බලපත්‍ර නැතිව රෝහල් දෙකක් පවත්වාගෙන ගිය ව්‍යාජ දොස්තරවරු දෙදෙනෙක් වවුනියාවෙන් මාට්ටු

69

වවුනියාවේ ප්‍රදේශ දෙකක පවත්වා ගෙන ගිය පෞද්ගලික රෝහල් දෙකක් වටලා ඒවායෙහි අයිතිකරුවන් ලෙස පෙනී සිටි ව්‍යාජ වෛද්‍යවරුන් දෙදෙනකු වවුනියාව පොලිසිය හා සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් ඉකුත් 24 දා අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ලැබුණු තොරතුරක් මත ඔහු වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් හා පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව වවුනියාවේ නෙළුකුලම හා සිදම්බරපුරම් යන ප්‍රදේශ වල පවත්වා ගෙන ගිය මෙම පෞද්ගලික රෝහල් දෙක සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම රෝහල් දෙකෙන් නෙළුකුලම ප්‍රදේශයේ රෝහල ඉංග්‍රීසි බෙහෙත් අලෙවි කරන මධ්‍යස්ථානයක් ලෙසින්ද පවත්වා ගෙන ගොස් ඇති අතර ඒ සඳහා එහි අයිතිකරුට කිසිදු බලපත්‍රයක් නොතිබූ බව වවුනියාවේ සෞඛ්‍ය සේවා නිලධාරීන් ප්‍රකාශ කළහ. මෙම රෝහලේ තිබී රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. වවුනියාව සිදම්බරපුරම් ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය පෞද්ගලික රෝහලේ නාමපුවරුව ආයුර්වේද රෝහලක් ලෙස ප්‍රදර්ශනය කළද එම රෝහල තුළ ඉංග්‍රීසි ප්‍රතිකාරද සිදුකොට තිබේ.

එම රෝහලටද බලපත්‍ර හෝ ඖෂධ ගබඩා කොට තබා ගැනීමට අවසරයක් නොමැති වූවත් එහිද ඖෂධ විශාල ප්‍රමාණයක් තිබී හමු වී ඇත.

මෙම රෝහල් දෙකටම සීල් තබා ඇති සෞඛ්‍ය සේවා නිලධාරීන් වෛද්‍යවරු ලෙස ව්‍යාජ අන්දමට පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වවුනියාව පොලීසිය හා සෞඛ්‍ය සේවා නිලධාරීන් පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment