ලයිට් එක දමා නින්ද කැඩුවා කියා තිදෙනකුට පහර දුන් රෝහල් සුළු සේවකයාගේ වැඩ තහනම්

570

විදුලි බල්බය දැල්වීමෙන් තම නින්ද කැඩුණේ යැයි කියමින් සුළු සේවකයන් තිදෙනකුට පහරදීමේ චෝදනා මත මහනුවර ජාතික රෝහලේ සුළු සේවකයකුගේ වැඩ තහනමට ලක්ව ඇත.

මෙම සුළු සේවකයා මහනුවර ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේ කාමරයක රාජකාරි වේලාව තුළදී නිදා සිටිය දී එහි විදුලි බල්බය දැල්වූයේ යැයි උරණ වී සුළු සේවකයන් තිදෙනා සමග බහින් බස්වී පහර දුන් බවට පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියමය පරිදි ඔහුගේ වැඩ තහනම් කළ බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

සුළු සේවකයා සිදුකළ පහරදීමකින් තුවාල ලද සුළු සේවකයන් තිදෙනා ප්‍රතිකාර සඳහා වාට්ටු අංක 17 ට ඇතුළත් කර තිබේ.

පහරදීම සිදුකළ බව කියන සුළු සේවකයා රෝහල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මහනුවර පොලිසියට භාර දී ඇත.

මෙම පහරදීම පෙරේදා (01) අලුයම් කාලයේ සිදුව තිබෙන පොලිසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් සුළු සේවකයා හොරණ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. පහර කෑමට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබන අය අවුරුදු 50, 32 හා 30 යන වයස්වල පසුවන බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු සහ පරිපාලන නිලධාරීන් දෙදෙනකු විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කීවාය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් ද පරීක්ෂණ පැවැත්වෙයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment