දරුවා පෙර පාසලට ඇරලවා එද්දී රජරට රැජිනගේ ගැටුණු ත්‍රිරෝදයේ රියැදුරු හා රුසියන් කත මරුට

521

බෙලිඅත්ත සිට වවුනියාව ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ උණවටුන, මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් රුසියානු ජාතික කාන්තාවක් සහ ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

ඊයේ (01 දා) පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත. ත්‍රිරෝද රථය දුම්රියේ ගැටීමත් සමඟ එය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බැව් පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ඩයරියා නමැති රුසියානු ජාතික කාන්තාවක් සහ ත්‍රිරෝද රථයේ රියැදුරු වන ගිංතොට පරණවිතානගේ සරත් නානායක්කාර (60) නමැති හපුගල රත්නගිරි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදේශීය කත තම දරුවා පෙර පාසලට ඇරලවා ආපසු උණවටුන ප්‍රදේශයට ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. මෙකී දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය අක්‍රීය වී ඇති අතර ඒ බව දැන්වීමක් ප්‍රදර්ශනය කර ජනතාව දැනුවත් කොට තිබුණි. හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.
ලලිත් චාමින්ද සහ ලලිත් කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment