මීළඟ ඡන්දයෙන් විනාශකාරිත්වය පළවාහැර රට ගොඩනැගීමේ ආරම්භය ගත යුතුයි

76

ජාජබ නායක අනුර කුමාර දිසානායක කුරුණෑගල කාන්තා සමුළුවේදී කියයි

මීළඟ ඡන්දයෙන් විනාශකාරිත්වය පළවා හැරීම වගේම රට ගොඩනැගීමේ ආරම්භය ගත යුතුයැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් (18)දා කුරුණෑගලදී පැවැති ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් සමුළුව ඇමැතූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.

සමහර අය කියනවා “මාර සටකපට මෑන්. තනි මිනිහා, ජනාධිපති වුණා” කියලා. ඒ බොරු. ඉස්සෙල්ලාම අගමැතිකම ගන්න කියලා යෝජනා කළේ සජිත් ප්‍රේමදාසට. සජිත් ප්‍රේමදාස ගත්තා නම් රනිල් තවමත් තනි මන්ත්‍රී. ඊට පස්සේ ෆොන්සේකාට ගන්න කීවා. එතුමා කීවා දවස් තුනක් දෙන්න කියලා. ගෝඨාභය හිරවී තිබුණු හිරවිල්ලට දවස් තුනක්වත් ඉන්න බැරිව රනිල්ට කීවාම එක පයින් බාරගත්තා. හෘද සාක්ෂියක් නැති මිනිස්සුන්ගෙන් ජනාධිපති වීම වීරකමක් නොවෙයි, ලැජ්ජා නැතිකම. එයා මාර වැඩකාරයෙක් නොවෙයි. අනිවාර්යයෙන්ම ජනාධිපතිතිවරණය පවත්වන්න ඕනෑ. වැරදි ගමන් මාර්ගය වෙනස් කර, නව ගමන් මාර්ගයකට අපේ රට අවතීර්ණ කරන්න බොහෝ දෙනෙකුට ඕනෑවී තිබෙනවා. ඒ සඳහා ලොකුම කාර්යභාරය පැවරී තිබෙන්නේ අපේ රටේ කාන්තාවන්ටයි. විදෙස් රැකියා ලබාදෙන වැඩිම ඒජන්සි තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. වැඩියෙන්ම කාන්තාවන් විදෙස්ගත වුණෙත් කුරුණෑගලින්.

දැන් මේ කෝපය සහ නැගිටීම වළක්වන්න ඒ අයට බැහැ. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා ඔප්පු දීලා, අස්වැසුම දීලා, හාල් කිලෝ 20ක් දීලා, ගොඩයන්න. ලැජ්ජයි. ගම්වල අපි අටු පිරෙන්න අස්වද්දපු මිනිස්සු. රනිල් වික්‍රමසිංහ හිතනවා නම්, අද ඉන්නේ අරක්කු වීදුරුවට, සිල් රෙද්දට, තහඩු ටිකට, වැසිකිළි පෝච්චියට, රැවටුණු ජනතාවක් නොවෙයි. හැටනව ලක්ෂයක් ඡන්දයෙන් පත්වුණු තුනෙන් දෙකක ආණ්ඩු බලයක් තිබුණු පාලකයන්ව පළවා හරින ජනතාවක් අද ඉන්න බව ඔවුන් මතක තබා ගත යුතුයි. පාර බහින්න බැරි වුණත් ඔවුන්ව පළවා හරින්න ප්‍රාර්ථනා කළ ජනතාවක් ඉන්නේ. ඔවුන් අද ජාතික ජන බලවේගය වටා එකතු වී සිටින බව මතක තබා ගත යුතුයි.

කරු ජයසූරියලා, චන්ද්‍රිකා කුමාරතුංගලා එකතු වෙලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාවක් කියමින් යනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ මම නම් විධායක ජනාධිපති ක්‍රමය භුක්ති වින්දා කියලා. ගම්වල මේවාට කියන්නේ මරු කියවනවා කියලා. එකතු වෙන්න පුළුවන් ලොකුම සන්ධානය හදන බව තව කොටසක් කියනවා. ලංකා ඉතිහාසයේ ලොකුම සන්ධාන දෙකයි හදලා තිබෙන්නේ. රනිල්ලාට විරුද්ධව රාජපක්ෂලා හැදූ සන්ධානයත් රාජපක්ෂලාට විරුද්ධව රනිල්ලා හැදූ සන්ධානයත් කියන දෙකයි. දැන් ඒ දෙකම එකතු වෙලා ජාතික ජන බලවේගයට විරුද්ධව සන්ධාන හදලා තිබෙනවා. ඊළඟ ජනාධිපතිවරණ වේදිකාවේ සාටකය දාගත් – මහින්ද, ටයිකෝට් දාගත් – රනිල්, ඔසරි ඇඳගත් – චන්ද්‍රිකා, තරු පටි ගහගත් –

ගෝඨාභය, පොළොන්නරුවේ ගැමියා – මෛත්‍රීපාල සිරිසේන, විකට ඇඳුම් තරගයක් වගේ දකින්න පුළුවන්. දැන් සාකච්ඡා යන්නේ සජිතුයි රනිලු‍යි එකතු කරන්නේ කොහොමද කියලා. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට පිරෙව්වොත් ඔය කවුරු එකතු වුණත් වැඩක් නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment