රටම දියුණු වුණත් සුද්දගේ කාලයේ ඉඳලා මතුගම කන්දට වතුර නෑ

316

මතුගම නගරයේ උස් ගමට අපි ගියෙමු. ඒ විසල් ගල් කන්දක් මත පිහිටි මතුගම කන්දේ සොබාසෞන්දර්ය අකුරු කිරීමට නොවේ. එම ගම කෙළවරක පිහිටි විසල් කොඩි ගලට නැඟ මතුගම නගරය විනිවිද දැකගැනීමට ද නොවේ. පරම්පරා දෙකකටත් වැඩි කාලයක් වතුර නැතිව අප‍්‍රමාණ දුක්විඳින  එගම්වාසීන්ගේ දුක වචන කිරීමටය.

 පිපාසිත ඒ මිනිසුන් සොයා යන ගමන ද තරමක් අසීරුය. ගමට යන ප‍්‍රධාන මාර්ග දෙකම දුෂ්කරය. මතුගම, නෑබඩ මාර්ගයේ දෙහිගස්මුල්ල දෙසින් මතුගම කන්දට ගමන් කිරීම තරමක් පහසුය. එහෙත් බෑවුමේ සිට කඳු මුදුනට යනෙන විට ගමන් කිරීමට අසීරු තරමට මාර්ගය කඩතොලූ වූ ස්ථාන බොහෝය. මාර්ගය කැඞී බිඳී, සෝදාගෙන ගිය ඇතැම් ස්ථානවලින් ගමන් කරන වාහනයක රෝදයක් ලිස්සා ගියොත් නතර වෙන්නේ හොරකඳමුල්ල තැනිතලාවේය. ගල් ගෙඩි මතට වැටෙන වාහනය පහළට පතබෑවෙන විටම එහි ගමන් කරන්නන්ගේ ජීවන ගමන ද නතර වන බව ඒකාන්තය. අප ගමන් ගත් ත‍්‍රිරෝද රථය කෙඳිරි ගාමින් ඉහළට නඟින විට මගේ දෑස් කඳු බෑවුමේ හොරකඳමුල්ල තැනිතලාවට දිව ගියේය.

රටම දියුණු වුණත් සුද්දගේ කාලයේ ඉඳලා මතුගම කන්දට වතුර නෑ


‘‘අර පේන ළිඳට තමයි මේ කන්දේ සමහර මිනිස්සු නාන්න යන්නෙ. කිලෝ මීටරයක් විතර යන්න ඕනෑ. නාලා කන්ද නඟිනකොට දහදියත් නාලා…’’ එගම්වාසියකු වන දුලන්ත වික‍්‍රමනායක පහළ තැනිතලාවේ ලඳු කැලෑවෙන් වට වූ ළිඳක් දෙසට වමත දිගු කළේය. ළිඳේ තරම නොපෙනුනාට, ගමනෙ දුර පෙනෙන විට හද පත්ලෙ ඇති වූ කම්පනය දිගු සුසුමකින් පිට විය.

රටම දියුණු වුණත් සුද්දගේ කාලයේ ඉඳලා මතුගම කන්දට වතුර නෑ

කළුතර දිස්ත‍්‍රික්කයේ, මතුගම ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයේ, 805 බී, උතුර ග‍්‍රාම සේවා කොට්ඨාසයේ පිහිටි මතුගම කන්දෙ පදිංචි පවුල් අනූවකට ආසන්නය. ජීවත්වන ඉඩම හැරෙන්නට වතු පිටි, හාරක බාන, මහා විශාල ආදායම් මාර්ග ඇති එකදු පවුලක්වත් ඒ ගමේ ජීවත් නොවන බව දුලන්ත කියන විට කළ, මුට්ටි, බැරැුල් ගොන්නක් ළඟ ත‍්‍රිරෝද රථය නතර විණි. මහ කන්ද බෑවුමේ තිරිංග තද වන ශබ්දයට වැඩ නිමා නොකළ පුංචි නිවස තුළින් කාන්තාවක් එළියට පැමිණියාය.

 ‘‘නංගි මේ වතුර ගේන්නේ කොහෙන්ද…’’ දිග ගවුමක් ඇඳ සිටි හීන්දෑරි ඇයට ඒ පැනය යොමු කළේ දුලන්තය.

 ‘‘පහළින් අයියේ… කිලෝ මීටරයක් විතර පහළ ගුරුදල පාර අයිනේ ටැප් එකෙන් තමයි මේ වතුර ගෙන්නේ. වතුර ටිකක් නා ගන්න තවත් ඈතට යන්න ඕනෑ. වතුර ඇදලා මහන්සියට ගෙට ගිහින් ටිකක් වාඩිගෙන හිටියා…’’ වග විභාගයකින් තොරව කටකාර ලෙස ඇය පිළිතුරු ලබා දුන්නේ සවනේ රැුඳුනේ හුරුපුරුදු හඬක් වූ බැවිනි.

 ඇය සුජානිය. ප‍්‍රදේශයේ ඇඟලූම් ආයතනයක රැුකියාව කරන ඇය විවාහකය. වැඩ මුරය අවසන් කොට සවස නිවසට පැමිණෙන විටම පහළ පොදු ළිඳෙන් දිය නාගෙන, ඇඳුම් කැඩුම් ද සෝදාගෙන එන බව ඇය අපට කීවේ හැඬුම්බරය.

 ‘‘කන්ද උඩ නළ ළිඳට යනවට වඩා පහළ ටැප් එකෙන් වතුර ගන්න එක අපිට පහසුයි. වැසිකිළියට යන්න, සෝදන ඒවට ටැංකියක් තියලා වැහි වතුර පුරව ගන්නවා. ඒකත් වැස්සොත් විතරයි. වහින්නෙ නැති දවස්වලට ඒවට අවශ්‍ය වතුරත් පහළින්ම අදින්න ඕනෑ. වහිනවට මේ කන්දේ මිනිස්සු හරිම ආසයි. අපි හරියට ගෙම්බො වගෙයි. මේක මහ කරුමයක්. මොනව නැති වුණත් කමක් නෑ, වතුර ටිකක් දෙනවා නම් ඒ ඇති…’’ දෙතුන් ගමනක් පහළ සිට වතුර කළ ගෙඩි උස්සාගෙන කන්ද නැඟි ඇය දැඩි සේ වෙහෙසට පත් වී සිටින බව පෙනේ. වතුර ගැන තවත් කතා කර විඩාබර ඇය දුකට පත් කිරීමට මගේ සිත මැලි විය. එහෙයින් ගමටම ඇති එකම නළ ළිඳ සොයාගෙන අපි තවත් කඳු මුදුන තරණය කළෙමු.

 සුජානිලාගේ නිවස ළඟ සිට කන්ද මුදුනේ නළ ළිඳ අසලට තවත් කිලෝ මීටරයක් පමණ දුර ය. වක ගැසුණු මඟ දිගේ ත‍්‍රිරෝද රථය ඉහළට ඇදේ. මගේ සිත මතුගම කන්දේ ඉතිහාසයට දිව ගියේය. එක්දාස් අටසීය ගණන්වල මුඩුබිම් පනත යටතේ ලන්දේසීන්ට සේවය කළ පුද්ගලයන්ට ඉඩම් අක්කර ගණන් බෙදාදුන් බව ඉතිහාසයේ සඳහන්ය. ඒ අනුව මතුගම ගමට ලියැවුණු තෝම්බුව යටතේ මතුගම කන්ද, පෙත්තකන්ද ඇතුළුව කුඹුරු ඉඩම් රාශියක් රාජකාරි සේවය යටතේ මුණසිංහ පරම්පරාවට ලබා දී ඇත. ඉංග‍්‍රීසින් මෙරට ආක‍්‍රමණය කිරීමත් සමඟ මුඩුබිම් පනතට අයත් ඉඩම් අත්පත් කරගෙන ‘ලංකා මැනුම’ යටතේ මෙරට සියලූ ඉඩම් මැනුම් කටයුතු කර ඇති බවද ඉතිහාසයේ සඳහන්ය. එම ලංකා මැනුමේදී සීමා මායිම් සලකුණු කළ ස්ථානවල කොඩියක් ලකුණු කර තිබිණි. මතුගම කන්දේ ඇති කොඩි ගල ද එදා ලංකා මැනුම යටතේ මායිම් සලකුණු කර ඇති ස්ථානයකි. එමෙන්ම පසුකාලීනව 1956 බණ්ඩාරනායක ආණ්ඩු පෙරළියත් සමඟ පිබිඳුණු සිංහල මිනිස්සු අසීමිත නිදහස තුළ කැලෑ ඉඩම් එළිපෙහෙළි කරමින් වගා සංග‍්‍රාමය ආරම්භ කළහ. මතුගම මෙන්ම පිට පළාත්වලින් පැමිණි පිරිස් මතුගම කන්දත් එළිපෙහළි කරමින් පැල්පත් අටවාගෙන පදිංචි වී තිබිණි. එකල මතුගම කන්ද මුදුනේ සිට දිය පාරවල් දෙකක් පහළට ගලා බැස ඇත. නෑබඩ පාරේ පීල්ල එකකි. අනිත් දිය පාර ද නෑබඩ පාරේ වෙනත් ස්ථානකින් ගලා බසින බවත්, වැසි කාලයට එම දිය පාරවල් අදටත් ගලන බව ප‍්‍රදේශයේ පුරාවෘත්තයක් බදු දැනමුත්තෙක් අපට පැවසුවේය. එහෙත් මතුගම කන්දේ පදිංචිකරුවන් කියන විදිහට ගමට ඇති එකම නළ ළිඳ අඩි එකසීය හැත්තෑ අටක් ජඹුරය. දුෂ්කර මඟ ගෙවාගෙන පැමිණි අපි දැන් සිටිනුයේ මතුගම කන්දට තිබෙන එකම නළ ළිඳ අසලය.

 කඳු බෑවුමක, රුක් සෙවන යට පිහිටි නළ ළිඳ ස්ථාපිත කර විවෘත කර ඇත්තේ 2007 ජූලි මාස 30 වැනිදාය. පරම්පරා දෙකකටත් වැඩි මතුගම කන්දේ ජල ගැටලූවට එසේ හෝ විසඳුමක් ලබාදීමට කටයුතු කර ඇත්තේ එවකට මතුගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි අතුල මද්දුමගේ මහතාය. මතුගම කන්ද ජනතාවගේ ‘පිපාසිත දුක’ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වූ අතුල මද්දුමගේ හැර කළුතර දිස්ත‍්‍රික්කයේ වෙනත් කිසිදු දේශපාලනඥයෙක් නොදැකීම අපට මහ පුදුමයකි. පපු කැවුතු ගලවා දෙන ගානට ජන දුක හමුවේ සංවේදී වන ජනතා හිතවාදී දේශපාලනඥයන් සිටින කළුතර දිස්ත‍්‍රික්කයේ මෙවැනි ගැටලූ තිබීම ඒ උත්තමයන්ට ද අපහාසයක් බව හැෙඟන විට මගේ සිත පංචස්ථාප විය.

 ‘‘මේ අපේ උපන් ගම. දැන් මට අවුරුදු හතළිස් හතයි. කසාද බැඳලා ලොකු දරුවොත් තුන්දෙනෙක් ඉන්නවා. අපි පුංචි කාලෙ ඉඳලම වතුර නැතිව අප‍්‍රමාණ දුක් වින්දා. කිලෝ මීටර් ගණන් හොරකඳමුල්ලට, දෙහිගස්මුල්ලට, පීල්ල මාවතට පයින් ගිහිල්ලා ටින්වලට වතුර අරගෙන ඇවිත් තමයි අවශ්‍යතා ඉටු කරගත්තේ. ඒ කාලේ මේ ගමට හරියට පාරක්වත් තිබුණේ නෑ. ගලින්, ගලට පැන, පැන තමයි පහළට ගියේ. 1993 අවුරුද්දේ තමයි ගමට පාර කැපුණේ. නළ ළිඳ හැදුවේ 2007 අවුරුද්දෙ. මේ නළ ළිඳ තියෙන නිසා දැන් නම් පුංචි සැනසීමක් තියෙනවා. ඒත් ටැප් එකක් ඇරලා වතුර ටිකක් අරගෙන බොන්න, බාත්රූම් එකක් ඇතුළේ ෂවර් එකකින් නාලා, ඉතුරු අවශ්‍යතා පහසුවට කරගන්න ඕනෑම මනුස්සයෙක් කැමතියි. ඒ සිහිනය අවුරුදු හතළිහකට වැඩි කාලයක් අපිත් දැක්කා. ඡුන්දේ කාලේට අපේක්‍ෂකයො ඇවිත් මහමෙරක් පොරොන්දු දීලා අපිව සිහිනවල ගිල්ලවලා ගියා. අන්තිමේ අපි දැකලා තියෙන්නෙ දවල් සිහින බව තේරුම් ගියේ ඡුන්දය ඉවර වෙලා ටික කාලයක් යනකොට. තවත් නම් ඡුන්ද කොල්ලකන්නන්ගේ වහසි බස්වලට මේ කන්දේ මිනිස්සු රැුවටෙන්නෙ නෑ. බොහොම කරුණාවෙන් කියන්නේ ඡුන්දෙ කාලෙට අපේ මනාපය ඉල්ලගෙන මේ කන්දට එන්නත් එපා…’’ ජල දුක වචන කළ දීපා කුමාරසිංහගේ මුහුණ ලේ පැහැගැන්වී, හඬ උස්වන විට මගේ සිත රතුපස්වලට ගියේය. රතුපස්වල, හංවැල්ලේ ගම්

 ගිනිගත්තේ, මිනිස්සු වෙඩි කා මහ මඟ මැරී වැටුණේ ජලයෙන් උපන් ප‍්‍රශ්න ගිනිගෙනය. ජලය නිසා හටගන්නා ගිනි අතිශය දරුණුය. මතුගම කන්දේ පදිංචිකරුවන්ට ද කළුතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය, දැනටත් සිටින ජනතා නියෝජිතයින් සහ පළාත් සභා, ප‍්‍රාදේශීය සභා දේශපාලනඥයන් සම්බන්ධයෙන් ඇත්තේ දැඩි කලකිරීමකි. දීපාගේ ගිනියම් හඬට තවත්  ගැහැනු හඬවල් දෙකක් එකතු විය.

 ‘‘මේ නළ ළිඳ හදලා තියෙන්නේ අපේ වත්තක. මුළු කන්දෙන්ම වතුර තිබුණේ මෙතැන විතරයි. පහළ වෙල් මට්ටමට ළිඳ හාරලා තියෙනවා. ඒත් මේ නළ ළිඳේ හොඳට වතුර එන්නේ වහින කාලයට විතරයි. පෑවිල්ල කාලයට මේ යකඩ අත කොච්චර උඩට උස්සලා පහත් කළත් වතුර එන්නෙ කිතුල් මලකින් තෙල්දිය වෑහෙන ගානටයි. වතුර කලයක් පිරෙන්න මහා වේලාවක් යනවා. ඒ වගේම කන්දෙ මිනිස්සු පහළ ළිංවලට නාන්න එනවට ඒ ගම්වල මිනිස්සු කැමති නෑ. මිනිස්සුන්ගේ ඇනුම් පද අහමින් ඒ ළිංවලට අපි යන්නේ වෙන කරන්න දෙයක් නැතිකමට. වතුර ටිකක් නා ගන්න තැනක් නැතිකමට…’’ ඒ හඬ නළ ළිඳ ආසන්නයේම ජීවත් වන මාලා නිලන්තිගේය. වයස අවුරුදු හතළිස් හයක් වන ඇය දෙදරු මවකි. ඇයගේ කතාවට ගමේ තවත් කාන්තාවක් මෙසේ එකතු විය.

 ‘‘උදේට, සවසට වතුර කළ තියාගෙන මිනිස්සු පෝලිමේ බලාගෙන ඉන්නවා. සමහර දවසට වතුර ගන්න පාන්දර දෙකට, තුනට නැඟිටිනවා. උදේ අපි රස්සාවට යන්න දුක් විඳින්නෙ දරුවන්ට කෑම හදලා තියලා යන්න නෙමෙයි, ඇඟ පත සෝදගන්න වතුර ටිකක් ගන්න. ඒත් ඉතිං වතුර කළ ගෙඩියකින් හරියට ඇඟ සෝදගන්න බෑ. හොඳට වතුර ටිකක් නාගන්න නම් හැතැක්ම ගානක් පහළ ළිඳකට යන්න ඕනෑ. උදේට ඒ ළිඳකට ගිහින් නාලා ආවොත් වැඩට යන්න වෙලාවක් නෑ. ඒ නිසා සවස ගෙදර එනකොටම ළිඳට ගිහින් නාගෙන එනවා. වැඩට යන්න පටන්ගත්ත කාලේ ඉඳලා එහෙම තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. නළ ළිඳ නැති කාලේ වැඩට ගිහින් ඇවිත් කළගෙඩි උස්සගෙන මහා ?ට පහළ ළිංවලට ගෑටුවා. මේ නළ ළිඳ හදා දුන්නට අතුල මහත්තයාට දවස ගානෙ අපි පිං දෙනවා…’’ පිපාසිත කතාවට අඩු වැඩි එකතු කළ ඇය කුමාරිය. හතළිස් එක්වැනි විය පසු කරගෙන යන තිදරු මවකි. ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්තශාලාවක සේවය කරන ඇය පීඩාවිඳින ජල ගැටලූව ගැන තවත් දුක කියන්නීය.

 ‘‘මගේ ලොකු දරුවට අවුරුදු විසිතුනයි. අපේ දරුවො මේ ගමේ ඉන්න අදහසක් නෑ. එහෙම වෙලා තියෙන්නෙ වතුර නැති නිසා. වතුර ප‍්‍රශ්නය විසඳුනොත් අපිට වෙන මොකුත් ඕන නෑ. මතුගම ආනන්ද ජාතික පාසල කඳු පාමුල. ඊට එහා පැත්තෙ ටවුම. විනාඩි ගානකින් ටවුමට යන්න පුළුවන්. හූවක දුරින් පොලිසිය, රෝහල. කොඩි ගලට නැග්ගම මුළු නගරයම පේනවා. මේක සුන්දර ගමක්. අසුන්දර වෙලා තියෙන්නේ වතුර නැතිව…’’ කුමාරි ගමේ සුන්දරත්වය ගැන කතා කරන විට මගේ දෑස් වනපෙතට ඉහළින් ඈත අහසට දිව ගියේය.

 වැස්ස වලාහක දෙවියො මතුගම කන්දෙ පිපාසිත මිනිසුන්ට වතුර දෙන්න සූදානම්ය. නිලන්තිලා අහස දෙස බලා සිනාසෙන්නීය. දං පැහැයෙන් බර වී තිබෙන වලාපට ඉරී වැස්ස කඩා හැළෙන්නට පෙර මහ කන්ද බැසීම නුවනට හුරුය. මහ වැස්සට ඒ පාර දිය ඇල්ලක් වන බවට මඟ සලකුණු බොහෝය. එමෙන්ම නෑබඩ පාරෙන් මතුගම කන්දට දිවෙන මගට වඩා මතුගම නවෝද මාවතට වැටෙන මේ පාර අතිශය දුෂ්කරය.

 ‘‘අපේ ගමට ආපු පාදර් කෙනෙක් වතුර ප‍්‍රශ්නයට විසඳුමක් විදිහට තවත් නළ ළිඳක් හරි හදාගන්න කියලා ලොකු මුදලක් දීලා තිබුණා. ගමේ අපි එකතු වෙලා ප‍්‍රාදේශීය සභාවේ සහයෝගයත් ඇතිව කන්ද පාමුල, නවෝද පාර අයිනේ කිරිමැටියා ළිඳ කියලා මහා විශාල ළිඳක් කැපුවා. බෝර දාලා මහ ගල් කඩලා අඩි තිහක් විතර ගැඹුරට ළිඳ කැපුවා. ළිඳ බැඳලා මෝටර් දාලා ගමට වතුර ලයින් එක දෙන්න ලැබුණු මුදල මදි වුණා. පහුගිය ජනාධිපති මැතිවරණයේදී මතුගම බල ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්‍ෂ කෝටිපති දේශපාලනඥයෙක් අපේ ගමට ඇවිත් පෞද්ගලික වියදමෙන් හරි වතුර දෙනවා කියලා පොරොන්දු වෙලා කිරිමැටියා ළිඳේ ඉතිරි වැඩ කටයුතු බාරගෙන කළා…’’ දුලන්ත එසේ කියන විට මහා බෑවුම් බැසගෙන පැමිණි ත‍්‍රිරෝද රථය කඳු පාමුල පිහිටි කිරිමැටියා ළිඳ අසල නතර විය.

 ‘‘මේක ජල පෝෂිත ප‍්‍රදේශයක්. ඒ වගේම මේ ළිඳ මීට වඩා මහා පළලට කැපුවා. කට පෙත්තටම වතුරත් තිබුණා…’’ දෙපැත්තකින් කඳු ගැටවලට මායිම්ව මේ වන විට වල් වැදී තිබෙන ළිඳ අවට දිය සිරාව තිබෙන බව පෙනේ. එහෙත් දුලන්ත කියන විශාල බවක් නම් ඒ ළිඳෙන් නොපනේ.

 ‘‘අපි කපපු ළිඳ පළලින් ගොඩක් අඩු කරලා තමයි බැඳලා තියෙන්නේ. ඒත් වැඬේ අවසාන වුණේ නෑ. මේ වගේ පුංචි ළිඳකින් නම් ගමකට වතුර දෙන්න බෑ. මේ පුංචි වැඩෙත් දැන් පුරාවස්තුවක් බවට පත්වෙමින් තිබෙනවා. ප‍්‍රදේශයේ කිසිදු දේශපාලනඥයෙක් මැදිහත් වෙලා මේ වැඬේ ඉවර කරලා මතුගම කන්දේ වතුර

 ගැටලූවට විසඳුමක් ලබාදෙන්න කටයුතු කරන්නෙත් නෑ. මතුගමට තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, පළාත් සභා මන්ත‍්‍රීවරු කටින් බතල හිටවනවා විතරයි, වැඩ නෑ…’’ කළුතර දිස්ත‍්‍රික්කයේ දේශපාලනඥයන් පමණක් නොව, මුළු රටේම දේශපාලනඥයන් හඬ විනා වැඩ නැති බව ළදරුවෙක් වුවද හොඳින් තේරුම් ගෙන සිටින බව සැබෑය.

 එමෙන්ම ජලය නැති ගම් මේ රටේ ඕනෑතරම් තිබේ. වැසි වැටෙනකොට අහසට සාදුකාර දෙන දුප්පත් මිනිසුන් ජීවත්වන වියළි ගම්මාන අප ජීවත්වන සමාජයේ නැතුවාම නොවේ. එහෙත් හිඟයකින් තොරව පිරිසිදු උල්පත් ජලය තිබෙන මතුගම ‘ගමකටම’ වතුර නැතිවීම බරපතළ

 ගැටලූවකි. විශේෂයෙන්ම කළුතර දිස්ත‍්‍රික්කයේ අග නගරය වන මතුගම නගරයට මායිම් වූ ‘මතුගම කන්දේ’ ජනතාව ජලය නැතිව වසර ගණනාවක් පීඩාවිඳීම ගැන අපට ඇත්තේ දැඩි කම්පනයකි. එහෙයින් හඬක් නැති මතුගම කන්දට… පරම්පරා දෙකකටත් වැඩි කාලයක සිට වතුර නැතිව දුක්විඳින ඒ මිනිසුන්ට, දිය බිඳක් ලබාදීමට ‘මතුගම අපි’ එකතු වෙමු…

 තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment