දුර නොබලා ළඟ බලන්න අවසන් හතරට යන හැටි ගැන මුරලි කියයි

597

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යෑමට නම් එකවර අවසන් පූර්ව තරග පිළිබඳව අවධානය යොමු නොකර තරගයෙන් තරගය ජය ගෙන ඉදිරියට යෑමට සැලසුම් සකස් කිරීම වඩාත් උචිත බව හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පැවසීය.

අවසන් පූර්ව තරගය පිළිබඳව එක එල්ලේ අවධානය යොමු කිරීම අනවශ්‍ය පීඩනයක් කණ්ඩායම මතට එකතු කර ගැනීමක් බවත් එය ශ්‍රී ලංකාවට හිත සුව පිණිස නොවන බවත් මුරලිදරන් ප්‍රකාශ කළේය.

යුනිසෙෆ් සංචිධානය මගින් ක්‍රියාත්මක කෙරෙන “ළමයින් වෙනුවෙන් දිනයක් ව්‍යාප්ත කිරීමේ වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවර ලෝක කුසලාන තරගාවලියට එක් වෙමින් සිටියදී ලොව වැඩිම කඩුලු ලාභී මුරලිදරන් ඒ බව පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ආරම්භයට පෙර දිනයේ එනම් පෙරේදා (29 වැනිදා) හවස පූනේ මහාරාස්ට්‍ර ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් හමුවේ එම අදහස් දැක්වූ මුරලිදරන් එහිදී තවදුරටත් මෙසේද පැවසීය.

“අපි අනවශ්‍ය පීඩනයක් දා ගන්න හොඳ නැහැ. ඒ වගේම අපිට තවමත් අවස්ථාව තියෙනවා අවසන් 4 ට යන්න. හැබැයි අමාරුයි. ඉන්දියාව ලකුණු 12 ක් ලබා ගෙන තියෙනවා. දකුණු අප්‍රිකාව 10 ක් අර ගෙන තියෙනවා. ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තයටත් ලකුණු 8 බැගින් තිබෙනවා. ඒ නිසා අපි ඉතිරි තරග 4 ම වගේ දිනන්න ඕනා. තරග තුනක් පමණක් දිනනවා නම් ඒ තරග තුන හොඳ ලකුණු ලබා ගැනීමේ වේගයක් සමඟ දිනන්න ඕනා. නැත්නම් අවසන් හතරට එන්න අමාරුයි. ඒක අපි අවබෝධ කර ගෙන ක්‍රීඩා කරන්න ඕනා. මුලින් අපි පරාද වුණා. ඒත් එංගලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිව ජයග්‍රහණය කළා. එය හොඳ තත්ත්වයක්. අපි එය පවත්වා ගෙන යා යුතුයි. අපි දැන් මානසික මට්ටමෙනුත් ඉහළ ඉන්නවා.

ඇෆ්ගනිස්තානයත් හොඳට දැන් තරග කරනවා. මේ හැම දෙකක් ගැනම අවබෝධයෙන් අපි යන්න ඕනා.”
කුෂාන් සුබසිංහ පූනේ නුවර මහාරාස්ට්‍ර ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment