අයි.පී.එල්. තරගාවලියක වැඩිම ලකුණු හයිද්‍රාබාද් කණ්ඩායම එකම තරගාවලියකදී දෙවරක් අලුත් කරයි

267

තවත් වාර්තා රැසක් බිඳ වැටෙයි

අයිපීඑල් තරගාවලිය යටතේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා සන්රයිසස් හයිද්‍රාබාද් අතර පෙරේදා පැවති තරගයේදී අයි.පී.එල්. ඉතිහාසයේ මෙන්ම ලෝක විස්සයි 20 ඉතිහාසයේද කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වූයේය.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසන් වන විට දැවැන්ත ලකුණු 287 ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

එම ලකුණු සංඛ්‍යාව අයි.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු පුවරුවේ වාර්තාව වූ අතර ඒ අනුව අයිපීඑල් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අඛණ්ඩව දෙවැනි වරටත් මෙම තරගාවලියේදීම අලුත් කිරිමට සන්රයිසස් සමත් විය.

මීට පෙර මෙම තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු 277 එහි පෙරමුණේ පසු විය.

එමෙන්ම මෙම ලකුණු 287, ඕනෑම විස්සයි 20 තරගයක කණ්ඩායමක් වාර්තා කළ දෙවැනි ඉහළම ඉනිම විය. මීට පෙර, පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේදී මොංගෝලියාව විසින් නේපාලයට එරෙහිව කඩුලු 3 කට වාර්තා කළ ලකුණු 314 එහි පෙරමුණේ පසුවිය.

මෙම ලකුණු 287 රැස් කිරීමේදී ට්‍රැවිස් හෙඩ් පන්දු 41 කදී ලකුණු 102 ක් රැස් කරමින් මෙවර තරගාවලියේ ක්‍රීඩකයකු රැස් කළ සිව්වැනි ශතකය මෙන්ම සිය පළමු අයි.පී.එල්. ශතකය ද මෙහිදී රැස් කළේය. ඊට හතරේ පහර 9 ක් හා හයේ පහර 8 ක් ඇතුළත් විය.

ඔහුට අගනා සහයක් ලබාදුන් දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසෙන් පන්දු 31 කදී ලකුණු 67 ක් වාර්තා කළේ හතරේ පහර 2 ක් හා හයේ පහර 7 ක් සමගිනි. සන්රයිසස් ඉනිම අවසාන භාගයේ වේගය තවත් වැඩි කළ ඊඩන් මාක්‍රම් පන්දු 17 කදී ලකුණු 32 ක්ද අබ්දුල් සමාද් පන්දු 10 කදී ලකුණු 37 ක්ද බැගින් රැස් කළහ.

එමෙන්ම එක් අයි.පී.එල්. ඉනිමක කණ්ඩායමක් වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද මෙහිදී බිඳ වැටුණු අතර මෙම තරගයේදී සන්රයිසස් විසින් හයේ පහර 33 ක් එල්ල කර තිබිණ. මීට පෙර හයේ පහර 21 ක් එල්ල කරමින් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විසින් 2013 වර්ෂයේදී පූනේ වොරියර්ස්ට එරෙහිව මෙම වාර්තාව පිහිටුවා තිබිණි.

තරගයේදී ලකුණු 25ක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් සමත් විය. පිළිතුරු ඉනිම ආරම්භ කළ බැංගලූරු කණ්ඩායම කඩුලු හතකට ලකුණු 262 ක් වාර්තා කළ අතර මෙම සමස්ත තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 549 ක් වාර්තා කළ අතර එය ඕනෑම විස්සයි 20 තරගයක වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර මෙම තරගාවලියේදීම සන්රයිසස් හා මුම්බායි අතර පැවති තරගයේදී වාර්තා වූ ලකුණු 523 එහි පෙරමුණේ පසුවිය.

මේ අතර හතරේ හා හයේ පහර 81 ක් වාර්තා වූ අතර එය විස්සයි 20 තරගයක වැඩිම හයේ හා හතරේ පහර සංඛ්‍යාව සම කිරීමක් විය. මීට පෙර 2023 වර්ෂයේදී බ.ඉ.කොදෙව් හා දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන් හිදී පැවති තරගයේදී ද හතරේ හා හයේ පහර 81 ක් වාර්තා වී තිබිණ. එමෙන්ම විස්සයි විස්ස තරගයක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව වූ 38 ද මෙම තරගයේදී සමවිය. මීට පෙර සන්රයිසස් හා මුම්බායි අතර මෙම තරගාවලියේදී පැවති තරගයේදීම හයේ පහර 38 ක් වාර්තා වී තිබීණ.

advertistmentadvertistment
advertistmentadvertistment