පැජට් පාරේ නිවස මෛත්‍රීට දුන් කැබිනට් තීරණය බල රහිත කෙරේ

219

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පරිහරණය කළ කොළඹ පැජට් පාරේ පිහිටි නිවස ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසුවත් පරිහරණය සඳහා ඉඩකඩ සලසමින් නිකුත් කර තිබූ කැබිනට් මණ්ඩල තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29දා) තීන්දුවක් නිකුත් කළේය.

කැබිනට් මණ්ඩලය 2019.10.15 වැනිදා එකී කැබිනට් තීරණය ගෙන ඇත්තේ වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් සිටියදීම බවට ඉදිරිපත් වූ ලේඛන හා සාක්ෂි අනුව තම අධිකරණයට සනාථ වී ඇතැයි පෙන්වාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත ජයවර්ධන මහතා එම ක්‍රියාව ස්වභාව යුක්ති ධර්මයට පටහැනි ක්‍රියාවක් වන්නේ යැයිද පැවසීය.

ගාමිණී අමරසේකර සහ කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරු දෙපළගේ එකඟත්වය ඇතිව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ අතර නීතිඥ කීර්ති තිලකරත්න, සයිඩා වාරි, පුලස්ති රූපසිංහ හා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

එම පෙත්සම් 2022 මාර්තු 29 වැනිදා කැඳවූ අවස්ථාවේදී පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදුන් ප්‍රීතිපද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගය අවසන් වනතුරු කැබිනට් මණ්ඩලයේ එකී තීරණය අනුව කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි. එදින සිට සති හතරක කාලයක් ඇතුළත එම නිවසින් පිටව යායුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය එදින හිටපු ජනාධිපතිවරයාට නියෝග කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment