ඉන්දුනීසියාවේ ගිනි කඳු පිපිරීමකින් 11ක් මරුට

123

බටහිර සුමාත්‍රා දූපතේ පිහිටි ඉන්දුනීසියාවේ තිබෙන අධිකම වශයෙන් සක්‍රියව පවතින ගිනි කන්ද වන “මෙරාපි” ගිනි කන්ද පෙරේදා (03දා) පුපුරා යෑම හේතුවෙන් එම ගිනි කන්ද නගිමින් සිටි කඳු නගින්නන් 11 දෙනෙකු මිය ගොස් තවත් 03 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම ගිනි කන්ද නගිමින් සිටි තවත් 12 දෙනෙකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මීටර් 2891ක් (අඩි 9485ක්) උසැති මෙම ගිනි කන්ද පුපුරා යෑමත් සමගම ඉන් නිකුත් වූ අළු කිලෝ මීටර් තුනක් උසට අහසට විහිදී ගොස් ඇති අතර උණුසුම් වූ ලෝදිය (ලාවා) හා අළු අසල ගම්මාන කිහිපයකට විහිදී ගොස් ඇති බව වාර්තා වී තිබේ. මෙම ගිනිකඳු පිපිරීම සිදුවන අවස්ථාවේ එම කන්ද නගිමින් සිටි කඳු නගින්නන් 75 දෙනාගෙන් 11 දෙනෙකු මෙසේ පිපිරීමෙන් විසි වූ ලෝදිය හා අළුවලට පිළිස්සීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තුවාල ලැබූවන් ගිනි කන්දේ ආවාටය අසල වැටී සිටියදී සොයාගෙන ඇති අතර ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේදී එම කන්ද නගිමින් සිටි කඳු නගින්නන් 49 දෙනෙකු බේරා ගැනීමට ගලවාගැනීමේ නිලධාරීන්ට හැකි වී තිබේ. බේරාගනු ලැබූ බොහෝ දෙනා තුළ පිළිස්සුම් තුවාල දක්නට ලැබුණු බව එම නිලධාරීන් පවසා තිබේ. ‘ගින්දර තනන්නා’ යන අර්ථය ඇති ‘මෙරාපි’ ගිනි කන්ද කඳු නගින්නන් අතර ප්‍රකට ස්ථානයක් වන අතර එහි කිලෝ මීටර් 4ක් දක්වා වූ දුරකට නැගීමේ පහසුකම් සංචාරකයන්ට සළසා දී තිබේ. මෙරාපි ගිනි කන්ද සක්‍රියව පැවතීම හේතුවෙන් ගිනි කඳු පිපිරීමෙන් කොටු වී සිටින පිරිස් සොයා සිදු කෙරෙන මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට බලධාරීන් විසින් ඊයේ (04දා )පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment