අපේ ෂර්ලොක් හෝම්ස්ලාට අවස්ථාවක් ඉතිරි කළ දිනේෂ් ශාෆ්ටර් ඝාතනය

735

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය පිළිබඳව දැනට ලැබී ඇති අධිකරණ විශේෂඥ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇත්තේ මෙය තන්තුවකින් ගෙල හිරවීම නිසා, ඇතිවූ මරණයක් ලෙස විනා යමකු විසින් සිදු කරන ලද්දක් ලෙස නොවේ.

නමුත් ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන භාරව කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රියන්ත ජයකොඩි මහතාගේ අදහස වන්නේ බොහෝ දුරට මෙය සැලසුම් සහගත ඝාතනයක් විය හැකි බවය. ප්‍රකට යූ ටියුබ් නාලිකාවක් සමග සිය විෂයට අදාළව ඉතා සංයමයෙන් අපක්ෂපාතීව කරුණු පැහැදිලි කළ ඒ මහතා මෙම නිගමනයට පැමිණ ඇත්තේ කාලයක් තිස්සේ රාජකාරියේ යෙදෙමින් ලබා ගත් අත්දැකීම් සහ විෂය දැනුම ද මුල් කර ගනිමින් විය යුතු යයි සිතමි.

ඒ මොහොතේදී එක්වරම මගේ සිහියට නැගෙන්නේ ප්‍රභාකරන් සමග රජය තාවකාලික සාම ගිවිසුමක් ක්‍රියාත්මක වූ යුගයේ සිදු වූ එක්තරා මනුෂ්‍ය ඝාතනයකි. එහිදී ඉස්මතුව පෙනුන ෂර්ලොක් හෝම්ස් කෙනෙකි.

එකල සිටි බිහිසුණු මංකොල්ලකරුවන් දෙතුන් දෙනකු උතුරේ චාරිකාවක යෙදුනු පිණිස මහනුවර නගරයෙන් ඩොල්ෆින් වෑන් රථයක් කතා කරගත්හ. ඔවුන්ගේ ගමන් මාර්ගය වැටී තිබුණේ හලාවත නගරය හරහාය. ගමනේ පළමු වෙනි දින රාත්‍රිය හලාවත ගත කිරීමට මැරයෝ තීරණය කළහ. එදින රාත්‍රි භාගය එළඹීමත් සමග අඩියක් ගැසීමට උවමනා බව කියමින් ඔව්හු වෑන් රථයෙන්ම නගරය ආසන්නයේ වූ වැවක් අසලට ගියහ. තරමක් ආවාරණය වූ ස්ථානයක රථය නතර කරවා ගත් පිරිස රථය තුළදීම මත්පැන් බීමට තීරණය කළ හෙයින් රියදුරු තැනට ද සිය අසුනේම රැඳී සිටීමට සිදුවිය. පිටුපස අසුනේ සිටි එකකු වීදුරුවකට අරක්කු දමා රියදුරු තැනට පිළිගැන්වූවේ, ඔහුද අඩියක් ගසන්නෙකු බව කළින්ම දැන කියා ගෙන සිටි බැවිනි. නමුත් රියදුරු තැනට සිය මත්පැන් සලාකය අවසන් කරන්නටත් පෙරම ගෙල හරහා වැටී තද වූ වයරයකින් ඔහුගේ හුස්ම හිරවන්නට පටන් ගත්තේය. ඔහුට පිටුපසින් සිටි මැරයා මෙකී මාරක ව්‍යාපෘතියේ තමන්ට හිමි රාජකාරිය ඉතා සුළු වේලාවකින් මේ ආකාරයට නිම කරනු ලැබුවේ අහිංසක රියදුරාගේ ප්‍රාණය නිරුද්ධ කරමිනි. නමුත් සිය පණ බේරා ගැනීිම සඳහා මරු විකල්ලෙන් අතපය ගැසූ රියදුරාගේ එක් පා පහරක් වැදී ඇතුළතින් ඉදිරියට එබුණ ආකාරයට ඉදිරිපස වීදුරුවේ වෘත්තාකාර ඉරි තැලීමක් සිදු වූයේය.

ඒ මොහොතේ දී මේ ගැන අවධානයක් යොමු නොකළ මැරයෝ විශාල ගලක් රියදුරාගේ මළ සිරුරේ ගැට ගසා, සිරුර වැව් දියෙහි ගිල්වා දැමූහ. අනතුරුව වෑන් රථය ද පදවාගෙන උතුර බලා පිටත් වන ඔවුනට පසු දින පෙරවරුවේදීම ශ්‍රී ලංකා පොලිසිය විසින් පිහිටුවන ලද පොලිස් මුර පොළක පරීක්ෂාවට ලක්වන්නට සිදු විය. රිය පැදවූ තැනැත්තාගේ බලපත්‍රය, වාහනයේ රක්ෂණ සහතිකය, ජාතික හැඳුනුම්පත් ආදියේ කිසිදු වරදක් නොතිබූ හෙයින් ද, ඔවුන්ගේ ඇඳුම් බෑග් හැර කිසිදු භාණ්ඩයක් නොතිබූ නිසාද, උතුර නැරඹීමට යන්නවුන් ලෙස සලකා පිටත්වීමට පොලිසියේ අවසරය ලැබිණි. එහෙත් ඒ අතරතුර කාලයේ වාහනය පිළිබඳ ඉතා විචක්ෂණශීලී ලෙස නිරීක්ෂණයක යෙදුණු එක් පොලිස් කොස්තාපල්වරයකු මේ පිරිස අතරෙහි සිටියේය. ඒ වන විටත් රියදුරු අසුනට ගොස් සිටි පුද්ගලයාව ඇමතූ හෙතෙම “මේ වීදුරුව බිඳුණේ කොහොමදැයි”යි විමසීය. මෙම අනපේක්ෂිත ප්‍රශ්නයට අදාළ පිළිතුරු ඔවුන් සකසා ගෙන නොසිටි හෙයින්, රියදුරු අසුනේ සිටි තැනැත්තා පැවසූවේ ගොනෙකු හැපීමෙන් විදුරුව බිඳුණු බවය. පළපුරුදු පොලිස් කොස්තාපල්වරයා මෙය ගොනෙකු හැපීමෙන් සිදු වූවක් බව කිසිසේත්ම විශ්වාස නොකළේ, ඉදිරිපස අනෙක් කොටස්වල නොගෑවී ක්‍රිකට් බෝලයක් සේ ගොනාව වීදුරුවේ පමණක් වැදිය නොහැකි බව, පැහැදිලිව පෙනී ගිය බැවිනි.

අනතුරුව සැණෙකින් එකිනෙකා වෙන් කරනු ලැබ හරකා හැපුණු ස්ථානය පිළිබඳ විමසීමෙන් කතාවේ බොරුව තහවුරු කරගත් පොලිස් නිලධාරීහු සුළු කාලයක් ඇතුළත මළ සිරුර ගිල්වනු ලැබ ඇති තැන දක්වා සියලු තොරතුරු අපරාධකරුවන්ගෙන් ම වමාරා ගැනීමට සමත් වූහ. ඉක්බිති ඔවුනට විරුද්ධව නඩු පවරනු ලැබ ඉතා පහසුවෙන් දිගු කලකට සිරගෙය වෙත යැවීමට උසාවියට හැකි විය.

එවකට ඉරිදා ලක්බිම පුවත්පතට මෙම ලිපිය සපයනු ලැබුවේ එම ආයතනයේ සේවය කළ දක්ෂ පුවත්පත් කලාවේදියකු වූ ගයාන් කුමාර වීරසිංහ විසිනි. මෙම ලියුම්කරු විසින් සංස්කරණය කරනු ලැබූ එම ලිපිය සඳහා එම විචක්ෂණශීලී පොලිස් කොස්තාපල්වරයාගේ නම අපට සොයා ගත නොහැකි වීමය.

නමුත් ශ්‍රී ලංකා පොලිස් සේවය තුළ පහළ සිට ඉහළ දක්වාම මෙවැනි අප්‍රකට දක්ෂයින් සිටින බව අපට දක්නට ලැබෙන අවස්ථා තිබේ. මෙම පොලිස් නිලධාරියාට ඒ සඳහා උපකාරී වූයේ ඉතා කුඩා හෝඩුවාවක් පමණි.

මෙනයින් බලන කල හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් මෙය ඝාතනයක් යනුවෙන් නිගමනයකට පැමිණීම පුදුමයට කරුණක් නොවේ. එමෙන්ම ඔහු උක්ත නාලිකාව සඳහා මීට පෙර කරන ලද ප්‍රකාශයකට අනුව වෙන ස්ථානයකදී මෙම ඝාතනය සිදුවූවා යයි තමා කළ ප්‍රකාශය නිවැරදි කරගත යුතු යයි පැවසීය. ඒ අනුව මෙම අපරාධය සිදු වී ඇත්තේ කනත්ත තුළදීම යයි ඔහු නිවැරදි කළේය.

අපේ ෂර්ලොක් හෝම්ස්ලාට අවස්ථාවක් ඉතිරි කළ දිනේෂ් ශාෆ්ටර් ඝාතනය

මෙම සාකච්ඡාවේ දී ලෝකයේ සුප්‍රකටම රහස් පරීක්ෂක චරිතය වූ ෂර්ලොක් හෝම්ස් අනුමාන කළ පරිදි, ඔහුද පැවසුවේ මෙම ඝාතනය නිසා වාසියක් ලැබෙන්නේ කාටද සොයා බැලිය යුතු බවය. එය භෞතික ලාභයක් හෝ අධ්‍යාත්මික ලාභයක් විය හැකි යයි ද හෙතෙම පැවසීය.

එමෙන්ම මෙම අදහස් දැක්වීමේ දී ඔහු විසින් පළකරනු ලැබූ ඉතා වැදගත් අදහස වුයේ අද දවසේ විමර්ශන නිලධාරීන් බොහෝ දෙනකු අපරාධ විමර්ශනයෙහිලා සීසී ටීවී කැමරා සහ දුරකථන දත්ත මත්තෙහිම රැඳී සිටීමට ප්‍රමුඛස්ථානයක් දෙන බවය. අපරාධ පරීක්ෂණයෙහි ස්ථානීය දත්ත පරීක්ෂාව ඉතා වැදගත් බව පවසන හෙතෙම ශාෆ්ටර් මහතා පැමිණි මෝටර් රථය එතැනින් ඉවත් කරගෙන යාමිමාරක වරදක්’ ලෙස ද සඳහන් කරයි. නමුත් ඒ නිසා වුවද ස්ථානීය සාක්ෂි සියල්ලම මැකී නොයන බවත් විමර්ශන නිලධාරින්ට තවමත් එයට ඉඩ ප්‍රස්ථාව ඇති බවත් ඔහුගේ අදහසයි. දැනට මේ ලිපිය ලියනු ලබන 03 වැනිදා වන විට රහස් පොලිසිය විසින් ශාෆ්ටර් මහතාගේ සිරුරේ රුධිර සාම්පල්, ශාරීරික කොටස්, නියපොතු ආදිය උසාවි නියෝගයක් මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇත. එමෙන්ම දැනටම මෙම මරණයට අදාළව ප්‍රකාශ 140 ක් සටහන් කර ගැනීම ද රහස් පොලීසිය විසින් සිදුකර ඇති බව රූපවාහිනී මාධ්‍යයන් තුළින් වාර්තා කෙරිණ.

ස්ථානීය වැදගත්කම පිළිබඳව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ ප්‍රකාශයෙහි සත්‍යතාවය වන්නේ අද මෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව තාක්ෂණයෙන් දියුණු නොවූ යුගයක බොහෝ අපරාධ ස්ථානීය සාක්ෂී මුල් කර ගනිමින් විසඳණු ලැබූ ඉතිහාසයක් ලෝකයේ මෙන්ම අප රටේද තිබූ බැවිනි.

අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ වාර්තාවෙන් නිශ්චිතව දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක්ද? දිවිනසා ගැනීමක්දැයි නිශ්චිත තීන්දුවක් ලැබෙන තුරු අපට එම තීරණය අභිබවා යෑමට බලයක් නැත. උසාවියේ තීන්දුව ලැබෙන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව අනුව වන හෙයිනි.

නමුත් මේ සිද්ධියට අනුව තන්තුවකින් ගෙල සිරවීම නිසා මිය ගියා යයි තීන්දුවක් වෛද්‍ය ක්ෂේත්‍රයෙන් ලැබුණු විට අප තුළ පැන නගින කුකුස මැඬ පවත්වා ගැනීමේ හැකියාවක් පොදු ජනතාවට නොමැත.

එක්කෝ මෙවැන්නක් සිදුවිය හැක්කේ හදිසි අනතුරකිනි. එනම් වේගයෙන් දිව යද්දී ගෙල තන්තුවක පැටලීම වැනි දෙයකි. නොඑසේ නම් කිසිවකු විසින් පිටු පසින් දමන ලද තන්තුවකින් ගෙල සිර කළ යුතුය. ඊළඟ කාරණය වන්නේ ඔහු විසින් ගෙල සිර කර ගැනීමෙන් දිවි නසා ගත්තාය යන්නය. මේ කාරණය ඉතා සංකීර්ණ දෙයක් වන්නේ ඒ වන විට ඔහුගේ දෙඅත්ද ගැට ගසා තිබූ හෙයිනි.

නමුත් මහාචාර්ය සිඩ්නි ස්මිත්ගේ කෘතිය උපුටා දක්වමින් ප්‍රියන්ත ජයකොඩි මහතා පෙන්වා දෙන්නේ එවැනි අසාමාන්‍ය දිවි නසා ගැනීම් සිදු වූ අවස්ථාද අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍ර ඉතිහාසයේ සඳහන් වන බවය. එය සත්‍යයකි.

සුප්‍රකට ක්‍රිසි හෝල් ඝාතනය ලෙස හැඳින්වෙන මෙම අපරාධයේ දී මුලින්ම දක්නට ලැබුණේ ක්‍රිසි හෝල් නමැත්තියව ගෙල සිරකර මරා දමා තිබූ අයුරුය.

ඒ 1931 නොවැම්බර් මස 12 වෙනිදා පාන්දරට වන්නටය.

එය මනුෂ්‍ය ඝාතනයක් නොව සිය දිවි නසා ගැනීමක් බවට සාක්ෂි දෙනු ලැබුවේ ශ්‍රීමත් සිඩ්නි ස්මිත් සහ විශේෂඥ වෛද්‍ය ස්පිල්බරිය.

මේ ආකාරයේම තවත් සිද්ධියක් ගැන ද ශ්‍රීමත් සිඩ්නි ස්මිත් එම කෘතියේ සඳහන් කර ඇත. ඒ අවුරුදු හතළිස් පහක පමණ කාන්තාවක් මේ ආකාරයටම සියදිවි නසාගෙන තිබීම ගැනය. එය වෙස්ට් ක්ලෆ් සිද්ධිය නමින් අධිකරණ වෛද්‍ය ඉතිහාසයේ සඳහන්ව ඇත.

ස්ථානීය සාක්ෂි පරීක්ෂාව අපරාධයක සුල මුල සෙවීමේදී කොතරම් වැදගත්ද යන්න මහාචාර්ය සිඩ්නි ස්මිත් විසින් ඉතා හොඳින් පෙන්වා දෙනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රකට සිද්ධියක් වූ 1951 දී ඔක්තෝම්බර්වල සිදු වූ සතාසිවම් ඝාතන නඩු විභාගයේදීය. ඒ වන විට සිය බිරිඳව ගෙල මිරිකා මරා දමන ලදැයි අත්අඩංගුවට ගෙන සිටි, සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සතාසිවම් මහතාට එරෙහිව ඇසින් දුටු ප්‍රබල සාක්ෂියක් මෙන්ම විද්‍යාත්මක සාක්ෂිද පෙළ ගැසෙමින් තිබුණේ දිනෙන් දින ඔහුව තොණ්ඩුව දෙසට වඩ වඩාත් ළං කරවමිනි.

ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසූ ආකාරයට අද දවසේ බොහෝ විමර්ශකයින් දුරකථන දත්තවලට හා සීසීටීවී කැමරා සාක්ෂිවලට ප්‍රධාන තැනක් දෙන්නාක් මෙන් මෙහිදීද විමර්ශකයින් පැමිණිල්ලේ ආයුධ බවට පත් කරගෙන තිබුණේ මරණය සිදුවූ බව කියන වේලාව සහ පළමුව සැකකරුවෙකු සිට පසුව පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ විලියම් නමැති තරුණ කෝකියාගේ ප්‍රකාශයට පමණි.

කෝකියා පවසා තිබුණේ මෙම ඝාතනයට සිය ස්වාමියා තමාව ද හවුල් කර ගනිමින් උඩුමහලේ නිදන කාමරයකදී ඇගේ ගෙල මිරිකා මරා දැමූ පසු තමාගේද උදව් ඇතිව මළ සිරුර ගරාජයට ගෙනවිත් දැමූ බවය.

හාම්පුතා විසින් ඇගේ සිරුරින් ඉවත් කරන ලද ස්වර්ණාභරණ තමාට දුන් බවත්, තමා ඒවා අලෙවි කර මුදල් ලබා ගත් බවත් තරුණයා පොලීසියට පවසා තිබුණේය.

ඒ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍ය විශේෂඥ සේරම් මහතා පවසා තිබුණේ ඇගේ මරණය උදේ 10.00ත් 11.30 ත් අතර කාලයක සිදුවිය හැකි බවය. සතාසිවම් මහතා මේ කියන දිනයේ නිවසින් පිටත්ව ගොස් තිබුණේ උදේ 10.35ට ය. විලියම්ගේ සාක්ෂයේදී ඔහු පවසා තිබුණේ ඔහු තමාව මෙම ඝාතනයට හවුල් කර ගත්තේ උදේ 9.00 ට පෙර බවය.

මෙම මේ අවස්ථාවේදී සතාසිවම් මහතාට එරෙහිව සාක්ෂි දීම පිණිස වෛද්‍ය විද්‍යාවේ සියලුම අංශයන් පිළිබඳ විශේෂඥයින් පමණක් නොව ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු හා ආහාර විෂවී මියගිය කතුන්ගේ එක්ස් කිරණ ඡායාරූප ගත් විකිරණ ශිල්පියෙකුද කැඳවා තිබුණි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ තවත් නීතිඥයෙකු එංගලන්තයට ගොස් සර් සිඩ්නි ස්මිත්ට මෙහි සාක්ෂි දීම සඳහා ආරාධනා කරනු ලබන්නේ මෙවැනි පසුබිමක් උදා වී තිබියදීය. තමාගේ හොඳම ගෝලයකු වන වෛද්‍ය සේරම් ද මෙයට සම්බන්ධ වී සිටීම සර් සිඩ්නිගේ සතුටට හේතු විය. මේ වන විට විද්‍යාත්මකව සත්‍ය පැවසීම නිසා, වෛද්‍ය සේරම්ගේ සාක්ෂි උසාවිය විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවා ඇති වී තිබිණි.

සිද්ධිය පිළිබඳව සියලු තොරතුරු අකුරක් නෑර කියවා අධ්‍යයනයක යෙදුණු සර් සිඩ්නි ස්මිත් සමස්ත අපරාධය පිළිබඳ නිවැරදි උපකල්පනයක් ගොඩනඟා ගත් අතර, එඩින්බරෝහිදී අප නීතිඥ දෙපළ ද සහභාගි කරවා ගනිමින් සිදුවීම ප්‍රතිනිර්මාණය කළේය. තම කාර්යාල පරිශ්‍රයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක සතාසිවම් මහත්මිය ලෙස ද, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා විලියම් ලෙස ද යොදා ගනිමින් ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ විලියම්ගේ සාක්ෂියට සම්පූර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධ වූ ජවනිකාවකි.

ඉන් කියවුණේ නිවසේ සියලු දෙනම පිටව ගොස් සිටි උදය වරුවේ එක් මොහොතක විලියම් පොල් ගෑම වැනි කාර්යක යෙදී සිටින්නට ඇති බව ය. දුහුල් සාරියකින් සැරසී සිටි සතාසිවම් මහත්මිය ජනේලය අසලට යද්දී ඇගේ සිරුර විනිවිද දුටු විලියම් ක්ෂණිකව ඇති වූ ලිංගික කුපිතවීමක් හේතු කොට ගෙන ඇයට බලහත්කාරකමක් කරන්නට තැත්කර ඇත. ඇය ඉන් මිදීමට ගත් උත්සාහයට ප්‍රතිරෝධයක් වශයෙන් විලියම් ඇයව දොර උළු අස්සට තද කොට තදින් ග්‍රහණය කර ගන්නට ඇත. උළු අස්සේ වූ යමක පැටලී ඇයගේ සාරියේ තැනක් ඉරී ගිය අතර, පිට ද තුවාල වී ඇත. ඇය මෙහිදී මූර්ඡා වූ අතර, මූත්‍රාද පිට වී තිබේ. ඉන් පසු ඇයව ගරාජයට ඇදගෙන ගිය ඔහු යම් ලිංගික බලහත්කාරකමක් සිදුකිරීමෙන් අනතුරුව ඇයව ඝාතනය කරන්නට ඇත.

මහාචාර්ය සර් සිඩ්නි ස්මිත් මෙම නිගමනයට එළඹුණේ ආවාට ගියාට නොව ඒ වන විට පොලිසියේ හෝ නීතිඥවරුන්ගේ විමර්ශනයට භාජනය වූ හෝ නොවූ සෑම සුළු කරුණක් ගැනම ෂර්ලොක් හෝම්ස්ගේ ආකාරයට ඉතා සියුම් අධ්‍යයනයක යෙදීමෙනි. ඉක්බිති ඔහු නීතිඥ දෙපළට පැවසුවේ ලංකාවට ගිය පසු අපරාධ ස්ථානයේ කුස්සියත් ගරාජයත් අසල දොර උළුවස්සේ බිම සිට අඩි තුන හමාරක උසකින් ලොකු යකඩ ඇණයක් හෝ ලෝහයෙන් කළ වෙනත් උලක් තිබේදැයි පරීක්ෂා කරන ලෙසය.

පසු දිනක පැමිණිල්ලේ සාක්ෂි දීමට පැමිණි සිඩ්නි ස්මිත් මහතා ගුවන් යානයෙන් බැසගත් තැන සිට හෝටලය වෙත යනවා වෙනුවට කෙළින්ම ගියේ සතාසිවම් නිවස වෙතය. මන්ද යත් අප නීතිඥ මහතුන් කිසිවකුත් ඒ වන විටත් එතැනට ගොස් නොතිබුණ බැවිනි. එහිදී තමා අපේක්ෂා කළ පරිදිම අදාළ දොර උළු අස්සේ විවෘත කළ දොර රඳවා තැබීම සඳහා අඩි තුනහමාරක් උසකින් සවිකළ ඇණයක් තිබෙණු ස්මිත් මහතාට දැක ගත හැකි වූයේය.

ඊට අමතරව අපරාධය සිදුවූවායයි පවසන ලද උඩුමහලේ කාමරය ද ඇතුළු සමස්ත නිවස පිළිබඳවම මනා අවබෝධයක් ලබා ගත් ස්මිත් මහතා, වෛද්‍ය සේරම් විසින් ඔහුගේ අනුදැනුම මත කර තිබූ පරීක්ෂණයක ප්‍රතිඵල ද අතට ගත්තේ ය. ඒ පරීක්ෂණය වූයේ එක ළඟම එල්ලා මරණ ලද තරුණ සිරකරුවන් තිදෙනකුගේ මළ සිරුරු තුනක් ගෙන, ඒවායේ උෂ්ණත්වය අඩු වීමේ වේගය කෙසේදැයි මැන බැලීමය.

නඩුව පැවැත්වෙමින් තිබුණේ මරණය සිදුවූ තැනත් වේලාවත් පදනම් කර ගනිමිනි. විලියම් පොලිසියට පවසා තිබූ පරිදි මෙම අපරාධය සිදු කරනු ලැබුවේ උඩු මහලේ දී නොව, ගරාජය තුළ දී බව ඉතා හොඳින් ඔප්පු කිරීමට සර් සිඩ්නි සමත් වූයේ එතෙක් කිසිවෙකුත් ගණන් නොගත් ස්ථානීය සාක්ෂි ගණනාවක් සහ මියගිය තැනැත්තියගේ ගෙල පෙදෙසේ වූ යම් යම් තැලීම් සලකුණු සහ යටි පතුල්වල කුණු තැවරීම් තිබීම ආදී කරුණු ද මුල් කර ගනිමිනි. මීට අමතරව කෙනෙකුගේ ආහාර බඩවැල් ඔස්සේ ගමන් කරන වේගය පුද්ගලයාගෙන් පුද්ගලයාගේ සිරුරුවල ස්වභාවය හා මනෝභාවයන් අනුව වෙනස් විය හැකි බවද, ශරීර ප්‍රමාණයට සාපේක්ෂව මළ සිරුරක උෂ්ණත්වය අඩුවන ආකාරය ද හෙතෙම මනාව පෙන්වා දුන්නේය.

මෙම පෙන්වා දීමත් සමග මරණය සිදු වූ ස්ථානය පිළිබඳව විලියම්ගේ ප්‍රකාශය බොරුවක් බවට පත් විය. එතැන් සිට චූදිත සතාසිවම් මහතාට එරෙහි චෝදනා එකින් එක බිඳ වැටෙන්නට පටන් ගත් අතර, වසර එකහමාරක් තිස්සේ වැරදිකරුවකු ලෙස හංවඩු ගසා සිටි සතාසිවම් මහතා නිවැරදිකරු බව එකමතිකව පවසන්නට ජූරියට එතරම් වේලාවක් ගත වූයේ නැත.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ගුවන් යානයෙන් බට සැණින් මහාචාර්ය සිඩ්නි ස්මිත් ස්ථානීය පරීක්ෂාවක් සඳහා අදාළ නිවසට යෑම විනිශ්චයකාරතුමන්ගේ විශේෂ ප්‍රශංසාවට භාජනය වූ බවය.

මේ මොහොත වන විට කාගේත් ඔළු අවුල් කරන ගැටලුවක් බවට පත්ව ඇති දිනේෂ් ශාෆ්ටර්ගේ අභිරහස් මරණයට විසඳුමක් ලබා දීමට අපේ ෂර්ලොක් හෝම්ස්ලාට මෙය කදිම ඉඩ ප්‍රස්ථාවකි.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment