නාරි සූත‍්‍රයේ දී වැඩිපුර ම සම්මුඛ වන්නේ නිරුවත් පුරුෂයන් – අනුරාධා නිල්මිණී

1586

කවිය සිය නිර්මාණාත්මක වැඩබිම බවට පත්කර ගන්නා අනුරාධා නිල්මිණී විසින් මේ වනවිට කාව්‍ය සංග‍්‍රහයන් පහක් පමණ රචනාකොට ඇත. මෙරට සිටින සම්මානනීය කිවිඳියන් කීපදෙනා අතරින් එක් අයෙක් වන ඇය ‘‘රිදුම්පිරි -පිරිමැදුම්’’ කාව්‍ය සංග‍්‍රහය රචනා කරමින් 2020 වර්ෂයේ පැවැති රජත පුස්තක සම්මාන උළලේ දී වසරේ විශිෂ්ටතම කිවිඳිය බවට පත්වන්නීය. පහත පළ වෙන්නේ මේ වනවිටත් මෙරට සාහිත්‍ය සමාජය තුළ මෙතෙක් කතා බහට ලක්වන ඇයගේ පස්වන කාව්‍ය සංග‍්‍රහයවන ‘නාරි සූත‍්‍රය’ පිළිබඳ කතා බහක් පිණිස අකුරු දිගේ සංවාදය සමග එක්වෙමින් අනුරාධා නිල්මිණී විසින් දක්වන ලද අදහස්ය.

ප‍්‍රශ්නය – ඔබ විසින් රචිත පස්වන කාව්‍ය සංග‍්‍රහය නාරි සූත‍්‍රය තරමක වෙනස් කියැවීමක්. එය අලුත් අත්දැකීම් කලාපයක් වෙත පාඨකයන්ව රැගෙන යන්නට දරන ලද උත්සාහයක් ද?

උත්තර – ඒ ප‍්‍රශ්නයට ලිහිල් පිළිතුරක් දෙනව නම් මෙහෙම කියන්නට පුළුවනි. ඔබත් මමත් ඇතුළුව පොදු සමාජයක් විදියට අභ්‍යන්තර පාපෝච්චාරණයකට අපේ සූදානම කොහොම ද කියන කාරණය වෙනුවෙන් නාරි සූත‍්‍රය කියන වේදිකාව මම නිර්මාණය කළා කියලා. එතැනින් පිටස්තරව ප‍්‍රශ්නයට අදාළ කොටස විග‍්‍රහ කර ගැනීම මම හිතන්නේ පාඨක අයිතිවාසිකමකි.

නාරි සූත‍්‍රයේ දී වැඩිපුර ම සම්මුඛ වන්නේ නිරුවත් පුරුෂයන් - අනුරාධා නිල්මිණී

ප‍්‍රශ්නය – කෘතියෙහි අඩංගු නිර්මාණ පිළිබඳ සැලකිලිමත් වීමේ දී සමූහ අවනඩුවක් වෙන වෙනම ප‍්‍රකාශ කරන ආකාරයක් දකින්නට ලැබෙනවා. එවැනි ආකෘතියක් පිණිස යොමු වන්නේ කුමන පදනමකින් ද?

උත්තර – ඉතිහාසයේ සිට ම ලෝකයේ සාහිත්‍යකරුවන්, කවි, කිවිඳියන් තමන් ගේ නිර්මාණ සංග‍්‍රහ කිරීමේ දී විවිධ ආකෘතික අත්හදා බැලීම්වලට යොමු වී තිබෙනවා. අපේ රටේ අධ්‍යතන යුගයේ වගේම සකු, පාළි ලිවීම්වලත් යුරෝපයේ ආසියාතික රටවල සහ විවිධ ආගමික, සංස්කෘතික අංග ලෙස සංග‍්‍රහවන නිර්මාණාත්ක ලිවීම්වලත් ආකෘතිමය වෙනස්කම්වලට ඔවුන් සැලකිය යුතු තරමේ අවධානයක් යොමුකොට තිබෙන බව නිරීක්‍ෂණය වෙනවා. නිදහසින් පසු කවියත්, මේ නූතනම මොහොත දක්වා ඒ අභ්‍යාසය අතහැර නැහැ. නාරි සූත‍්‍රයත් ඒ අභ්‍යාසයේම දිගුවක් ලෙස හැඳින්විය හැකි බැව් මම හිතන්නෙ, පදනම පැහැදිලියි.

ප‍්‍රශ්නය – මැද පෙරදිග ගෘහ සේවයට ගොස් මරණීය දණ්ඩනයට ලක්වූ ශ‍්‍රී ලාංකික තරුණියකවන රිසානා පිළිබඳ හෘද වාචිකය සිතා මතා අමතක කළා ද? එසේ නැතිනම් එය අතපසු වීමක් ද?

උත්තර – එයට පිළිතුරු දෙකක් තිබෙනවා. පළමුවැන්න මම තනිව ඇය පිළිබඳව ලිනවා මගේ දෙවන කවි පොතේ (වත් සියපත් 2014) දෙවැනි පිළිතුර ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරන්නට මම කැමතියි.

නාරි සූත‍්‍රය හරහා තමන්ගේ හෘද අභ්‍යන්තරය විදාරණය කරන ස්ත‍්‍රී චරිත දහසය තුළ අපට නාමිකව හමුවන්නේ ඔවුන් ගේ ජීවිත කතාව වියහැකි නමුත්, ඔවුන් සමග එක්ව ගැඹුරට ඒ හෘද වාචිකය ස්පර්ශ කරන්නට යමෙකුට හැකියාවක් ඇත්නම් ඒ තුළ මා වගේ ම ඔබේ මවත් බිරිඳත් සහෝදරිය සහ දියණියත් ඔබට හමුවීම නො වැළැක්විය හැකියි. ඇමැති නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී පිළිස්සී මිය යන ඉෂාලිනී ජූඩ් දැරිය මෙහි සිටිනවා. ඇගේ හෘද අභ්‍යන්තරයට ගමන් කරන්නට කැමැති කෙනකුට, රිසානා හමුනොවී සිටීමට හේතුවක් තිබිය නොහැකියි. අනෙක් අතට මේ සියලු ස්ත‍්‍රී චරිත හරහා ගමන් කරන පාඨකයාට අවසානය් නිරුවත් පුරුෂයකු හමුවීමත් වළක්වන්නට බැහැ.

ප‍්‍රශ්නය – යම් යම් දෘෂ්ටිවාදවල එල්බ හිඳී නම් ඒවායෙන් වියුක්තව කෘතිය වෙත පිවිසෙන්න කියන ඉල්ලීම ඔබ විසින් සිදු කරනවා. එය කොතෙක් දුරට සාධාරණ ද?

උත්තර – රොන්, මඩ, විවිධ විෂ කාරක අපද්‍රව්‍යවලින් අඩකටත් වඩා පිරුණු බඳුනකට පිරිසිදු ජලය පිරවීමේ අර්ථයක් නැති බව මම විශ්වාස කරනවා.

ප‍්‍රශ්නය – නමුත් ඔබ මේ කෘතිය රචනා කරන්නේ ස්ත‍්‍රීවාදී දෘෂ්ටියක හිඳිමින් නේද?

උත්තර – ස්ත‍්‍රීවාදී දෘෂ්ටිය කියන වචනයේ මතුපිට අර්ථයට වඩා මම හිතන්නේ නාරි සූත‍්‍රය නෑකම් කියන්නේ මනුෂ්‍යවාදී දෘෂ්ටියටයි. මෙයි අභ්‍යන්තර සාකච්ඡා කලාපය මනුෂ්‍යත්වයයි. ආගම, සම්ප‍්‍රදාය, සංස්කෘතිය යන සමස්ත දේශපාලන ක‍්‍රියාවලිය තුළ පීඩනයට ලක්වන ගර්භාවට බඳුන්වන මනුෂ්‍යත්වයේ ශෝකාන්තයයි. මෙහි විමසුම් මූලාශ‍්‍රය ලෙස සැලකිය හැක්කේ, මානව පැවැත්මේ ස්ත‍්‍රී අර්ධය පුරුෂ සංකල්ප තුළ ම පමණක් තවදුරටත් වරනැඟීමේ ඛේදාන්තය පිළිබඳව තමන්නේ හෘද සාක්‍ෂියට සෘජුව විවෘත වීමට මනුෂ්‍ය වර්ගයාට කරන ආරාධනාව තුළයි. නාරි සූත‍්‍රයේ දෘෂ්ටිමය ලක්‍ෂය කේන්ද්‍රගත වන්නේ…’’

ප‍්‍රශ්නය – ඔබගේ අනෙකුත් කාව්‍ය සංග‍්‍රහයන් සමග සසදන කල නාරි සූත‍්‍රය කින්නේ නිර්මාණාත්මක පරිණතභාවය පෙන්නුම් කරන මිනුම් දඬුවක් ද?

උත්තර – පරිණතභාවයේ මිනුම් දඬුවක් කියන වචනයට වඩා මම කැමතියි මෙය මගේ ලිවීමේ තවත් අභ්‍යාස මොහොතක් වශයෙන් හඳුන්වන්නට සාගරයක් තරම් විශාල හැදෑරීම් කලාපයක් යම් ලියන්නකු හෝ ලියන්නියක විසින් තරණය කළ යුතු නම් මම තවමත් සිටින්නේ වෙරළ සීමාවේ.

අනෙක් අතට තනි කේවල ජනප‍්‍රිය නිර්මාණයකින්, තනි කෘතියකින් යම් ජාතික මට්ටමේ සාහිත්‍ය සම්මානයකින් පමණක් නිර්මාණකරුවකුගේ පරිණතභාවය පිළිබඳව පොදු පාඨක සමාජයට තක්සේරුවකට එළැඹිය නොහැකි බවයි මගේ හැඟීම. නිර්මාණකරුවාටත් එය එසේමය. අතිශය ජනප‍්‍රිය වීම හෝ පුද්ගල චරිතය සමාජයට ප‍්‍රසාදජනක වීම තුළින් පමණක් නිර්මාණවේදියකු ලෙස ඔහු හෝ ඇයගේ නිර්මාණාත්මක පරිණතභාවය පිළිබඳව විනිශ්චයන්ට එළැඹීමෙන් සිදුවන්නේ ඒ නිර්මාණකරුවාට පවා විශාල අගතියක් ලෝකයේ නිර්මාණාත්මක පරිණතභාවයට පත් නිර්මාණකරුවන් සියුම්ව විමසනවිට මේ කාරණය හොඳින්ම තහවුරු වෙනවා. නමුත් ලංකාවේ, අනෙක් බොහෝ ක්ෂේත‍්‍රවල වගේම සාහිත්‍ය, කවිය තුළත් සමහර පිරිස් බොහෝ නො ඉවසුම් සහගත බවකින් හැසිරෙන බවක් අපට පෙනෙන්නට තිබෙනවා. නිර්මාණාත්මක පරිණතභාවයට ළඟාවීම සඳහා තමන්ගේ හැදැරීම් කලාපය පුළුල් කරගැනීම වෙනුවට ඔවුන් ඉතා කුඩා පටු මාර්ග තමන්ගේ ගමනාන්තය වෙනුවෙන් තෝරා ගනිමින් සිටින බව පෙනෙනවා. ඒ නිසා ම මගේ නිර්මාණාත්මක පරිණතභාවය කරා යන ගමන ඉතාම දුෂ්කරයි, කටුකයි වගේම ජන ශූන්‍යයි නාරි සූත‍්‍රය ඒ වෙහෙසකර ගමනේ තනි කුඩා නැවතුම්පොළක් නැතිනම් අභ්‍යාස මොහොතක් පමණයි.

සංවාදය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment