උ/පෙළ ශිෂ්‍යත්ව අයැදුම්පත් හෙටින් අවසන්

49

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයැදුම්පත් භාර ගැනීම හෙටින් (22 දා) අවසන් වන බව ජනාධිපති අරමුදල පවසයි.

වලංගු කාල සීමාව නැවත දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බැවින් නියමිත දිනට හෝ ඊට පෙර අයැදුම්පත් භාර දෙන ලෙස සුදුසුකම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් උපදෙස් පරිදි එම අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 01 සිට ආරම්භ කෙරිණි.

ඒ අනුව දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතය.

2022(2023) වර්ෂයේ දී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු /ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සැලකේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර, ජනාධිපති ලේකම් කාර්යාලයේ presidentsoffice.gov.lk ජනාධිපති අරමුදලේ presidentsfund.gov.lk සහ ජනාධිපති මාධ්‍ය අංශයේ pmd.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment