වනජීවී සංරක්ෂණයේ දේශපාලනය

18

“සංරක්ෂණය 60%ක්ම නියෝජනය කරන්නේ දේශපාලනය” වනජීවී සංරක්ෂණය ගැන මෙහෙම කියන්නේ මහාචාර්ය කුරේෂි (Prof’ Qureshi) ඔහු ඉන්දීය වනජීවී විශේඥයෙක් වගේම ඉන්දියාවේ ව්‍යාඝ්‍ර සංරක්ෂණ ව්‍යාපෘතියේ දැවැන්තයෙක්. ඔහු ඇතුළු කණ්ඩායම ලොව විශාලතම වනජීවී සංරක්ෂණ ව්‍යාපෘතියක ගිනස් ලෝක වාර්තාවක් අබියසයි සිටින්නේ.

මොකක් ද මේ වනජීවී සංරක්ෂණයේ දේශපාලනය කියන්නේ? ශ්‍රී ලංකාවේ නම් වනජීවී සංරක්ෂණය සහ දේශපාලනය කියන්නේ කිසිදාක එකිනෙකට සම්බන්ධ කරන්න බැරි අන්ත දෙකක් වගේ කියලා බැලූ බැල්මටම පේන්න තියෙනවා. ඒක එහෙම නම්, වනජීවී සංරක්ෂණයේ සාර්ථකත්වය දකින්න අපිට බැරිවෙන්න ප්‍රධාන හේතුවත් මේ සබඳතාව නොමැතිකම වෙන්නත් පුළුවන්. වනජීවී සංරක්ෂණය සහ කළමනාකරණය සම්බන්ධයෙන් කොතරම් කථා කළත් ඒවායේ තිබෙන්නේ විසුරුණු ස්වරූපයක්.

“වනජීවී සංරක්ෂණය නියෝජනය කරන්නේ විද්‍යාව, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ දර්ශනය යන සුසංයෝගයේ එකතුවක්” මහාචාර්ය කුරේෂි වැඩිදුරටත් කියනවා, මා හිතනවා ශ්‍රී ලංකාවේ අපට විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල ලොකු අඩුවක් නැහැ. ඒ සඳහා වන මානව ශ්‍රමයේත් සැලකිය යුතු අඩුවක් පේන්නේ නැහැ. නමුත් වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් වන දර්ශනයක් නම් අපට නැති තරම්. කෙටියෙන්ම කිව්වොත් දාර්ශනික පාර්ශ්වයෙන් අපි හරිම දුප්පත්. ඒ නිසා අපේ සංරක්ෂණ ව්‍යාපෘති නිසි පරිදි නාභිගත වෙන්නේ නැහැ. අනික ඒවා ප්‍රතිපත්ති වෙනුවට පුද්ගල කේන්ද්‍රීය වෙනවා. සෑම පාර්ශ්වයක්ම එකතු කරගන්නවා වෙනුවට පුද්ගලයන් හා කණ්ඩායම් බැහැර කරමින් තනි තනිව සාර්ථක වෙන්න උත්සාහ කරනවා. ඒක නිසාම අපේක්ෂිත ඉලක්ක සාධනය කරගන්න අපි අසමත් වෙලා. අපට තැන තැන විසිරුණු වනජීවී ක්ෂේත්‍රයේ පුද්ගලික ජයග්‍රහණ හා සාර්ථක වීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒවා එකට එකතු කරන පොදු වේදිකාවක් අපට නැහැ. පොදු වේදිකාවේ අඩිතාලම වෙන්නේ දර්ශනය. මේ දර්ශනයේ දරිද්‍රතාවය අපේ අනෙක් ශක්තීන් ද දුර්වල කරන්න හේතු වෙනවා.

මෙතැනදී මොකක්ද දර්ශනය කියන්නේ? පුළුල්ව, ඒ කියන්නේ සාකල්‍යවාදී ප්‍රවේශයකින් වනජීවී සංරක්ෂණය දිහා බලන්න ඇසක් නිර්මාණය කර ගැනීම. ජෛව-අජෛව සංරචක, ඒවායේ එකිනෙකට හා බැඳුණු අන්තර් සම්බන්ධතාවයන් සහ පද්ධති දෙස විවෘතව බලා විමසන්න.

අපි ආයෙත් මුල්මාතෘකාවටම ගියොත්, අපි කොහොමද දේශපාලකයන් සංරක්ෂණ ව්‍යාපෘතිවල සාධනීය සහ සක්‍රීය කොටස් කරුවන් කර ගන්නේ? විවේචනය කරනවාට වඩා වැඩි දෙයක් අපට කරන්න බැරිද? නැතිනම් සංරක්ෂණය ව්‍යාපෘතිවල ප්‍රගතිය දේශපාලනික දෘෂ්ටිකෝණයෙන් දේශපාලකයන්ට ඒත්තු ගන්වන්නේ කොහොම ද? ඒකට අපේ නිලධාරීන්, පර්යේෂකයන් සහ පොදු ජනතාව සමත් වී තිබේද? මේක අභියෝගයක් බව නැවත කියන්න ඕන නැහැ. දැන් බලන්න, ශ්‍රී ලංකාවේ වනඅලි සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ තිබෙන තත්ත්වය.

ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං ව්‍යාපෘතිය උදාහරණයට ගන්න. එම ව්‍යාපෘතියේ වැඩි අවධානයක් දිනාගෙන සිටින්නේ දේශපාලඥයන්. නමුත් ඒ පිටුපස එහි ඵලදායි බව ඒත්තු ගැන්වූ විශාල පිරිසක් සිටිනවා. මේක සාධනීය උදාහරණයක්. ඒ වගේම අපිට මතකයි ශ්‍රී ලංකාවේ එක් වනජීවී ඇමැතිවරයකු තමන්ගේ දේශපාලන බලය පෙන්වීමට යුනෙස්කෝ ලෝක උරුමයක සිටින වනඅලි අල්ලා ගාල් කිරීමට උත්සහා කරනවා. තවත් වනජීවී ඇමැතිවරයෙක් අලි අගල් කැපීම තමන්ගේ ප්‍රධාන කාර්යක් විධියට කරගෙන යනවා. මේ අඳුරු අත්දැකීම් විධියට හඳුන්වන්න පුළුවන්. මේ සෑම ක්‍රියාවක් පිටුපසම ඔවුන්ට මඟ පෙන්වූ රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, පර්යේෂකයන් සහ තවත් කණ්ඩායම් සිටි බව රහසක් නෙමෙයි. බොහෝවිට මේ පිරිස් තිරය පිටුපස ඉන්න අය.

සංරක්ෂණ ප්‍රමුඛතා සහ දේශපාලන ප්‍රමුඛතා ගැන මම තව උදාහරණයක් ඉන්දියාවෙන්ම කියන්නම්. ලෝකයේ ආසියාතික සිංහයන් (Asiatic Lions) දැනට ඉතුරු වෙලා ඉන්නේ ඉන්දියාවේ ගුජරාටයේ ගිර් ජාතික වනෝද්‍යානයේ (Gir National Park) පමණයි. කොරෝනා වසංගතය නිසා මේ සිංහ ගහනයෙන් සියයට විස්සක් පමණ මියගිය බව වාර්තා වෙනවා. මේ සතුන් වඳවීමේ තර්ජනය මුහුණ දී සිටිනවා. ආසියානු සිංහයන්ගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන්න මේ සිංහයන් වෙනත් සුදුසු ජාතික උද්‍යාන කීපයකට හඳුන්වා දෙන්න ඕන කියලා ඉන්දියාවේ සංරක්ෂණවේදීන් යෝජනා කරමින් සිටින්නේ කාලයක් තිස්සේ. නමුත් ඊට එරෙහිව තිබෙන ප්‍රධානම බාධාව නම් ප්‍රාන්ත රජයේ දේශපාලන තීරණයක්. ඔවුන් මෙම සිංහයන් තමන්ගේ ප්‍රාන්තයේ අභිමානයක් සහ උරුමයක් ලෙස සලකන නිසා ඔවුන් ප්‍රාන්තයෙන් පිටට දීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. වර්තමාන ඉන්දීය අගමැතිතුමා නියෝජනය කරන්නෙත් ඒ ප්‍රාන්තයයි. එතකොට ඔබට තේරෙනවා ඇති මේ දේශපාලන බල සබඳතාවේ ස්වරූපය.

මේ වනවිට ඉන්දියාව නැබියාවෙන් චීටාවන් ගෙනවුත් ඉන්දියාවේ කූනෝ වනජීවී අභයභූමියට (Kuno Wildlife Sanctuary) හඳුන්වා දී තිබෙනවා. ඉන්දීය තෘණබිම්වල සිටි චීටාවුන් මේ වනවිට වඳවී ගොස් අවසන්. ඒ අඩුව පිර වීමටයි අප්‍රිකානු චීටාවුන් ඉන්දියාවට ගෙනැවිත් තිබෙන්නේ. නමුත් මෙය සංරක්ෂණ තීරණයකට වඩා දේශපාලන තීරණයක් බව පෙනෙන්නට තිබෙනවා. දැන් ඉන්දීය වනජීවී විශේෂඥයන් චීටාවන් හරහා ආසියානු සිංහයන්ට ළං වෙමින් සිටිනවා. කූනෝ උද්‍යානය ආසියානු සිංහයන් බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

වනජීවී සංරක්ෂණ ප්‍රමුඛතා සැමවිටම විද්‍යාත්මක දත්ත මතම තීරණය වන්නේ නැහැ. එහෙම වෙන්න තිබෙන හැකියාව හුඟක් අඩුයි. මොකද වනජීවී සංරක්ෂණය කියන්නේ විවිධ අදහස් දරන විවිධ පාර්ශ්වවල එකතුවෙන් ප්‍රායෝගිකත්වයට නැංවෙන ක්‍රියාවලියක් නිසා. සංරක්ෂණවේදීන්, විද්‍යාඥයන් මේ සංකීර්ණ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන විදිහත් වනජීවී සංරක්ෂණ අභියෝග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව වන එක්තරා පැතිකඩක් නිරූපණය කරනවා. වනජීවී සංරක්ෂකයෝ කියන්නේ විවිධත්වය අගයන අය. විවිධත්වයට ආමන්ත්‍රණය කරන මිනිස්සු. සංරක්ෂණය ගැන තිබෙන ගැටලු සහ අර්බුදවලට වුණත් ප්‍රවේශ විය යුත්තේ මේ බව සිතෙහි තබාගෙනයි. අපි, මේ ප්‍රධාන ගැටලුව ආමන්ත්‍රණය නොකරන තාක් සාර්ථකත්වය හෝ තිරසරභාවය කියන දේවල් අපෙන් දුරස්ථව තියෙන ප්‍රාර්ථනාවන් වීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඒක වෙනස් කරගැනීමත් කළ යුත්තේත් අපිම තමයි.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment