ඊශ්‍රායල – පලස්තීන ගැටුම ලෝකයට බලපාන්නේ කෙසේද?

924

ඊශ්‍රායල් පලස්තීන දේශසීමා යනු වසරකට කිහිප වරක්ම යුද ගිනි දැල් බුර බුරා නැඟෙන්නා වූ කලාපයකි. තැනින් තැන ශේෂ වූ ගොඩනැඟිලි, බෝම්බ කැබලි සහ මිනිසුන්ගේ දුක් අඳෝනා ලොවටම කියාපාන්නේ එහි කෲරත්වයයි. ලොවක් යුද භීතියෙන් සසල කරවමින්, ක්‍රියාත්මක වන ඊශ්‍රායල් පලස්තීන යුද්ධයෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහතා අප සමඟ අදහස් දැක්වූයේ මේ ආකාරයට ය.

ඊශ්‍රායල් සහ පලස්තීන දෙරට අතර වර්තමාන ගැටුමෙහි මූලයන් සම්බන්ධව තිබෙන්නා වූ ඓතිහාසික විශ්ලේෂණය කුමක්ද ?

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර වර්තමාන ගැටුමෙහි ඉතිහාසය පළමුවෙනි ලෝක සංග්‍රාමය දක්වාම දිවයනවා. පළමුවෙනි ලෝක සංග්‍රාමයේ දී බි්‍රතාන්‍ය සහ ප්‍රංශය ඔටෝමාන් අධිරාජ්‍යයේ සිටි මුස්ලිම් පාලකයන් හට එම ප්‍රදේශවල ස්වයං පාලන බලතල ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුවකට අනුව එහි සිටි මුස්ලිම් පාලකයන් ඔවුන් සමඟ සන්ධානගත වෙනවා. ඉන් පසුව 1916 දී බි්‍රතාන්‍ය සහ ප්‍රංශය The Sykes picot සම්මුතියට අත්සන් තබනවා. ඒ අනුව ඉරාකය අයත් ප්‍රදේශය ප්‍රංශ ආධිපත්‍යය යටතට ද පලස්තීන ප්‍රදේශ බි්‍රතාන්‍යය ආධිපත්‍යය යටතට ද ගැනෙනවා. මේ අතර 1917හි බැල්ෆර් ප්‍රකාශනය මගින් එවකට බි්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා විසින් යුදෙව් ප්‍රධානියකුට පලස්තීනයෙහි යුදෙව්වන් පදිංචි කරන බවට පොරොන්දුවක් දෙනවා. ඒ අනුව තමයි 1948 මැයි මස 14 වෙනිදා ඊශ්‍රායලය බිහි වෙන්නේ. ඉන් පසුව 1948 දී Independent war නමින් ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට විසඳුමක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමාන්තර රාජ්‍ය දෙකක් නිර්මාණය කිරීමට යෝජනාවලියක් ගෙන ආවත් එය ක්‍රියාත්මක නොවෙන පසුබිමක් තුළ ඊශ්‍රායලය වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරනවා. වර්තමාන ගැටලුවෙහි මූලාරම්භය සලකන විට එය ඉතාමත් ඈත ඉතිහාසයකට දිව යනවා. 1966 දින හයේ යුද්ධයේදී ඊශ්‍රායල විසින් අල්ලා ගත් ප්‍රදේශ දෙක තමයි බටහිර ඉවුර සහ ගාසා තීරය කියන්නේ. දැන් පලස්තීන ජනතාව ජීවත් වෙන්නේ ඒ ප්‍රදේශවල. විශේෂයෙන්ම අවුරුදු 15ක විතර කාලයක් ඊශ්‍රාලය විසින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ ගමන් බිමන් තහනම් කිරීම, දෛනික අවශ්‍යතාව සපුරාලීමට බාධා එල්ල කිරීම සිදුකරනවා. ඒ වගේම තමයි අරාබිකරයේ රටවල් ඔක්කොම එකතු වුණත් ඊශ්‍රායලයත් එක්ක යුද්ධ කරලා ජයග්‍රහණය කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ විදියට රාජ්‍යයකට තවත් රාජ්‍යයකට විරුද්ධව සටන් වැදෙන්නට නොහැකි වන විට, අසම්මිතික සංග්‍රාමවලට ත්‍රස්ත කණ්ඩායම් යොමුවෙනවා. මෙවැනි හේතූන් මත තමයි ඔක්තෝම්බර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කරන්න පෙළඹෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව ප්‍රබල රටවල් මෙම සටන් නැවැත්වීමට ඉල්ලීම් කරන පසුබිමක, ඊශ්‍රායලය ඒවාට ඇහුම්කම් නොදීමට හේතු ලෙස ඔබ දකින්නේ මොනවාද?

දැනට මෙම යුද්ධය ආරම්භ වෙලා සති පහක පමණ කාලයක් ගත වුණත් ඊශ්‍රායලය තවමත් බාහිර ලෝකයේ අදහස්වලට කන්දෙන බවක් දකින්න ලැබෙන්නේ නැහැ. ලෝකයෙහි ආරක්ෂාව සම්බන්ධව කටයුතු භාර වෙලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙම යුද්ධය නැවැත්වීමට යෝජනා ඉදිරිපත් කරන සෑම අවස්ථාවකදීම ඇමෙරිකාව විසින් එම චෝදනා සියල්ලම නිෂේධනය කරනවා. ඒ වගේම තමයි ඊශ්‍රායලයේ මෙම ක්‍රියා පිළිවෙතට වෙනත් පාර්ශ්වයකට මැදිහත් වීමට නොහැකි වන අන්දමට ලෝකයේ බලගතුම යුද බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහාය ලබා දෙනවා. මෙලෙස අන්තර්ජාතික මට්ටමේ රැකවරණයක් ඊශ්‍රායලයට ලැබීම හේතුවෙන් අන්තර්ජාතික විරෝධතාවන්ට නෙතන්යාහු ඇහුම්කන් දෙන බවක් පෙනෙන්න නැහැ. දෙවැනි කාරණාව තමයි නෙතන්යාහු නායකත්වය ලබාදෙන්නේ සන්ධාන ආණ්ඩුවකට වීම. මෙම ආණ්ඩුව ඊශ්‍රායල් ඉතිහාසයේ දක්නට ලැබුණු වඩාත් අන්ත දක්ෂිණාංශික ආණ්ඩුවක්. හමාස් ප්‍රහාරය එල්ල වුණාට පස්සේ අන්ත දක්ෂිණාංශික සන්ධානයේ පාර්ශ්වකරුවන් ඊශ්‍රායලයෙන් දැඩි ලෙස ඉල්ලීම් කරනවා හමාස් සංවිධානය සහ පලස්තීන ජනතාව ඉලක්ක කරගෙන මෙහෙයුමක් කරන්න කියලා. එපමණක් නෙවෙයි ප්‍රාණ ඇපකරුවන් ලෙස පලස්තීනයට රැගෙන ගිය ඊශ්‍රායල් වැසියන් 200 දෙනා නිදහස් කර ගැනීමටත් නෙතන්යාහුට ඊශ්‍රායල් සමාජයෙන් විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේම ඊශ්‍රායල් බුද්ධි අංශවල දුර්වලකමක් නිසා ඔක්තෝබර් 07 වැනිදා ප්‍රහාරය කල්තියා දැනගන්න නොහැකි වෙනවා. එය නෙතන්යාහුගේ දේශපාලන ජීවිතයටත් බලපානවා. මේ නිසා තමයි ඊශ්‍රායලය අන්තර්ජාතික ඉල්ලීම්වලට ඇහුම්කම් නොදෙන්නේ.

ඊශ්‍රායල - පලස්තීන ගැටුම ලෝකයට බලපාන්නේ කෙසේද?

විජය දිසානායක

මෙම යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකාවෙහි මැදිහත් වීම කෙබඳු ද?

ජෝ බයිඩ්න් බලයට පැමිණි මුල් කාලයෙහි නෙතන්යාහුගේ ආණ්ඩුව සමඟ ඔහුට කිසිදු සම්බන්ධකමක් තිබුණේ නැහැ. නමුත් ඔක්තෝම්බර් 07 ප්‍රහාරයෙන් පස්සේ ඇමෙරිකාව ඊශ්‍රායලයට උදව් කරනවා. ඇමෙරිකාව විසින් දෙවන ලෝක යුද්ධයේ සිට මේ දක්වා ඇමෙරිකන් ඩොලර් මිලියන 157ක් පමණ ඊශ්‍රාලයට ලබා දීලා තියනවා. ඇමෙරිකාව ලෝකයෙහි කිසිම රටකට මේ තරම් විශාල ආධාර මුදලක් ලබාදිලා නෑ. ගෝලීය වශයෙන් ඊශ්‍රායලයට විශාල විරෝධයක් එල්ල වුණත් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව ඊශ්‍රායලයට උදව් කරලා තියෙනවා. අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් ඇමෙරිකාව අවුරුද්දකට ඊශ්‍රායලයට බිලියන 3.8ක පමණ ආධාර දෙනවා. 2022 වසරේ දී ඊශ්‍රායලයේ යුද වියදමෙන් සියයට දාසයක්ම ලබාදෙන්නේ ඇමෙරිකාව. ඒ වගේම ඊශ්‍රායලයට භාවිතා කිරීමට නවීනතම අවි ආයුධ, ගුවන් යානා නිෂ්පාදනය කරන්නත් ඇමෙරිකාවේ උපකාර ලැබෙනවා. මේ නිසා ඊශ්‍රායලයෙහි විශාලතම වෙළෙඳ හවුල්කරු බවට ඇමෙරිකාව පත්වෙලා තියෙනවා. රටවල් දෙක අතර ද්විපාර්ශ්වික වෙළෙඳාමෙහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 50ක් පමණ වෙනවා. ඔවුන් අතර පවත්නා විශේෂ සම්බන්ධතාවය හේතුකොටගෙන වෙළෙඳ ගනුදෙනු සිදු වීම, යුද ආධාර ලබාදීම සිද්ධ වෙනවා. බොහෝ දුරට ඇමෙරිකාව මැදපෙරදිග කලාපයෙහි තම බලය පවත්වාගෙන යෑමට ඊශ්‍රායලය යොදාගන්නවා වෙන්න පුළුවන්.

මෙම යුදමය තත්ත්වය හමුවෙහි බටහිර මාධ්‍යයන් හී වාර්තාකරණයෙහි ස්වභාවය කෙබඳු ද?

බටහිර ප්‍රධාන මාධ්‍ය ආයතන කියන්නේ ලාභ ඉපැයීම අරමුණු කරගත් මාධ්‍ය ආයතන. බොහෝවිට ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නියෝජිතයන් අවි නිෂ්පාදන සමාගම්වල ඉන්නවා. මේ නිසා බටහිර මාධ්‍යයන්හි වාර්තාකරණය පක්ෂග්‍රාහී ස්වරූපයක් ගන්නවා. යුද්ධයෙහි කෲරත්වය ලෝකයාගේ ඇස් පනාපිටම අසන්නට දකින්නට ලැබෙන පසුබිමක ඒ පිළිබඳ වාර්තා නොකර සිටීම ඒ ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් වෙනවා. මොකද ඔවුන් ඒ පිළිබඳ වාර්තා නොකර සිටීම තුළ මාධ්‍යයන් හි විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතුවෙනවා. නමුත් මෙවැනි යුදමය වාතාවරණයක් පවතින ප්‍රදේශයක සේවය කරන්න කිසිදු වාර්තාකරුවෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එවැනි පසුබිමක ලෝකයේ ප්‍රධාන මාධ්‍ය ආයතන වන රොයිටර්, AFB, AASP වැනි මාධ්‍ය ආයතනවලට සිද්ධ වෙනවා පලස්තීන මාධ්‍යවේදීන් කෙරෙහි විශ්වාසය තබන්න. ඒ වගේම තමයි CNN, New york Times වැනි මාධ්‍ය ආයතන ඊශ්‍රායලයට වාසි සහගත ලෙස වාර්තාකරණය කරන බවට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී බීබීසී ය හමාස් සංවිධානය සම්බන්ධව වාර්තා කිරීමේදී ත්‍රස්තවාදීන් කියන වචනය භාවිතා කරන්නේ නැහැ. එය ඔවුන්ගේ සම්ප්‍රදායක් වුවත් ලෝකයේ දෝෂ දර්ශනයට ඔවුන් ලක්වෙලා තියෙනවා. යුද පුවත් වාර්තාකරණයේ දී මාධ්‍යවේදීන්ගෙන් අපි බලාපොරොත්තු වුණු දෙයක් තමයි නිරවද්‍යතාවය, අපක්ෂපාතීභාවය, වගකීම් සහගතභාවය. මේ නිසා වගකීම්සහගත වාර්තාකරණය ඉතාමත් වැදගත් වෙනවා.

ඊශ්‍රායල් පලස්තීන යුදමය වාතාවරණය ලොව අනෙක් රටවලට බලපා තිබෙන්නේ කවර ආකාරයට ද?

දැනට ලොකු බලපෑමක් නැහැ. නමුත් මැදපෙරදිග කලාපය කියන්නේ ලෝකයේ තෙල් ප්‍රවාහන මර්මස්ථාන සහ තෙල් නිෂ්පාදන මධ්‍යස්ථාන පිහිටලා තියෙන කලාපයක්. ඒ වගේම ඉරානය පිහිටලා තියෙන්නේ ලෝකයෙහි නැව්ගත තෙල්වලින් තුනෙන් එකක් පමණ ලැබෙන Hormuz strait තුළයි. ඒ වගේම යේමනයෙන් සියයට පහළොවක් පමණ තෙල් රතු මුහුද හරහා Babel Mandep සමුද්‍ර සන්ධියෙන් එනවා. මෙවැනි ප්‍රධාන ලක්ෂයන් හරහා ගැටුමක් ඇති වුවහොත් එය මුළු ලෝකයටම බලපානවා. එම බලපෑමෙහි ආකාර කිහිපයක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි ආර්ථිකයට සිදුවන බලපෑම. පසුගිය මාසය අගදී ලෝක බැංකුව ප්‍රකාශ කළ අන්දමට මෙම යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථික කම්පනයක් ඇති වීමට ඉඩකඩ තියෙනවා. එය තවදුරටත් පුළුල් වුවහොත් මේ වන විට ඇමෙරිකන් ඩොලර් 73 ක අගයක් ගන්නා බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 150 ක පමණ අගයක් ගන්න පුළුවන්. මෙය ගෝලීය ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනවා. ඊළඟ කරුණ තමයි, ඇමෙරිකාව දැනට Aircraft Carrier Strike කණ්ඩායම් දෙකක් යවලා තියෙනවා. ඒවායේ ජෙට් යානා 150ක් විතර තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මෙය ඉරානයට පහර දීමට යොදාගත්ත සැලසුමක්ද කියලා. මෙම ගැටුම ඇමෙරිකාව සහ ඉරානය අතර විශාල ගැටුමක් බවට පත්වෙලා හිස්බුල්ලා සංවිධානයත් මෙයට සම්බන්ධ වුණොත් විශාල අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හිස්බුල්ලා ප්‍රහාරයට සමාන ප්‍රහාරයන් වෙනත් පාර්ශ්වයන් විසින් වෙනත් රටවලටත් දියත් කරන්න පුළුවන්. න්‍යෂ්ටික යුද්ධයකට මාර්ගය පෑදුණොත්, එය භයානක තත්ත්වයක් බවට පත්වෙනවා. ඊළඟට මේ වෙද්දි ලෝකයෙහි අවි පාලනය පිළිබඳ තිබුණු වියානා වාර්තාව, CTBT, Open Skies ආදී සම්මුතීන් සියල්ලක්ම පාහේ බිඳ වැටිලා තියෙනවා. මෙලෙස අවි පාලනය පිළිබඳ තිබෙන්නා වූ එකඟතාවයන් බිඳවැටීමෙන් පසුව රටවල් අතර යුදමය වාතාවරණයක් ඇති වුවහොත් බොහෝ විට එය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වෙන සීමාවටම ලෝකය ඇවිල්ල තියෙනවා.

ඊශ්‍රායල් පලස්තීන ගැටුමත් සමඟ ලොව දෙකඩ වීමක් සිදුවෙමින් තිබෙනවා ද?

ඔව්. බෙදීමක් දකින්න පුළුවන්. ඊට හේතුව බටහිර රටවල් විසින් මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් කියලා පසුගිය කාලයෙහි ලෝකය පුරාම චිත්‍රයක් ඇඳීම. පාස්කු දින වැනි ප්‍රහාරවල බලපෑමත් එක්ක ඇමෙරිකාවට පුළුවන් ඉරානය සමග යුද්ධයකදී අප වැනි රටවල් යුද කඳවුරු ලෙස යොදාගන්න. මොකද බහුතර ජනතාව මුස්ලිම්වරුන්ට පහර දීම ගැන කැමැත්තක් දක්වනවා. ඒ වගේම ලන්ඩනය, පැරීසිය, බ්‍රසීලය වැනි රටවල ඉඳහිට සිදුවන බෝම්බ පිපිරීම් මුස්ලිම්වරුන් විසින් සිදුකරන ලද ක්‍රියා ලෙස හුවා දක්වමින් මුස්ලිම් විරෝධී ජනමතයක් නිර්මාණය කරලා තියෙනවා. මේ වන විට ලෝකයෙහි පවත්නා යුද කාර්මික සංකීර්ණයේ පැවැත්මට අවශ්‍ය නිමිති නිර්මාණය කරගන්නේ මේ වගේ සිද්ධි හරහා. එතකොට ගෝලීය දකුණ එහෙමත් නැත්නම් චීනය, ඉන්දුනීසියාව, රුසියාව, බ්‍රසීලය වැනි රටවල් මේ වෙද්දි ඉන්නේ පලස්තීනයත් එක්ක. අනිත් අතට ඇමෙරිකාව ප්‍රංශය බි්‍රතාන්‍ය ඉතාලිය වැනි බටහිර රටවල් සහය දෙන්නේ ඊශ්‍රායලයට, නමුත් ඒ රටවල අභ්‍යන්තරික වශයෙන් ජන මතයෙහි යම්කිසි බෙදීමක් තියෙනවා. එම රටවල වාසය කරන මුස්ලිම්වරුන්ගෙන් ජෝ බයිඩ්න්ට එල්ල වන බලපෑම සහ පවත්නා උද්ඝෝෂණවලින් එය පැහැදිලි වෙනවා. හැබැයි පොදුවේ ගත්තම, මේ ප්‍රහාරයත් එක්ක ලෝකයෙහි විශාල බෙදීමක් නිර්මාණය කරලා තියෙන බව පැහැදිලි වෙනවා.

මෙය තෙවන ලෝක යුද්ධයකට අත වැනීමක්ද?

මේ වෙනකොට අවි පාලන සම්මුතීන්ගෙන් රුසියාව සහ නේටෝව බැහැරව කටයුතු කරනවා, ලෝකයෙහි ආරක්ෂාව පවත්වාගෙන යෑම පිළිබඳ අන්තර්ජාතික පද්ධතිය කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටිලා තියෙන්නේ, යම් හෙයකින් මෙම යුදමය තත්ත්වයට ඊශ්‍රායලය, ඉරානය වැනි රටවල් එක් වුණොත් එයට රුසියාව, චීනයද එක් වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. මේ නිසා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවදානම ඉහළ යනවා. එය න්‍යෂ්ටික යුද්ධයකට අතවැනීමක්. මේ වෙනකොට Bulletin Of atomic Science හී Doomsday ඔරලෝසුවෙහි තත්පර කටුව මධ්‍යම රාත්‍රිය වෙත ළඟාවීමට තව තිබෙන්නේ තප්පර අනූවක් වගේ කාලයක්. එයින් කියවෙන්නේ ලෝක විනාශය අත ළඟයි කියලා. ඒ කියන්නේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ වැඩි අවදානම් මට්ටමට මේ වෙද්දී ලෝකය ඇවිල්ලා තියෙනවා කියලා.

H. K. S. නවෝදා හඳරාගම
ජනසන්නිවේදන අධ්‍යයනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment