‘නිම්හිම්’ හදලා ලක්‍ෂ සීයක් වතුරේ ගියා – සමන් අලංකාර

233

ඔහු විටෙක සිනමා නළුවෙකි. තවත් වරෙක ටෙලිනාට්‍ය නළුවෙකි. අද දවසේ ඔහු ඔබ හමුවට එන්න සූදානම් වන්නේ වේදිකා නළුවකු ලෙසිනි. ඒ අද දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වන ‘අපි දඟකාරියෝ’ වේදිකා නාට්‍ය හරහායි. අපි දඟකාරියෝ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂණය සුමිත් ගල්හේනගේ වන අතර නිෂ්පාදනය අපේ කථානායකයා වන සමන් අලංකාරය. ඔහු නිම්හිම් වගේම හොරා අංකල් චිත්‍රපටයේද නිෂ්පාදකවරයා. ඉතිං සමන් සමග මේ කතාබහ සිනමාව වේදිකාව සහ ටෙලිනාට්‍ය කලාව ගැනය.

● සමන් අලංකාර නිෂ්පාදනය කළ අපි දඟකාරියෝ වේදිකා නාට්‍ය ගැන කතා කළොත්?

මේක මම නිෂ්පාදනය කරපු පළමු වේදිකා නාට්‍යය. අපි දඟකාරියෝ වේදිකා නාට්‍යය ගෙතී තිබෙන්නේ වංසක්කාර පවුලක දූවරු තිදෙනකුට දීග යෑමට නොහැකිවීම යන තේමාව යටතේ. ඒකට හේතුව දෙමාපියන්ගේ කසාද බඳින්න එන පුතාල ගේ මොනයම් හෝ අඩුපාඩුවක් හොයනවා. බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී අද වේදිකාගත කරනවා ඒ වගේම එළැඹෙන 11 වැනිදා මාදම්පේ සෙන්ට්‍රල් විදුහලේදී වේදිකාගත කරනවා.

● රඟපෑමට එකතුවුණ පිරිස මතක් කළොත්?

මේ වේදිකා නාට්‍යය අධ්‍යක්‍ෂණය කළේ සුමිත් ගල්හේන. ශිරෝමිකා ප්‍රනාන්දු, උදේනි නදීකා, අනුෂා දිසානායක, ධනංජි තාරුකා, ගයාත්‍රි දිසානායක, කුලසිරි මල්ලිකාරච්චි, රජිත රොද්‍රිගෝ, සමන් අලංකාර, සුමිත් ගල්හේන, සම්පත් කුලුනුගුණ, ශානක ආරියවංශ රංගනයෙන් දායක වෙනවා. මෙහි සංගීත අධ්‍යක්‍ෂණය ප්‍රසන්නගෙන්.

‘නිම්හිම්’ හදලා ලක්‍ෂ සීයක් වතුරේ ගියා - සමන් අලංකාර

● මේ වගේ කාලයක වේදිකා නාට්‍යයක් කරනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙමෙයිනේද?

ඇත්තටම ඔව්. ලෙහෙසි නැහැ. නමුත් අපිට කලාවේ උණක් තියෙනවා. ඒ උණ නිසා තව මොනවා හරි වැඩක් කරන්න බැහැ. අනික මට ලොකු වුවමනාවක් තිබුණා වේදිකා නාට්‍යයක් කරන එක. මම කොහොමටත් වේදිකාවට ආසයි. අනික නළුවෙකුට පාර කියා දෙන්නේ වේදිකාවෙන්.

● ඔබ නිෂ්පාදනය කළ ‘හොරා අංකල්’ චිත්‍රපටයත් ළඟදීම තිරගත වෙනවා නේද?

මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ කුළුඳුල් අධ්‍යක්‍ෂවරයෙක් හර්ෂණ වික්‍රමසිංහ කියලා. මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර, ජනක කුඹුකගේ, දයා වයමන්, දොන් ගයියා, රයන් වගේම දුලානි අනුරාධා, උමයංගනා වික්‍රමසිංහ, අනුරුද්ධිකා පාදුක්කගේ රංගනයෙන් දායක වෙනවා.

‘නිම්හිම්’ හදලා ලක්‍ෂ සීයක් වතුරේ ගියා - සමන් අලංකාර

● සිනමාවෙත් අර්බුද රැසක් තිබෙන කාලයක තමයි හොරා අංකල් එළියට එන්නේ ?

සිනමාවේ නම් විශාල අභියෝගයක් තිබෙනවා. ලංකාව තුළ සිනමාව අයිති කාටද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි මොන නිර්මාණයක් කළත් ඒක විකුණගන්න වෙන්නේ දෙතුන් දෙනකු ගේ අදහස්වලට අනුවනේ. මොකද ලංකාවේ සිනමා කර්මාන්තය රැකගන්න තියෙන චිත්‍රපට සංස්ථාවෙන් පවා අපිට ලැබෙන සහයෝගය මදි. ඇත්තටම කිසිම දෙයක් හොයන්නේ නැහැ.

● සමන් අලංකාර රඟපෑමට එන්න හිතුවේ ඇයි?

මම රඟපෑමට ආසයි. මුලදී නම් මේ ක්‍ෂේත්‍රයට ආවේ වෙලාවක් තිබුණොත් නිර්මාණයකට දායක වෙනවා කියන අදහසින්. නමුත් දැන් මගේ මූලිකත්වය ලබාදීලා තියෙන්නේ රංගනයට.

● ඇත්තටම රංගනයෙන් ජීවත් වෙන්න පුළුවන්ද?

ඇත්තටම රංගනයෙන් ජීවත් වෙන්න බැහැ. නමුත් යම්කිසි වටිනාකමක් ලබාගන්න පුළුවන් රඟපාන ගමන්. අපේ දැනුම උපයෝගී කරගෙන මොනවා හරි ව්‍යාපාරයක් කරන්න බැහැ. දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක රඟපෑමෙන් ජීවත් වෙන්න අමාරුයි.

● පසුගිය කාලයේ ඔබව නිර්මාණ රැසකින් දකින්න ලැබුණා?

‘නිම්හිම්’ හදලා ලක්‍ෂ සීයක් වතුරේ ගියා - සමන් අලංකාර

ඇත්තටම මගේ පළමු චිත්‍රපටය නිම්හිම්. ඊට පස්සේ ජයශ්‍රී ඇමැතිතුමා, ඊටත් පස්සේ හොරා අංකල්. ටෙලිනාට්‍ය රඟපෑමට යොමුවුණේ අධිවේගයෙන් ඇවිත් කියන ටෙලිනාට්‍යයෙන්. ඊට පස්සේ සිවගුරුනාදන්ගේ හාරකෝටිය, සිල්ලර සමනල්ලු, ත්‍රිශුල අධ්‍යක්‍ෂණය කළ සුද්දේ නාට්‍යවල රඟපෑවා. තවත් නාට්‍ය කිහිපයක් විකාශය වීමට තිබෙනවා.

● මේ ක්‍ෂේත්‍රයේ මුහුණ දුන් අභියෝග වගේම කලකිරීම් එහෙම තියෙනවාද?

කලකිරීම් කියන ඒවා නම් නැහැ. අභියෝග නම් තියෙනවා. තියෙන ලොකුම අභියෝගය තමයි රඟපෑම කියන විෂය හරියට ඉගෙන ගැනීම. මට නම් කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වෙලා නැහැ.

● චිත්‍රපට ටෙලිනාට්‍ය හදලා පාඩුවුණු අවස්ථා එහෙම තියෙනවාද?

ඇත්තටම තියෙනවා. මගේ පළමු චිත්‍රපටය නිම්හිම් නිෂ්පාදකවරයෙක් විදිහට ගත්තොත් කිසිම මුදලක් හම්බවුණේ නැහැ. නිම්හිම් කරලා සම්පූර්ණයෙන්ම පාඩුයි. හරිම කතාව චිත්‍රපටය හදන්න ගිය ලක්‍ෂ සීයම වතුරේ ගියා.

● හිතුණේ නැතිද මේක පැත්තකට දාලා දන්න දෙයක් කරගෙන ඉන්නවා කියලා?

‘නිම්හිම්’ හදලා ලක්‍ෂ සීයක් වතුරේ ගියා - සමන් අලංකාර

දැනට නම් එහෙම හිතෙනවා. මොකද වර්තමානයේ මේ ඇතිවෙලා තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක එහෙම හිතෙනවා නැතිනම් එහෙම හිතෙන්නේ නැහැ. මොකද සල්ලි කියන්නේ ජීවිතයම නෙමෙයි. කලාව කියන්නේ තෘප්තිමත් විෂයක්. මේ වැඩ කරනකොට ලාබ පාඩු දෙකම විඳගන්න වෙනවා.

● නළුවෙක්, නිෂ්පාදකවරයෙක් විදිහට සිනමා ක්‍ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

සිනමාවේදී නිෂ්පාදකවරුන්ට ලොකු අර්බුදයක් තියෙනවා. චිත්‍රපටයක් කළත් ඵලක් නැහැ. පෙන්වන්න තියෙන්නේ හරිම අඩු හෝල් ප්‍රමාණයක්. මේවට විසඳුම් අධ්‍යක්‍ෂවරුන්ටත්, නිෂ්පාදකවරුන්ටත් නැතිනම් මේ වගේ වැඩ කරන නළු නිළියන්ටත් හොයන්න බැහැ. මේකට රජය මැදිහත්විය යුතුයි. මේකට පිළියමක් යොදනවා කියන්නේ රටේම මිනිස්සුන්ට කලාව ගලාගෙන යනවා. කලාව මනස සුවපත් කරන ඖෂධයක්. අද කලාව රසවිඳින පිරිස අඩුයි. මේ පිරිස වැඩි කරන්න ඕනෑ. ඒකට රජය මැදිහත් වෙන්න ඕනෑ. මේ ප්‍රශ්නය මම හැමදාම කියනවා. නමුත් අදටත් විසඳුම් නැහැ.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment