වර්ජනය අතරේ වැඩට යන විට මහියංගණය ජාතික පාසලේ නි.විදුහල්පතිගේ මේසෙයි පුටුවයි උස්සලා

581

මහියංගණ ජාතික පාසලට අනුයුක්තව සේවය කරන, ජාතික නිදහස් ගුරු සංගම් සභාපති, නියෝජ්‍ය විදුහල්පති සුදන්ත රත්නායක මහතාගේ නිල මේසය හා පුටුව ඊයේ (01 දා) උදෑසන, ඔහු සේවයට පැමිණෙන අවස්ථාවේදී විදුහල්පති කාර්යාලයෙන් අස්ථාන ගත කර ඇති බව පවසමින් ඊයේ දහවල් මහියංගණ පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

ගුරු සංගම් සභාපති සුදන්ත රත්නායක මහතා පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“අද ලංකාව පුරා රාජ්‍ය සේවයේ වර්ජනයක්. හැබැයි රාජ්‍ය සේවකයා මේ වෙලාවේ වගකීමකින් වැඩ කරන්න වෙන වෙලාවක් නිසා අපේ වෘත්තීය සංගමය අද වර්ජනයට සහයෝගය පළ කළේ නෑ. අපේ සංගමයේ සියලුම සාමාජිකයන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කළා. ජාතික ගුරු සංගමයේ සභාපති විදියට මමත් අද උදෑසන සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළා.

මම මහියංගණ ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති විදියට වැඩ කරන්නේ. මම වැඩට එනකොට මගේ නිල මේසයයි පුටුවයි දෙකම අස්ථානගත වෙලා, කිසිවෙක් දන්නේ නෑ. මේ වගේ බාල ක්‍රියා වර්ජනය අතර සිදු කරන අය අවසානයේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ. මෙයා කොහොමද රටක් පාලනය කරන්නේ. මේක හරිම කනගාටුදායක සිද්ධියක්. මේ සිද්ධිය පිටිපස්සේ මේ වර්ජන ක්‍රියාවලියත් එක්ක බැඳුණු යම් ක්‍රියාවලියක් ඇති කියලා මම විශ්වාස කරනවා.

මගේ රාජකාරි ලිපි ලේඛන යම් ප්‍රමාණයක් හා මගේ නිල මුද්‍රාව මේවන විට අස්ථානගත වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේ මම පොලිසියට පැමිණිල්ලක් කළා. මම අවුරුදු එකහමාරක් පමණ මහියංගණ ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරනවා. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරු හතරදෙනෙක් ඉන්නවා. මගේම මේසයයි පුටුවයි නැතිවෙන්න විශේෂ හේතුවක් නෑ. මගේ මේසය කියන්නේ තනියම කෙනෙකුට උස්සගෙන යන්න පුළුවන් එකකුත් නෙවෙයි. හතර දෙනෙක්වත් ඕනෑ මේසය උස්සගෙන යන්න. ඒ නිසාමයි මේක සංවිධානාත්මකව සිදු කරලා තියෙනවා කියලා මම කියන්නේ” යැයි පැවසීය.

වැඩිදුර විමර්ශන කටයුතු මහියංගණ පොලිසිය විසින් සිදු කරනු ලැබේ.
මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment