සිනමාහල් වැහිලා දේපොළ විකුණන්න වෙලා

378

මේ රටේ සිනමාව කියන්නේ අනාථ දරුවෙක්… – චිත‍්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය

කොවිඞ්-19 වසංගතයේ තුන්වැනි රැුල්ලේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග මෙරට සිනමා ශාලා වසා දැමූ බව අමුතුවෙන් කිවයුතු කරුණක් නම් නොවේ. නමුත් මේ නිසා වර්තමානයේ සිංහල සිනමාව ලොකු අර්බුදයකට මුහුණදී තිබේ. විශේෂයෙන් වත්මන් සිනමාව රඳා පවතින්නනම් ඒ සඳහා නිෂ්පාදකවරුන් රැුක ගැනීම අද අපට ඇති ලොකුම අභියෝගයකි. ඇත්තටම වර්තමානයේ අපේ රටේ නිෂ්පාදකවරුන්ට අත්වන ඉරණම ගැන දැනගන්න අපි චිත‍්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය ඇමතුවා.

 * මේ වසංගතය හමුවේ සිනමා කර්මාන්තය මුහුණ දී ඇති අර්බුදය ජයගන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? නිෂ්පාදිකාවක් විදිහට ඒ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද?

 ලෝකයේ කොවිඞ් ප‍්‍රශ්නයට මුහුණ දුන්න බොහෝ රටවල සිනමා කර්මාන්තය විධිමත් විදිහට පැවතුණා. විශේෂයෙන් හොලිවුඞ්, බොලිවුඞ්, කොලිවුඞ් සිනමා කර්මාන්ත ප‍්‍රායෝගිකව කර්මාන්තයක් විදියට ස්ථාපිත වෙලයි තිබුණේ. නමුත් ලංකාවේ කොවිඞ් ප‍්‍රශ්නය එනකොටත් සිනමාවේ අපිට හරියට ප‍්‍රශ්න තිබුණා. කොරෝනාවලට කලින් අපි හැම තිස්සේම උත්සාහ කළේ ඒ ප‍්‍රශ්නවලට උත්තර හොයන්න. කොරේ පිටට මරේ කියලා ඒ අස්සේ කොවිඞ් ආවට පස්සේ නැවත සිනමාවක් ගොඩනඟන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බැරිවුණා. ප‍්‍රදර්ශකයන්ගේ පැත්තෙන් බැලූවත් නිෂ්පාදකවරුන්ගේ පැත්තෙන් බැලූවත් විශාල අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා.

 සිනමාව කියන්නේ පේ‍්‍රක්‍ෂකයා මත බැඳෙන කර්මාන්තයක්.

 * අද වෙනකොට මේ කර්මාන්තයට පේ‍්‍රක්‍ෂකයා රැුඳේවි කියලා විශ්වාසයක් තියෙනවාද?

 නැහැ. මම හිතනවා අපේ රටේ මිනිස්සුන්ගෙත් මනස හදාගන්න සෑහෙන කාලයක් යාවි කියලා. මොකද මිනිස්සු හරි බයකින්නේ ජීවත් වෙන්නේ.

 * රේණුකා බාලසූරිය චිත‍්‍රපට නිෂ්පාදනයෙන් ඉවත් වෙලාද?

 ඉවත්වෙලා නෑ සුනාමි චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කළේ සිංහබාහු පටන් ගන්න හිතාගෙන. 2020 අගෝස්තු මාසයේ සිංහබාහු රූගත කරන්න සැලසුම් කරලා තිබුණේ. සාමාන්‍යයෙන් මාස හතරක් පහක් අපේ චිත‍්‍රපටයක් දුවනවා. නමුත් මේ කොවිඞ් ප‍්‍රශ්නයත් එක්කලා සුනාමි මග නතරවීම තුළ සුනාමි නිෂ්පාදනයට වියදම් කළ සල්ලි හම්බ වුණේ නැහැ.

 * ඇත්තටම සුනාමි චිත‍්‍රපටයට කොපමණ මුදලක් වියදම් කළාද?

 සුනාමි චිත‍්‍රපටයේ ප‍්‍රචාරණයට විතරක් ලක්‍ෂ දෙසිය තිස් ගණනක් වියදම් කරලා තියෙනවා. එතකොට චිත‍්‍රපටය හදන්න ලක්‍ෂ එක්දහස් එකසිය දහතුනක් වියදම් කළා. ඒ කියන්නේ අපි මිලියන 113 ක් චිත‍්‍රපටය හදන්න වියදම් කරලා තියෙනවා.

 * කොරෝනා වසංගතයට සුනාමි චිත‍්‍රපටය හසුවුණ නිසා කොච්චර ආදායමක් ලබන්න පුළුවන් වුණාද?

 සිනමාහල් වහනකොට සුනාමි චිත‍්‍රපටයෙන් ලක්‍ෂ දාහකට ආසන්න මුදලක් උපයලා තිබුණා. සාමාන්‍යයෙන් චිත‍්‍රපයක් මුදාහැරලා මාස දෙකකට විතර පස්සේනේ චිත‍්‍රපටයේ ආදායම එකතු කරන්නේ. සාමාන්‍යයෙන් චිත‍්‍රපටයක් මුදාහැරියට රෝලක් තමයි යන්නේ. අද මිනිස්සු චිත‍්‍රපට සල්ලි දීලා බැලූවම හෙට නිෂ්පාදකවරුන්ට සල්ලි හම්බවෙන්නේ නැහැ. ගිවිසුමට අනුව අඩුම තරමේ මාස 2 කට පස්සේ තමයි අපිට සල්ලි ගෙවන්න තිබුණේ.

 * සුනාමි චිත‍්‍රපටය හින්දා මේ වෙනකොට කොපමණ මුදලක් ඔබලාට අහිමිවෙලා තියෙනවාද?

 චිත‍්‍රපටය් සම්පූර්ණ ආදායමෙන් තුනෙන් එකක් තමයි නිෂ්පාදකයට ලැබෙන්නේ. චිත‍්‍රපටයේ මගේ වියදම පියවෙන්න ලක්‍ෂ දාහක මුදලක් ලැබෙන්න ඕනෑ. ඇත්තටම චිත‍්‍රපටය කරදරයක් නැතිව මාස තුනක් හතරක් දුවාගත්තා නම් කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ.

සිනමාහල් වැහිලා දේපොළ විකුණන්න වෙලා



 * සිනමා කර්මාන්තය යළි ආරම්භ කළත් චිත‍්‍රපට පෙන්වන්න හෝල් තියෙනාවද කියන ප‍්‍රශ්නයත් අද වෙනකොට ප‍්‍රශ්නයක් නේද?

 ඔව්. දැන් සිනමාහල් ගොඩක් වැහිලා. දෛනිකව සිනමා ශාලාවකට ලොකු වියදමක් යනවා. අපි මේක කර්මාන්තයක් කියලා කිව්වාට කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා නැහැ. මේ නිසා කර්මාන්තවලට දෙන පහසුකම් සිනමා හල්වලට ලැබෙන්නේ නෑ. උදාහරණයක් විදිහට විදුලි බිලට කර්මාන්තවලට දෙන පහසුව සිනමාවට නැහැ. හෝල් එකක් අරලා චිත‍්‍රපටයක් දෙන්නෙක් බැලූවත් ලොකු වියදමක් දරන්න ඕනෑ. මේ තත්ත්වය යටතේ සිනමාහල් විවෘත කරලා තබන්න බැහැ. මේ රටේ සිනමාව කියන්නේ ඇත්තටම අනාථ දරුවෙක් වගේ තමයි.

 * මේ නිසා නිෂ්පාදිකාවක් විදිහට ඔබ ඉන්නේ කලකිරීමෙන්ද? නැත්නම් වෙනත් ක්‍ෂේත‍්‍රයකට යොමුවෙන්නද කල්පනාව?

 දැන් අපිට කවුරු මැදිහත්වෙලාවත් පේ‍්‍රක්‍ෂකාගාරය වර්ධනය කර ගන්නවා කියන ප‍්‍රශ්නය විසඳගන්න හරි අමාරුයි. වෙළෙඳපොළ තමයි චිත‍්‍රපටයක තත්ත්වය තීරණය කරන්නේ. වෙළෙඳපොළ ගණනය කරන්නේ නැතිව චිත‍්‍රපට හැදුවොත් කවදාකවත් ගොඩගන්න බැහැ. මොන තරම් ඉහළ චිත‍්‍රපටයක් හැදුවත් සිනමාහල් පහක දහයක දාලා ගොඩ එන්න බැහැ. දැන්වීම්වලට යන වියදමවත් අද හෝල්වලින් හොයාගන්න බැහැ.

 * ඔබලා මේ ගැන රජය හෝ චිත‍්‍රපට සංස්ථාව සමග කතාබහ කළේ නැතිද?

 මේ සංසාරෙම කරන්නේ කතා කරන එකනේ. ඒ කතා කරන කොට ඒ වෙලාවට ආවම මේ ප‍්‍රශ්නය හරියාකාරව හැඳිනගෙන නැහැනේ. මේක ව්‍යාපාරයක්. සිනමාවත් කලාවක් තමයි. නමුත් ව්‍යාපාරයක් ලංකාවේ වෙන කිසිම කලාවක් සංස්ථාවක් හෝ ආයතනයකින් පාලනය කරන්නේ නැහැ. නාට්‍යවලට, සංගීතයට, නැටුම් චිත‍්‍රවලට නැහැනේ. සිනමාව විතරනේ සංස්ථාවක් කියල එකක් තියෙන්නේ. සිනමාව තමයි තියෙන හැම එකකින්ම අතිශයින්ම වියදම් යන කලාව. මේක කලාවක් නෙමෙයි. ව්‍යාපාරයක්. සිනමා ශාලා පෞද්ගලිකයි. චිත‍්‍රපට හදන නිෂ්පාදකයෝ තමන්ගේ පෞද්ගලික ධනය තමයි වියදම් කරන්නේ. ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැහැනේ චිත‍්‍රපට හදපල්ල කියලා. එතකොට මේක පාලනය කරන්නේ රජය.

 * හැබැයි පසුගිය කාලයේ නිෂ්පාදකවරුන්ට රජයේ ණය සහන හෝ විවිධ සහන ලබාදෙනවා කියලා මාධ්‍යවල පළවුණා නේද?

 කෝ ඒවා. වචන විතරයිනේ. කොතැනකවත් ඒවා කෙටුම්පත්වෙලා නීතිගත වෙලා කාටවත් ලැබිලා නැහැනේ. තවම වචන විතරයිනේ.

 * රේණුකා බාලසූරියගේ චිත‍්‍රපට නිෂ්පාදනවලට ඇත්තටම මොකද වෙන්නේ?

 සුනාමි චිත‍්‍රපටය හදා ගන්න මම බැංකු ණය ගත්තේ අපේ නිශ්චල චංචල දේපොළ තියලා. මම මේ දවස්වල උත්සාහ කරන්නේ අපේ ඉඩකඩම් විකුණන්න. විකුණලා ණය ගෙවලා ආපහු වෙන කොතැනකින් හරි පටන් ගන්න. හේතුව අපේ ගත්තු ණයවලත් පොළී එකතුවෙනවා විතරයිනේ වෙන්නේ. කිසිම සහනයක් කියල දෙයක් නැහැනේ. මේවා මෙහෙම තිබුණොත් මගේ ණය බර වැඩිවෙනවා. දැන් මම උත්සාහ කරන්නේ තියෙන ඉඩකඩම් විකුණලා හරි ණය ගෙවලා ඊට පස්සේ තමයි උත්සාහ කරන්නේ මෙතැනින් එහාට චිත‍්‍රපට හදනවාද කියලා.

 මම චිත‍්‍රපට හදන්න ආසයි. සිනමාවෙන් ලැබෙන තෘප්තිය වෙන කිසිම දෙයකින් මනින්න බැහැ. නැවත චිත‍්‍රපට හදන්න ඕනෑ. ඒවා සිනමාහල්වල පෙන්වන චිත‍්‍රපට වෙයිද වෙන මාධ්‍යකටද කියන්න දන්නේ නැහැ. ලංකාවටද කොහොටද කියන එකත් අදාළ වෙන්නේ නැහැ. නමුත් චිත‍්‍රපට හදනවා.

  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment