ටෙන්ඩර් දොර වැහිලලු ! මිලියන 670ක් පිල්ලි ගහන එන්නත් මගඩියක්

272

රුපියල් මිලියන 330කට මිලදී ගත හැකි ‘සිපරොක්සින්’ නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත් කුප්පි ලක්ෂ නවයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1000ක් ඉක්මවූ වැඩි ලංසුවක් ඉදිරිපත් කර ඇති ඒකාධිකාරී බලයක් සහිත සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බවට ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ වාර්තා වේ.

අදාළ මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවීමේදී තරඟකාරී සමාගම්වලට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මෙලෙස වටිනාකම මෙන් තුන් හතර ගුණයක මුදලක් ගෙවීමට සිදුව ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් මිල අඩු සමාගම් ලියාපදිංචි කිරීමේදී දක්වන උදාසීනත්වය සහ පවතින ‘නිලධාරි මාෆියාව’ හේතුවෙන් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

‘සිපරොක්සින්’ ඖෂධ එන්නත් කුප්පියක් සාමාන්‍ය මිලදී ගැනීමේදී ඩොලර් සත විසිපහක් වන අතර, මෙම ගනුදෙනුවේදී එක් එන්නත් කුප්පියක් සඳහා ඩොලර් පහකට ආසන්න මුදලක් ඉදිරිපත් කර ඇති බවත්, ඖෂධ නියාමන අධිකාරිය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ‘සිපරොක්සින්’ ගනුදෙනුව සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා කඩිනමින් පියවර ගතයුතු බවත් එසේ නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමටත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, ජී.ජී. චමල් සංජීව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ ප්‍රකාශ කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment