ව්‍යාජ ඩුබායි වීසා සකස් කළැයි විපක්‍ෂ මන්ත්‍රීගේ සොහොයුරා රිමාන්ඩ්

362

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර දුන් බව කියන පුද්ගලයකු මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් පෙරේදා (17දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. ඒ. හලීම් මහතාගේ සොහොයුරකු බව ද, ඩුබායි රැකියා ලබාදෙන බව පවසමින් මොහු පුද්ගලයන් රැසක් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇතැයි ද පොලිසිය පවසයි.

සැකකරු ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව කියමින් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි තුනක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් එම වීසා බලපත්‍ර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට යොමුකර සිදුකළ විමසීමක දී ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර බව තහවුරු කර තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක සංජීව, පොලිස් සැරයන් (81992) හෙට්ටිආරච්චි, පොලිස් කොස්තාපල් (81992) නුවන් යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.

මහම්මදු හාෂීන් අලීම් මහම්මුදු රාසික් (58) නමැති සැකකරු මහනුවර අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment