ශූරයාට කිලෝමීටරයට රුපියල් 1000 යි – ගුවන් පාපැදි සවාරිය අද ඇරැඹෙයි

208

මෙරට පාපැදි තරග බිමේ ප්‍රමුඛතම පාපැදි තරගය ලෙස සැලකෙන ගුවන් හමුදා පාපැදි සවාරිය තරගකරුවන් දෙසීයකට ආසන්න ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් අද (02 වැනිදා ) උදෑසන ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරය නිමිති කොටගෙන පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 400කට ආසන්න වේ.

මෙම තුන්දින පාපැදි සවාරියේ පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා කිලෝමීටර් 116.7ක දුර ප්‍රමාණයක් ආවරණය කෙරෙන අතර, මාර්තු මස 3 වැනිදා දෙවැනි අදියර යටතේ පල්ලෙකැලේ සිට පොලොන්නරුව දක්වා කිලෝමීටර් 146.7ක දුරක් ආවරණ කිරීමට නියමිතය.

අවසන් දිනය එනම් මාර්තු මස 4 වැනිදා තුන්වැනි අදියර යටතේ පොලොන්නරුව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 132ක දුර ප්‍රමාණයක් ආවරණය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 395.4කි. ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂ 4ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. කාන්තා අංශයේ ශූරියට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද පිරිනමන අතර සියලු මුදල් ත්‍යාගවල වටිනාකම රුපියල් ලක්ෂ 15 ඉක්මවයි.

සෙසු ජයග්‍රාහකයන්ගේ මුදල් ත්‍යාගයන් ද ඉහළ දමා ඇතැයි ගුවන් හමුදා පාපැදි කමිටුවේ සභාපති එයාර් වයිස් මාෂල් ලසිත සුමනවීර මහතා ප්‍රකාශ කළේය. ශූරයා වෙනුවෙන් පිරිනමන රුපියල් ලක්ෂ හතරක මුදල පසුගිය වසරේ පැවැති පාපැදි සවාරියේ ජයග්‍රාහකයාට පිරිනැමුණු මුදල් ත්‍යාගයට වඩා රුපියල් ලක්ෂයක වැඩිවීමක් වේ.

පිරිමි තරගයේ අවසන් දිනයේදී කාන්තා තරගය ද පැවැත්වෙන අතර, එය හබරණ සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 84.9ක දුරකින් යුතුව පැවැත්වෙනු ඇත.

පිරිමි අංශයේ දෙවන සහ තෙවන ස්ථාන හිමි කරගන්නා ක්‍රීඩකයන්ට පිළිවෙළින් රුපියල් 250000 සහ 150000 දක්වා මුදල් ත්‍යාග පිරිනැමේ.

ඉන් අනතුරුව දහවන ස්ථානය දක්වා රුපියල් ලක්ෂයේ සිට රු.15000 දක්වා මුදල් ත්‍යාග පිරිනැමෙන අතර 12 වැනි වරටත් පැවැත්වෙන කාන්තා තරගයේ දෙවැනි ස්ථානයට රුපියල් හැත්තෑපන්දහසක මුදල් ත්‍යාගයක්ද, තුන්වැනි ස්ථානයට රුපියල් පනස්දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මීට අමතරව මෙවරත් ස්ප්‍රින්ට් ශූරතා සහ කණ්ඩායම් ශූරතා ද පිරිනැමෙන බව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වැඩ බලන සභාපති ගෲප් කපිතාන් රංග පෙරේරා මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනැමීම ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (4 වැනිදා) පස්වරුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුර පරිශ්‍රයේදී පැවැත්වෙයි. මෙවර තරගය ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද නියමිතය. පළමුවරට නිපෝන් පේන්ට් ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ සම අනුග්‍රාහක ලෙස අබාන්ස් සමාගම කටයුතු කරයි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment