ගුරුගේ අපලයට පිළියම්

120

අපලකරුවන්ගේ කේන්ද්‍රය පුද්ගලිකව පරීක්ෂා කරන්න. එහි බලවත්ම ග්‍රහයා තවදුරටත් බලවත් කිරීමේ න්‍යාය අනුගමනය කිරීම වඩාත් ප්‍රතිඵලදායි බව අත්දැකීම් අනුව පසක් වී තිබේ. එබැවින් බලවත්ම ග්‍රහයාට අදාළ මැණික තෝරා එම මැණික ඇතුළත් කර රිදී, රත්තරන් හෝ ග්‍රහයාට අයත් ලෝහයෙන් මුද්දක් සාදා එම ග්‍රහයාට මිතුරු ඇඟිල්ලක පලඳින්න.

ගුරු හෙවත් බ්‍රහස්පතිගෙන් අපල යෙදෙනවිට සතුරු පීඩා, නඩු හබ පැටලිලි, අලාභහානි, බාධා කරදර, හිමිකම් නැතිවීම, ගනුදෙනුවලින් පාඩු, වැඩිහිටි ඥාතියකුට විපත් යන අපල යෙදේ. මේ වකවානුවේදී කෙරෙන ගනුදෙනුවලින් පාඩු සිදුවේ. උද්‍යොගය නොමැති වීම බොහෝ කරුණු අවුල් වීමට හේතුවකි.

ගුරුගෙන් ඇතිවන ලෙඩ රෝග ලෙස අක්මාවේ දෝෂ, රුධිරගත ආබාධ, රුධිරවහනය වීම, හදිසියේ ඇතිවන හෘදයාබාධ, මේද නිෂ්පාදනය ඇනහිටීම, රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පහත වැටීම, පිත් ධාතුව දූෂිත වීම ආදී කරුණු බලපායි. ගුරුගේ බලපෑමට ලක්වන අක්මාවේ ක්‍රියාකාරිත්වය, යූරියා, යූරික් අම්ලය හා පිත නිෂ්පාදනය, මේදයේ ක්‍රියාකාරිත්වය, රුධිර වාහිනී පද්ධතිය, මොළයේ වම් පැත්ත හෝමෝන උත්පාදනය වැනි කරුණු දුර්වල වේ.

ඉහත සඳහන් අපලකාරී තත්ත්වය මර්දනය කර ගැනීම සඳහා ජ්‍යොතිර්විද්‍යාවේ ඇතුළත් ශාන්තිකර්ම පද්ධතිය අනුගමනය කරන්න.

  1. ගුරු පංජරය, නාරසිංහ යන්ත්‍රය, මණ්ඩල සීලම්බරය, නවගුණ යන්ත්‍රය, රතන යන්ත්‍රය, මාතාංගේශ්වරි යන්ත්‍රය යන යන්ත්‍රවලින් එකක් ශාස්ත්‍රානුකූලව සාදා පලඳින්න.
  2. අපලකරුවන්ගේ කේන්ද්‍රය පුද්ගලිකව පරීක්ෂා කරන්න. එහි බලවත්ම ග්‍රහයා තවදුරටත් බලවත් කිරීමේ න්‍යාය අනුගමනය කිරීම වඩාත් ප්‍රතිඵලදායි බව අත්දැකීම් අනුව පසක් වී තිබේ. එබැවින් බලවත්ම ග්‍රහයාට අදාළ මැණික තෝරා එම මැණික ඇතුළත් කර රිදී, රත්තරන් හෝ ග්‍රහයාට අයත් ලෝහයෙන් මුද්දක් සාදා එම ග්‍රහයාට මිතුරු ඇඟිල්ලක පලඳින්න.
  3. ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජාවක් තබා යාතිකාවක් කර බාරයක් වන්න.
  4. ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ නාමයට සෙත් කවියක් කියවන්න.
  5. රාත්‍රි නින්දට යෑමට පෙර ගුරු ස්තෝත්‍රය හැකි තරම් වාර

ගණනක් ගායනා කරන්න.

දේවතානංච සංෂිනාංච
ගුරුං කාංචනා සන්නිහම්
හුද්ධි භූතං තිලෝකේශං
තං නමාමි බෘහසීපතිම්

  1. ගුරු අපලයට අදාළ ඖෂධීය ජලය ස්නානය කරන්න. එනම් වැල්මී, කලාඳුරු අල, එළ අබ, දෑසමන්, බෝලිද්ද මල් සමව ගෙන තම්බා එම ඖෂධීය ජලය සාමාන්‍ය ජලයට මිශ්‍ර කර ස්නානය කරන්න.
  2. ගුරු පූජාව තබන්න.

අමු කහ, කිතුල් හකුරු, රන්පාට ආලේප කර අශ්ව රූපයක්, කඩල පරිප්පු, කහපාට රෙදි රියනක් සහිත පූජා වට්ටියක් සාදා බෝ වෘක්ෂයක් පාමුල හොඳින් පිරිසිදු කර එහි ඊසාන පැත්තේ ඇති ආසනයක ඉහත සඳහන් පූජා වට්ටිය තබා ගුරු සුවඳ ධූපයෙන් දුම් දී ගුරු යාදින්න කියවන්න. මෙය බ්‍රහස්පතින්දා දවසක ගුරු හෝරාවෙන් සිදු කරන්න.

ගුරු සුවඳ ධූපය යනු කොකුම්, රත් හඳුන්, සුදු හඳුන්, ඉඹුල් මැලියම් මිශ්‍රණයයි.

I ගුරු යාදින්න සිංහලෙන්

ස්වර්ණ වර්ණ වූ ස්වර්ණ මාලාම්බරධාරී වූ ස්වර්ණ ගන්ධානුලේපන සහිත වූ ස්වර්ණාශ්වයන් හා රන් සත් රන් දද රන් පතාකාදී සකල ආශ්චර්යයෙන් හෙබියා වූ වාචස්පති වූ බ්‍රහස්පති ග්‍රහ මණ්ඩලයට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයනට කසාවත් මල් පහන් පුදමි. කොකුම් මල් සුවඳ දෙමි. ඉමහත් බැති පෙම් උපදවා නිබඳ කෙරෙන මේ මගේ අසම සම අනෝපම පූජාව සුපිළිගෙන ගුරුගේ අනිටු යෝගයකින් හෝ සිදුවී ඇති බලවත් විපතක් වේ නම් ඒ හැම නොපමාව දූරිභූත කොට දිගාකල් ආයුෂ ලබාදී සදා සුව ලබාදෙන සේක්වායි ලෝක පාලනය කරන ඉන්ද්‍රාදි සකල දිව්‍ය සමූහයාගෙන් භක්තියෙන් සාධරයෙන් ඉල්ලා සිටිමි.

II ගුරු යාදින්න සංස්කෘත භාෂාවෙන්

ගුරුං කනකවර්ණං කනක මාල්‍යාම්බරධරං කනක

ගන්ධානුලෙපනං, කනතාශ්වං කනකච්ඡත්‍ර ධ්වජ රථ පතාකානි ශොභාතං, දිව්‍ය රථ සමාරූඪං මෙරුං ප්‍රදක්ෂිණං ග්‍රහ මණ්ඩලේ ප්‍රතිෂ්ඨිතං සාංගං සායුධං සවාහනං, සදෙශං සංගාත්‍රං සශක් – ති – සපත්නි – සපුත්‍ර – සපෞත්‍ර – පරිවාර සමෙතං, අධි දෙවතා ප්‍රත්‍යධි දෙවතා සහිතං, සූර්ය ග්‍රහස්‍ය උත්තර දිග්භාංග දීර්ඝ වතුරසුව මණ්ඩලේ ප්‍රතිෂ්ඨිතං උත්තරාභිමුඛං බ්‍රහස්පතිං ග්‍රහං අහ්වයාමි අධි දෙවතා ආහ්වයාමි ප්‍රත්‍යධි දෙවතා ආහ්වයාමි.

  1. පෙරවරු කාලයේ ධාන්‍ය වර්ග සහිත ආහාරයක්, ඖෂධ, දැහැත් සහ කහපාට මල් බෝ සමිඳුන් වෙත පුදා ආගමික වතාවත් කර රතන සූත්‍රය නවවරක් ද කියන්න. මෙය පිළිවෙළින් දින 09ක් කරන්න.
  2. කේන්ද්‍ර හිමිකරුවා බෞද්ධයකු නම් ආගමික වතාවත්වලින් පසු පහත සඳහන් කවිය 09 වරක් කියන ලෙස උපදෙස් දෙන්න.

ඇස් හිස් මස් ලේ දන් දී පෙරදා
පෙරුමන් බලයෙන් මරුවන් පරදා
ලෝක විදු ගුණ තිලොවට විහිදා
ගුරු ග්‍රහ අපලය දුරලත් සැමදා

  1. කේන්ද්‍ර හිමිකරුවා බෞද්ධයකු නම් බ්‍රහස්පතින්දා දවසක සිල්වත් භික්ෂුන් වහන්සේ නමකට දානයක් දී පිරිකරයක් පූජ කර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.
ගුරුගේ අපලයට පිළියම්

හේළි සරත් රාජකරුණා,
විද්‍යා ජ්‍යොතිෂ,
දලුග්ගල, රඹුක්කන.
දුරකථන 035-2262837

advertistmentadvertistment
advertistmentadvertistment