා ගත් ලකුණු 08 (උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 01) ට එරෙහිව ලකුණු 55 (ගෝල් දිනුම් 06, උත්සාහක දිනුම් 02 සහ දඬුවම් පහර 01) ක් වාර්තා කිරීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ. ප්‍රථම භාගය අවසන් වන විට ලකුණු තත්ත්වය 36 – 03 කි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment