ඇමරිකාවේ පිහි ඇනුමකින් හතරක් මරුට

278

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ ගෘහස්ථ හිංසන ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකු විසින් පෙරේදා (03දා) එල්ල කළ මාරාන්තික පිහි ඇණුම් ප්‍රහාරයකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු සිවුදෙනෙකු මියගොස් ඇති අතර පොලිස් නිලධාරීන් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. නිව්යෝක් නගරයේ ක්වීන්ස් ප්‍රදේශයේ සිදුව ඇති මෙම පිහි ඇණුම් ප්‍රහාරයෙන් අනතුරුව පොලිස් නිලධාරින් විසින් එල්ල කරන ලද වෙඩි පහරින් ඝාතකයා මිය ගොස් තිබේ.

නිව්යෝක් නගරයේ ක්වීන්ස් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කර්ට්නි ගෝඩන් නමැත්තා විසින් සිය පවුලේ සාමාජිකයන්ට මුළුතැන්ගෙයි තිබූ පිහියකින් දරුණු පිහි ඇණුම් එල්ල කොට සිවු දෙනෙකු මරා දමා ඇති අතර ඔවුන් නිවසේ සිටියදී නිවසට ගිනි තබා ඇති බව වාර්තා වී තිබේ. සැකකරු විසින් සිය පවුලේ සාමාජිකයන් මරා දමමින් සිටින බවට තරුණියක් විසින් ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් අදාළ නිවසට ගිය අවස්ථාවේ පලා යමින් සිටි ඝාතකයා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහි පහර එල්ල කර තුවාල සිදු කර තිබේ. කෙසේ වුවද තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කළ වෙඩි පහරින් ඝාතකයා මිය ගොස් ඇත. මේ අතර ඉකුත් සෙනසුරාදා (02දා) ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි අයිෆල් කුලුනේදී එල්ල වූ පිහි ඇණුම් හා යකඩ මිටි ප්‍රහාරයකින් ජර්මන් ජාතිකයෙකු මියගොස් ඇති අතර එංගලන්ත ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම ප්‍රහාරය එල්ල කළ ඉස්ලාම් ආගම වැළඳගත් 26 හැවිරිදි ප්‍රංශ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment