රස්සාවක් සොයා!

ආයෙත් ගෙදරට මගේ රස්සා ප්‍රශ්නෙ ඉහට ගහලා. ඉහට නෙවෙයි, ඉහටත් උඩට ගහලා. “රස්සාවක් හොයාගෙන මිසක ආයෙ ගෙදරට එන්න එපාෟ” මගේ බෑග් මල්ල මිදුලට විසිකරමින් බිරිඳ මාව ගෙදරින් එළවගත්තෙ. මට යන්න එන්න තැනක් තිබුණෙ නෑ. යන්න එන්න කවදාවත් තැනක් තිබුණෙ නෑ මට. මෙදා පාර ආපහු ගෙදර ඒමේ ඉඩත් ඇහැරිලා. ඉතිං පාර දිගේ ගියා මං. පාර තමයි එකම නිදහස් තැන. දැන් නම් ඒ නිදහසත් නෑ වගේ පාරේ. පොලිස් බල්ලො පාර මුර කරනවා. කරන්න දෙයක් නෑ. ජාතික ආරක්ෂාව අංක එක. අංක දෙකට ඕන නම් දඩකොළවල ආදායම දාගන්න.

මට ඕන වුණේ රටමුළුක්කාදියේ ඇවිදලා හරි රස්සාවක් හොයාගන්න. මුලින් හිතුණෙ විංකලේක වැඩ කරන්න. ඒත් විංකල් වැඩට විශේෂ පුහුණුවක් ඕන වෙනවා. ඒ පුහුණුව මට නෑ. මට පුහුණුවක් තියෙනවා. ලිවීමේ පුහුණුව. ඒත් ලිවීම අද රස්සාවක් නෙවෙයි. ලිවීමේ රස්සාව නැති වෙලා ටිකක් කල්. රට වැටුණයින් පස්සෙ නැති වුණු රස්සා ගොඩට ලිවීමේ රස්සාවත් ගියා. ලිවීමෙන් නැති වුණා මිස ගොඩ ගියෙත් නෑ ලියපු මිනිස්සු. ගොඩ ගියා නම් ගොඩ ගියේ ප්‍රකාශකයො. අද ප්‍රකාශකයොත් වළේ පොත් පළ කළොත්. එහෙම කියන්නත් බෑ. ගොඩ යන ප්‍රකාශකයොත් ඉන්නවා. කර්තෘ භාග වංචා කරන ප්‍රකාශකයො නැත්තෙ කොහෙද!

පාර දිගේ ඇවිදන් යද්දි මුලින්ම හම්බුණේ මාළු සිරිසේන. පුෂ් සයිකලෙන් මාළු විකුණපු සිරිසේන තැපැල් නයින්ටියට මාරු වෙලා දැන් ඩිමෝ බට්ටෙකුට බැහැලා. සිරිසේන බට්ටා නැවැත්තුවේ මං මාළු ගනියි කියල වෙන්න ඕන. ඒත් මං ඇහුවේ වෙන ප්‍රශ්නයක්:

“කොහෙන්ද මේ මාළු ගෙනාවේ?”

සැකෙන් වගේ බලපු සිරිසේන හඬ බාල කරලා කථා කළා:

“ඇයි නරක් වෙලාද මාළු?”

සැක බිය දුරු වුණාම උත්තර දුන්නා මිනිහා: “මේවා බේරුවල වරායෙන් ගෙනාපු අලුත්ම මාළු.”

වචන ස්වල්පයක් හුවමාරු වුණාට පස්සෙ මං ඇහුවා සිරිසේනගෙන් “අලුතෙන් මාළු වෙළඳාමට බහින මනුස්සයකුට දියුණු වෙන්න පුළුවන්ද?” කියල. සිරිසේන කෙටියෙන් මෙහෙම කියල බට්ටා පණගැන්නුවා:

“මොන පිස්සුද මහත්තයා! මාළු විකුණනවාට වඩා හොඳයි පාර අතුගෑවා නම්.”

සිරිසේන පාර අතුනොගෑවේ ඇයි මෙච්චර කාලයක් කියල අහන්න හිතුණා මට. ඒත් මං ඇහුවේ නෑ. මං ඇහුවා ඒ වෙනුවට මගෙන් මාළු විකිණුවොත් මං බිරිඳ මාව ගෙදරට වද්ද ගනීද කියල.

දහය කණුව හන්දියේදි මට පහළ වුණා හොඳ අදහසක්. වල්ලපට්ටකාරයා දහය කණුවේ එළවළු කඩයක් දාලා. ඕලෙවල් ඇනගත්තු පළවෙනි පාරම මිනිහා වෙළෙඳාමට බැස්සෙ වල්ලාපට්ටාවලින්. මිනිහාගේ නම වැටුණෙත් ඒ සිද්ධිය හින්ද වෙන්න ඕන. වල්ලපට්ටකාරයා ආපහු නම් වල්ලාපට්ටා විකුණන්නෙ නැති වෙයි. එළවළුවල මිලට ළං වෙනවාද වල්ලපට්ටා! ඒත් එළවළු බිස්නස් එක ගැන මිනිහා දුන්නෙ නොහිතපු උත්තරයක්:

“මේකෙන් ගොඩයන්න පුළුවන් මහත්තයෝ. හැබැයි වැඩ දෙකක් කෙරෙන්න ඕන. එක සීයට අරන් දාහට දෙන්න ඕන. දෙක හොර තරාදියක් ළඟ තියාගන්න ඕන!”

වල්ලපට්ටා එහෙම කියල පාරිභෝගිකයෙක් දිහාට හැරෙද්දි මං ඉක්මනටම හැරුණා පාරට. දහ අතේ කල්පනා කළා මං මොකක්ද කරන්නෙ කියල. රස්සාවක් කරන්න කැමැතිද මං? ඇත්ත කිව්වොත් කැමැති නෑ. නීති රෙගුලාසි ගෙදරත් ඉවසන්න බැරි කොට රස්සාවේ ඉවසන්න පුළුවන්ද! ඒත් කරන්න දෙයක් නෑ. පරස්තාවක් කරගත්තා නම් රස්සාවක් නොකර බෑ. රස්සාවයි පරස්තාවයි එකට යන්නෙ නෑ. දෙකම කළොත් එක විට අමාරුයි කරගෙන යන්න.

“බැරිද උඹට ළමයින්ට මොනවාහරි විෂයක් උගන්වන්න?” කවුද කිව්වේ ඒ කතාව? මතක් වුණා මට කිව්ව කෙනා. ඒ, ටියුෂන් පන්ති කරන යාළුවෙක්. ගමේ පදිංචියට ආ මුල් දවස්වල යෝජනාව ආවේ. ඉක්මනටම මං යාළුවා හම්බවෙන්න ගියා. ඒත් යාළුවා දුන්නු උත්තරේ වෙන එකක්:

“ඔක්කොම ගුරුවරු බඳවාගෙන ඉවරයි. ඕන නම් රාත්‍රී පන්තියක් කරන්න පුළුවන්. හැබැයි ඒකටත් කොන්දේසි ටිකක් තියෙනවා!”

මොනවාද කොන්දේසි පන්ති මිත්‍රයාගේ?

“එක රාත්‍රී හතේ ඉඳලා රාත්‍රී නවය වෙනකන් පන්තිය පවත්වන්න ඕන. දෙක පන්තියේ ළමයි එක්කෙනෙක් ඉතිරි වුණත් එයාටත් උගන්වන්න ඕන. තුන පන්ති පිළිබඳ දැන්වීම්වලට ගුරුවරයාගේ ඡායාරූපයක් දාන්න ඕන. හතර දැන්වීම් වටය පටන්ගනිද්දි අනෙක් ගුරුවරු තාප්ප, වෙල්, පිට්ටනි අල්ලන්න කලින් අපි අල්ලන්න ඕන. පහ ඒ දැන්වීම්වලට ගුරුවරයා ගෙවීමක් කරන්න ඕන. එතනදි පෝස්ටර් අලවන කට්ටියට කෑම බීමත් වෙන වෙනම දෙන්න ඕන. හය පන්ති ගාස්තුවෙන් සියයට 25ක් ආයතන කුලිය වශයෙන් ගෙවන්න ඕන….”

කොන්දේසි ටික ඇදි ඇදී යද්දි පාරට ආවා මං ඉක්මනටම. මංමුළාවෙලා වගේ කියල මං මට දැනුණා මහපාරෙදි. මං ආයෙත් පාර දිගේ ඇවිදගෙන ගියා. දිගටම ගියා. දිගින් දිගටම ගියා. උදේ දවාල වෙලා දවාල හැන්දෑ වෙලා හැන්දෑව කරුවල වෙලාද කොහෙද දැනුණා මට. මෙවෙලාවේ හම්බුණා මට ඉසෙඩ් අකුරට ඇවිදින ඥානසිරි. ඥානසිරි හඳුනගන්න පුළුවන් වුණේ ඉසෙඩ් අකුරෙ පාද චලනය නිසා.

“මහත්තයා අවේලාවේ?”

ඥානසිරි කථා කළා මාව හඳුනගෙන. අවේලාව තමයි ඥානෙ හැමෝටම අපේ. වෙලාවක් ආවේලාවකුත් නෑ දැන්. “මං මේ රස්සාවක් හොයනවා!” මං එහෙම ඇහුවේ නෑ ඥානෙගෙන්. ඒත් කවදාවත් නොතිබුණු ගෞරවයක් ඇති වුණා ඥානසිරිගේ රස්සාව ගැන මට. ඔව්, රස්සාවක් නෙවෙයිද කසිප්පු පෙරීම. කිතුල් රා මැදීම රස්සාවක් නම් කසිප්පු පෙරීම රස්සාවක් නෙවෙයිදෟ

අන්ධකාරය වෙලාගෙන අවට. බයක් දැනුණෙ නෑ මට. බයක් දැනෙන්න ඕන ගෙයක් දොරක් තියෙන මිනිහෙකුට. “බෑරක්ද මේ යන්නෙ?” “බෑරක් ගියාද මේ?” එහෙම ප්‍රශ්න අහන්න බෑ ගෙයක් දොරක් රස්සාවක් නැති මිනිහෙක්ගෙන්. ඒත් ගේදොර – රස්සා ඇති මිනිස්සුන්ට මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද? පුළුවන්. ඒත් සෑහීමකට පත් වෙන්න පුළුවන් උත්තර නෙවෙයි. මොකද ගේදොර – රස්සා යන ඔක්කොම ඉන් කියන දේ හඟවන්නෙ නෑ.

“මොකද මිත්‍රයා මේ කළුවරේ?”

ඒ හඬ ඇහුණෙ හුඟ වෙලාවකට පස්සෙද මට? බැලුවා මං කවුද වාහනේ නැවැත්තුවේ කියල. ලොකු වාහනයක් නේද? වීදි ලාම්පු එළිය වැටුණාම තේරුණා මට වීඑයිට් එකක් කියල. මං ළං වුණා වාහනේ ළඟට. අන්න එතකොට හඳුනගන්න පුළුවන් වුණේ පුද්ගලයා. ඔව්, පරණ ටියුෂන් ගුරුතුමා මගේ. ඒත් ළං වෙන්න බයයි දැන්. දැන් ඉන්නෙ වෙනම ලෝකෙක. මේ බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමා.

“පත්තරේ නම දැක්කෙත් නෑ ළඟකදි. ලිෆ්ට් එකක් දෙන්නද?”

නෑ, ඕන නෑ ඇමැතිතුමා. රස්සාවක් නම් ගන්න කැමතියි. එපා! කියන්න එපා ඕන නැති කතා. ඒත් අහන්න කැමතියි අර දෙදාස් පන්සීයෙන් මාසයක් කන්න පුළුවන් කියපු කතාව. නෑ, ඒකත් ඕන නෑ. ඒත් රස්සාවක් නැතුව ගෙදර යන්න බෑ. ඉතින් මොකටද ලිෆ්ට්?

“කල්පනා කරන්නෙ මොකද මිත්‍රයා?”

ආයෙ අහනවා ඇමැතිතුමා.

“ජොබ් එකක් එහෙම හොයාගන්න බැරිද ඇමැතිතුමා!”

මගෙන් ඇහුණා ද ඒ ප්‍රශ්නෙ?

“ජොබ් එකක්. ඇයි පත්තර රස්සාවට මොකද වුණේ?”

උත්තරයක් ලැබුණු නැති තැන ආයෙ කථා කළා ඇමැතිතුමා:

“අපිට ටිකක් පරක්කුයි. හොඳයි ආයෙ හම්බෙමු. ලබන අවුරුද්දෙ විතර නම් පුළුවන් මට ජොබ් එකක් අරන් දෙන්න. දන්නවානෙ තමුන්නාන්සෙලා අර අපට ගහපු පෝර්ට් සිටි එකෙන් මං අලුත් රස්සාවක් සොයා දෙන්නම් තමුන්නාන්සෙට!”

බන්ධුල ඇමැතිතුමාගේ උත්තරේට උත්තර දෙන්න බලද්දි මං ඇමැතිතුමා මාරු වෙලා. මට දැනුණෙ මං අනාථ වෙලා කියල. තිත්ත ලබු කන්න වෙන කාලයක් මේ අබුද්දස්ස කාලෙ. කල්පනා කළා මං මොකද කරන්නෙ කියල. කිසි දෙයක් ආවේ නෑ ඔළුවට. පාරේ ඇවිදන් යන්නත් බෑ අන්ධකාරේට. යන්න අතකුත් නෑ. වාඩි වුණා මං බිම. බිම ඉඳගන්න බය වෙන්න ඕන නෑ. ඒත් ඉඳගත් බිම මං බල්ලන්ගේ අගුවක්. බලු අගුවක ලගින්න වෙන කාලයක්ද මේ? මොකටද බය වෙන්නෙ? බය වෙන්න එපා බල්ලො එක්ක බුදියන්න. හැම තැනම ඉන්නෙ බල්ලො තමයි.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment