ගුරු මාරුවේ අපල දුරු වීමට කළ යුතු වත් පිළිවෙත්

3893

මේ දිනවල ජ්‍යෙතිෂය තුළ පවතින විවිධ ග්‍රහ සංසිද්ධීන් අතර 2024 මැයි 01 දින සිදු වන ගුරු මාරුව ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. මැයි 01 දින පස්වරු 01.06 ට ගුරු ග්‍රහයා වෘෂභ රාශිගත වන අතර එදින සිට 2025 මැයි 15 දක්වා වෘෂභ රාශියේ ගමන් කරයි. එම කාලය තුළ ගුරු ග්‍රහයා තමාගේ පිහිටීම අනුව ඒ ඒ ලග්නවලට සුබ අසුබ ප්‍රතිඵල ඇති කරයි. ග්‍රහ මණ්ඩලයේ ගුරුවරයා ලෙස සැළකෙන ගුරු මොළයේ සහ ඥානයේ උල්පත වේ. ධනයටද හිමිකම් කියයි. ගුරු සෞම්‍ය ග්‍රහයෙක් වන අතර පාප ග්‍රහයෙක් සමඟ එක් වුවත් ඒ පාප ග්‍රහයාගේ පාපී බව මකා ඒ ස්ථානය පිවිතුරු කිරීමේ හැකියාව ගුරුට ඇත. ගුරු ග්‍රහයා පාපයෙක් සමඟ එක්වීමෙන් පමණක් නොව දැකීමෙන්ද දෝෂ අඩුවේ. එහෙත් ගුරු පාපී වන අවස්ථා ඇත. ගුරුගෙන් සිදු වන තදබල හානියක් වන්නේ ඇට බිඳීමයි. සෙංගමාලය, උණ සන්නිපාතය, පිත හා සම්බන්ධ රෝග ගුරු ඇති කරයි. භාණ්ඩාගාර, උගතුන් වසන ස්ථාන, රිදී ලෝහ, ශරීරයේ මේදය, ආමාශය, බඩවැල්, වස්තුව, කීර්තිය, පුතුන්, මුණුබුරන්, උගතුන්, පියාගේ පියා, බුද්ධිය, ඥාණය, අධ්‍යාපනය, අමාත්‍යධුර, උපදේශකයන්, ලේඛන, මූල්‍ය සමාගම් ආදිය ගුරුගේ පාලනයට යටත් වේ. එම නිසා ඒ ඒ පුද්ගලයාට විශේෂයෙන් මේ ගුරු මාරුව තුළින් සුබ අසුබ ඇති වන්නේ ඉහත කරුණු සම්බන්ධයෙනි.

පොදුවේ ගත් කළ මෙම ගුරු මාරුව මේෂ, කටක, තුලා ලග්න හිමියන්ට ඉතාමත් සුබදායකය. කන්‍යා, වෘශ්චික, මකර ලග්න හිමියන්ටද සුබදායක වන අතර ධනු හා කුම්භ ලග්න හිමියන්ට සුබාසුබ මිශ්‍ර ඵල ඇති කරයි. වෘෂභ, මිථුන, සිංහ, මීන ලග්න හිමියන්ට මෙම ගුරු මාරුව එතරම් සුබදායක නොවේ. එබැවින් එම ලග්න හිමියන් මෙම ගුරු මාරුවෙන් සිදු වන අසුබතා මඟහරවා ගැනීමට ගුරු ග්‍රහයා වෙනුවෙන් කළ යුතු වත් පිළිවෙත් කිරීම ඉතාමත් සුදුසුය. ඒ සඳහා ඔබට පහත වත් පිළිවෙත් අනුගමනය කළ හැකිය.

  1. බ්‍රහස්පතින්දා දිනවල බෝධි පූජා පවත්වන්න. එහිදී රන්වන් පාට මල්, කහ පාට මල්, නෙළුම් මල්, එම මල්වලින් සැදූ මල් මාලා, කහ පාට කොඩි, ගිතෙල් පහන් පූජාවට ගන්න.
  2. බෝ වෘක්ෂයට සාත්තු කිරීම, පෝෂණය කිරීම, බෝ වෘක්ෂය නිතර ස්පර්ශ කිරීම, ගරු කිරීම, බෝ මළුව ඇමදීම සිදු කරන්න. විහාරස්ථානවල බෝධි රෝපණ කටයුතුවලදී මූලිකත්වය ගෙන ඊට උදව් කරන්න.
  3. බෝධීන් වහන්සේට ගිතෙල් මිශ්‍ර කිරිබත් පූජා කරන්න.
  4. සිවුරු, අටපිරිකර, කහ පාට කුඩ, කහ පාට වස්ත්‍ර, කඩල වැනි දේ දන් දෙන්න.
  5. බ්‍රහස්පතින්දා දිනවල භික්ෂුන් වහන්සේ කිහිප නමකට දානය පිළිගන්නවා සිවුරු, පිරිකර පූජා කර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.
  6. සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දානමානාදිය ලබා දෙන්න. උපස්ථාන කරන්න.
  7. හැකි සෑම පෝයකටම සිල් සමාදන් වන්න.
  8. හැකි සෑම විටම ධර්මය ශ්‍රවණය කරන්න. ධර්ම පූජා පවත්වන්න.
  9. හැකි සෑම විටම තමාට හැකි පරිදි පිරිත් සජ්ඣායනා කරන්න. කරවන්න.
  10. හැකි සෑම විටම භාවනාවේ යෙදෙන්න.
  11. ශ්‍රී විෂ්ණු දෙවියන්ට විධිමත් ලෙස පූජාවක් තබා අපල උපද්‍රව දුරු කර දෙන ලෙස බාර වන්න.
  12. ශ්‍රී විෂ්ණු දේව නාමයට ශාස්ත්‍රාණුකූලව සෙත් කවි සාදවා කියවන්න.
  13. එළඟිතෙල්, අබ තෙල්, කොහොඹ තෙල් යන තෙල් වර්ග තුන මිශ්‍ර කළ තෙලෙන් පහන් 21 ක් බ්‍රහස්පතින්දා දිනවල දල්වන්න.
  14. පුෂ්පරාග මැණිකක් ශරීරයේ ස්පර්ශ වන ලෙස රත්රන්, රිදී හෝ සුදු යකඩින් තැනූ මුදුවක හෝ වෙනත් පළඳනාවක ඔබ්බවා එම මුදුව හෝ පළඳනාව නියමිත වාර ගණන ජප කරවා ගෙන ගුරු දිනක ගුරු හෝරාවේ, ගුරු පංචම කාල හෝරාවේ, ගුරු සූක්ෂ්ම කාල හෝරාව තුළ පළඳින්න.
  15. වැල්මී, කලාඳුරු, එළ අබ, දෑ සමන්, බෝලිද්ද මල් යන බෙහෙත් ද්‍රව්‍ය සම සමව ගෙන හෝ එළ අබ, වැල් මී, ඉරිවේරිය, බෝලිද්ද මල් යන බෙහෙත් ද්‍රව්‍ය සම සමව ගෙන තම්බා ගත් ජලය හෝ මෙම ඖෂධ වර්ග පැය 06කට වැඩි වේලාවක් බහා තැබූ ජලය ස්නානය පිණිස භාවිත කරන්න.
  16. අභිසම්භිධාන යන්ත්‍රය, යන්ත්‍රය, නරසීහ යන්ත්‍රය, අන්තරාය නිවාරණ යන්ත්‍රය නවගුණ යන්ත්‍රය යන යන්ත්‍රවලින් එකක් නියමිත වාර ගණන ජප කර බන්දවා ගන්න.
  17. තමන්ගේ උසට සරිලන කහ කොඩියක තමන්ගේ නම ලියා “ගුරුගේ අපල දුරුවේවා” යන්න නමට යටින් ඇතුළත් කොට වැඩිපුර පිරිසක් දකින බෝධියක එල්ලා තබන්න.
  18. ගුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලැබීමට පහත සඳහන් ස්තෝත්‍රය භාවිතා කරන්න.

දේවානඤ්ච සෘෂිනංච
ගුරුං කාංචන සන්නිභම්
බුද්ධි භූතං ත්‍රිලෝකස්‍ය
තං නමාමි බ්‍රහස්පතිම්.

ගුරු මාරුවේ අපල දුරු වීමට කළ යුතු වත් පිළිවෙත්

ජ්‍යොතිෂවේදී,අ වාස්තු විද්‍යා උපදේශක
විදුහල්පති දේශමාන්‍ය දේශබන්දු ආචාර්ය
කපිල ඉන්ද්‍රික ගුණදාස
මාලිබොඩ දැරණියගල. 076 8248000

advertistmentadvertistment
advertistmentadvertistment