ඩුබායි මයිකල්ටත් වැඩ කරලා

ආමි එකේ හිටපු හොඳම වෙඩික්කරුවෙක්

ඇස් ඉස් මස් දන් දෙන්නත් කියලා ලිපියකුත් ලියලා

දකුණු පාතාලයේ බහුතරයක් නායකයන් දැන් සිටින්නේ පොළවට අඩි හයක් යටින් ය. එහෙත් තවත් කිහිපදෙනෙක් මෙරටින් පැනගොස් විදෙස් රටවල සැඟව සිට තම පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදු කරගෙන යති. ඒ අතර කොස්ගොඩ සුජී යනු මාකඳුරේ මධුෂ්ගෙන් පසු දකුණු පාතාලයේ කිරුළ හිමිකරගෙන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකි.

කොස්ගොඩ සුජී තම අපරාධ සියල්ලම පාහේ සිදුකර ගත්තේ එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් සහ හමුදාවෙන් පලාවිත් සිටි සෙබළුන් යොදා ගෙනයි. සුජීගේ කල්ලියේ එදා සිටි ප්‍රධාන රහස් වෙඩික්කරු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. ඔහු නමින් කෙනඩි නොහොත් බුම්මාය. කෙනඩි එකල වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතම ආරක්‍ෂක බළකාය වන චාල්ස් ඇන්තනී බළකායේ සිටි දක්‍ෂ වෙඩික්කරුවෙකි.

කොස්ගොඩ සුජී කෙනඩි නොහොත් බුම්මාව හඳුනාගන්නේ හිටපු හමුදා කෝප්‍රල්වරයකු වන මයිකල් හරහා ය. දැන හැඳින ගැනීම හරහා සුජීට සමීප වන බුම්මා ඔහුගේ අනුදැනුම මත මනුෂ්‍ය ඝාතන රැසක්ම සිදු කළේය. එපමණක් නොව බුම්මා ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ විය. එලෙස කලක් ගතවෙද්දී බුම්මා ගැන මෙරට ආරක්‍ෂක අංශ දෑස ගසාගෙන සිටියේය. ආරක්‍ෂක අංශවලින් එල්ලවන බලපෑම් වැඩි වෙද්දී බුම්මා හොර රහසේම ඉන්දියාවට පැන ගියේය.

බුම්මා එලෙස ඉන්දියාවට පැනයෑම නිසා කොස්ගොඩ සුජීට සිදුවූයේ බලවත් පාඩුවකි. ඒ බුම්මා ඔහුගේ හොඳම වෙඩික්කරු නිසාය. දිනක් සුජී මයිකල්ට මෙලෙස පැවසුවේය.

“මයිකල් දැන් බුම්මා මගේ ළඟ නැහැ. ඒ වාගේ වැඩකාරයෙක් ආයිනම් හොයාගන්න බැරිවෙයි.”

එහෙම වෙන්නෙ නැ. මම ඒක බලාගන්නම්

“ඒ කොහොමද?”

“මගේ ළඟ ඕන තරම් කොල්ලෝ ඉන්නවා.”

“කොල්ලො නම් මගේ ළඟත් ඉන්නවා. ඒ වුණා ට මට ඕනේ බුම්මා වගේ වෙපන් ටේ්‍රනින් එකක් තියෙන එකෙක්.”

“සුජී අයියා දන්නවනේ මමත් හිටියේ ආමි එකේනේ. ඒක නිසා බයවෙන්න එපා. මම හොයලා දෙන්නම් හොඳ වැඩකාරයෙක්.”

“හරි මයිකල්. ඉක්මන් කරපන් මට තියෙනවා ළඟදීම වැඩ ටිකක් කරන්න.”

“හරි සුජී අයියේ දවස් දෙක තුනක් දෙන්න මම හොයලා දෙන්නම් සුපිරි චරිතයක්.”

කොස්ගොඩ සුජී එලෙස පැවසූ පසු මයිකල් ඔහුට හොඳම වෙඩික්කරුවකු සොයාදීමට කටයුතු කළේය. ඒ අනුව ඔහුට මතක් වුණේ රුවන් කුමාරවයි. රුවන් කුමාර යනු එකල මයිකල් සමග යුද හමුදාවේ එකට සේවය කළ අයෙකි. එකල දෙදෙනාම කෝප්‍රල්වරුන්ය. මයිකල් හමුදාවෙන් පලාගොස් පාතාලයට වැටුනු පසුද රුවන් කුමාර සමග පැවති හිතවත්කම් අත හැරියේ නැත. දුරකථන මාර්ගයෙන් ඔහු රුවන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගියේය. ඒ කෙදිනක හෝ රුවන්ව තමන්ට වටින බව දන්නා නිසාය.

කොස්ගොඩ සුජීගේ ප්‍රධාන වෙඩික්කරු සියදිවි නසාගත්තේ ජීවිතය ගැන කළකිරිලාද

රුවන් කුමාරගේ නම හමුදාවෙන් පලාගිය සෙබළ ලැයිස්තුවට ඇතුළත් වන්නේ 2018 වසරේදීය. ඔහු හමුදාවෙන් පලායෑමට ප්‍රධානම හේතුව වූයේ කාන්තාවකි. එම කාන්තාව පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. නමින් අචලා වන ඇය ඉතා සුරූපී තරුණියකි. විවාහක ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. එහෙත් ඇයට විවාහ දිවිය කටුක වී තිබුණි. ඇය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවකි.

වර්ෂ 2018 එක් දිනකදී අචලා කොළඹ බලා පිටත්වීම සඳහා පොලොන්නරුවෙන් බස් රථයකට නැගුණි. එම බස් රථයට මඩකලපුව යුද හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවස බලා යෑමට පිටත් වූ රුවන් කුමාරද ගොඩවිය. දෙදෙනාම අසුන් ගත්තේ එකම අසුනේය. බස් රථය කොළඹ බලා යෑමට පිටත් විය. විටින් විට රුවන් තම අසුනේ වාඩි වී සිටි සුරූපී තරුණිය දෙස බැලුවේය. මෙච්චර ලස්සන කෙල්ලෙක් මම ජීවිතේටවත් දැකලා නැහැ. මෙයා මගේ කරගන්න තිබුණ නම් කොච්චර හොඳ ද? රුවන් ඇය දෙස බලමින් එලෙස සිතුවේය.

බස් රථය මින්නේරිය පසුවූවා පමණි. තවත් ඉවසාගත නොහැකිව සිටි රුවන් තරුණියගෙන් මෙලෙස විමසුවේය.

“නංගි කොළඹද යන්නෙ?”

එම තරුණියගෙන් ද යහපත් ප්‍රතිචාර ලැබුණි. එතැන් සිට කොළඹට පැමිණෙන තුරු දෙදෙනා අදහස් හුවමාරු කර ගත්හ. අවසානයේ දෙදෙනා දුරකථන අංක ද හුවමාරු කර ගත්හ. එලෙස ගත වූයේ දින කිහිපයකි. අවසානයේ රුවන් අචලාගේ අනියම් සැමියා බවට පත්විය. අචලාගේ කීමට පිටුපාන්න බැරි තරමට ඔහු ඇයට වශී වී තිබුණි. ඔහු නිවාඩුවට සූරියවැව තම නිවසට යනවා වෙනුවට ගියේ අචලා නැවතී සිටි කුලී කාමරයටයි. එලෙස ආදරයෙන් වශී වූ රුවන් අචලා සමග කුඩා කාමරයක දීග කෑමට පටන් ගන්නේ හමුදා ජීවිතයට ද සමුදෙමින්ය.

දින සති මාස ගණනකට පෙරළුනි. අචලාගේ පඩියෙන් දෙදෙනාට ජීවත්වීමට නොහැකි විය. එම නිසා ඔවුන් අතර ආර්ථික ගැටලු පැන නැගුණි. මේ බව ඔහු මයිකල්ට පැවසුවේය. එය ඇසු මයිකල් රුවන්ට උදව් කිරීමට ඉදිරිපත් වූයේ එකපයින්ය. එතැන් සිට මයිකල් මාස් පතා රුවන්ට ජීවත්වීම සඳහා මුදල් ලබා දුන්නේය. මයිකල් එලෙස කළේ රුවන් අනාගතයේ ආයෝජනයක් නිසාය.

කොස්ගොඩ සුජීට වෙඩික්කරුවෙකු සොයාදීමේ කොන්ත්‍රාත්තුව භාරගත් මයිකල්ට මතක් වුණේ රුවන් කුමාරයි. වහාම ඔහු රුවන්ට දුරකථන ඇමතුමක් ගෙන සියලු විස්තර පැවසුවේය. පළමුව රුවන් එයට අදිමදි කළත් පසුව මයිකල්ගේ පෙරැත්ත නිසා එයට අකමැති වීමට ඔහුට නොහැකි විය. අවසානයේ මයිකල් ඔහුට මෙලෙස පැවසුවේය.

“උඹ බය වෙන්න එපා. බොසා කියන විදිහට හිටියොත් උඹට රජ සැප දෙයි.”

මයිකල් හැකි ඉක්මනින් කොස්ගොඩ සුජී මුණගැසී මෙලෙස පැවසුවේය.

“සුජී අයියා මම නියම බුලට් එකක් හොයාගත්තා. මිනිහා හිටියේ ගැමුණුහේවා බළකායේ. දක්‍ෂ වෙඩික්කරුවෙක්. ඉන්දියාවේ ගිහින් කැලෑ සටන් හිටන් පුහුණුවෙලා තියෙනවා. ඒ පුහුණුවට තෝරාගත්තේ ඒ බළකායෙන් අටදෙනෙක් විතරයි. මිනිහා වැඩ්ඩෙක් නිසා තමයි තෝරාගත්තේ. දැන් ආමි එකෙන් පැනලා කසාද බැඳපු ගෑනියෙක් එක්ක ඉන්නේ සීදුව පැත්තේ. මම පොඩි පොඩි උදව් කරනවා. අයියා ගැන මම කිව්වා. මිනිහා අයියට කැමතියි. මිනිහගේ නම රුවන් කුමාර.”

“උඹ කියන විදිහට මිනිහා වැඩ්ඩෙක් වෙන්න ඕනෑ. මුලින්ම මට මිනිහව සම්බන්ධ කරලා දෙන්න. ඉතුරු ටික මම බලාගන්නම්.”

ඒ අනුව මයිකල් රුවන්ව දුරකථන මාර්ගයෙන් කොස්ගොඩ සුජීට හඳුන්වා දුන්නේය. ඒ දැන හැඳින ගැනීමෙන් පසු කොස්ගොඩ සුජී මයිකල්ට මෙලෙස පැවසුවේය.

“උඹ ඔය රුවන්ට ඉන්න හොඳ තැනකුයි සල්ලි ටිකකුයි දීපන්. ඉතුරු ටික මම බලාගන්නම්.”

ඒ අනුව මයිකල් රුවන්ට සහ ඇයගේ අනියම් බිරියට ජා-ඇල ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක් ලබාදුන්නේය. එපමණක් නොව දෙදෙනාට ජීවත්වීම සඳහා මුදල් ලබා දුන්නේය. ඒ අතර ඉඳහිට කොස්ගොඩ සුජී ඔහුට දුරකථන ඇමතුමක් ගෙන සැප දුක් විමසුවේය.

එලෙස මාස දෙකක් පමණ ගතවිය. ඉන්පසු රුවන්ට සිදුවූයේ කොස්ගොඩ සුජීගේ අබිරහස් වෙඩික්කරු බවට පත්වීමටයි. එතැන් සිට කොස්ගොඩ සුජී ඔහුගෙන් බොහෝ වැඩ ගත්තේය. කලක් ගතවන තුරු සුජීගේ අලුත් වෙඩික්කරු කවුද යන්න පොලිසියටවත් සොයාගැනීමට නොහැකි විය.

පාතාල මර්දන පොලිස් කණ්ඩායම්වලට මෙන්ම විශේෂ පොලිස් අංශ ගණනාවකටම වහන් වෙමින් සුජීගේ අණට මිනිස් ඝාතන රැසක් සිදුකළ රුවන් කොටුකර ගැනීමට හැකි වන්නේ 2019 වර්ෂයේ ජූලි මාසයේදීය. ඒ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ට ලද තොරතුරක් මතය. එයට මග පෑදෙන්නේ එම මස 28 වැනිදා නුගේගොඩ ජම්බුගස්මුල්ලේ සිදුවූ වෙඩි තැබීමයි.

එම වෙඩි තැබීමෙන් අවන්හල් හිමිකරුවෙක් මියගිය අතර ඔහුගේ මිතුරා තුවාල ලැබීය. එම ඝාතනයේ සැකය එල්ල වූයේ ජම්බුගස්මුල්ලේ බබී නමැති පුද්ගලයාටය. බබී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් එම ඝාතනයට මුල් වී ඇතැයි පොලිසියට පෙනී ගියේය. ඝාතනය වූ අවන්හල් හිමිකරු සහ බබී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇත්තේ එකටයි. ඒ කොස්ගොඩ සුජීගේ බඩුය. එම ව්‍යාපාරිකයා ඝාතනය වූ දවසේම බබී රටින් පැනගත්තේය. එලෙස පැනගත් ඔහු කෙළින්ම නතර වුණේ කොස්ගොඩ සුජී ළඟය.

බබී ඩුබායි පැන සුජී සමග සිටියදී ජම්බුගස්මුල්ලේ ව්‍යාපාරිකයාගේ ඝාතන සිද්ධිය පිළිබඳව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්‍ෂණ පැවැත්වූහ. එහිදී එම ඝාතනයට සම්බන්ධ හයහත්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් කළ විමසීම්වලදී හෙළි වුණේ එම ඝාතන සිද්ධියේ වෙඩික්කරු වූයේ කොස්ගොඩ සුජීගේ ගෝලයකු බව පමණි.

ඒ අනුව නීතිය බල ගැන්වීමේ ඒකකයට පැවරෙන්නේ එම අබිරහස් වෙඩික්කරු හඳුනා ගැනීමටයි. එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රන්ජන් කුමාර එම කටයුත්ත භාර දෙන්නේ පොලිස් කොස්තාපල් මංජුල (449740) ටය. ඔහුට දකුණේ පාතාල සාමාජිකයන් ගැන හසල දැනුමක් තිබුණි. ඒ ඔහු කලක් දකුණු පළාතේ සේවය කළ නිසාය.

මංජුල මාස කිහිපයක් විවිධ වෙස් ගෙන කොස්ගොඩ සුජීගේ රාජධානිය වූ අහුංගල්ල, කොස්ගොඩ, ඇල්පිටිය, බළපිටිය සහ ඌරගස්මන්හංදිය පැත්තේ කරක් ගැසුවේය. එලෙස මහත් පරිශ්‍රමයකින් පසු කොස්ගොඩ සුජීගේ අබිරහස් වෙඩික්කරු වන ආමි රුවන් ගැන සියලු තොරතුරු ඔවුන් සොයාගත්තේය. මේ සඳහා මංජුලට හේරත් නමැති පොලිස් නිලධාරියකු උදව් කළේය.

ජම්බුගස්මුල්ල බබී ඝාතනය වනතුරුම ඔහු රැඳී සිට ඇත්තේ අහුංගල්ල සහ ඇල්පිටිය ප්‍රදේශයේ ය. ඇල්පිටිය ප්‍රදේශයේ ඔහු නැවතී තිබුණේ කෝටිපති කුරුඳු ව්‍යාපාරිකයකුගේ නිවසක් තුළයි. එම නිවස තුළ රුවන්ට නවාතැන් පහසුකම් සලසා ඇත්තේ මයිකල් විසින් ය. මංජුල සහ හේරත් එම නිවස වෙත යද්දීත් ඔහු වලස්මුල්ල පෙදෙසට පැනගොස් තිබුණි.

ඒ අනුව වලස්මුල්ල පෙදෙසට ගිය මංජුල සහ හේරත් රුවන් ගැන තොරතුරු සෙවීමට පටන් ගත්හ. ඒ වන විටත් රුවන් වලස්මුල්ලෙන් පානදුර පෙදෙසට පැනවිත් තිබුණි. ඒ අතර ඔහු නුගේගොඩ ප්‍රදේශයේ ද කරක් ගැසුවේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගිතාල්ට ඒ අතර රුවන් ගැන තොරතුරක් ලැබුණි. ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ඔහු තම පහළ නිලධාරීන්ට රුවන් කොටුකර ගැනීම සඳහා සියලු උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වූ එම පොලිස් නිලධාරීහු උඩහමුල්ල ප්‍රදේශයේදී රුවන්ව අල්ලා ගත්හ.

කොස්ගොඩ සුජීගේ සැඟවුණු එම වෙඩික්කරු අල්ලා ගත් පසු ජම්බුගස්මුල්ලේ නොව තවත් ඝාතන රැසක තොරතුරු දැනගැනීමට හැකිවිය. 2019 සැප්තැම්බර් 06 වැනිදා ඔහු ඇල්පිටිය ප්‍රදේශයේ බස් රථයක් තුළ යමින් සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළේය. එම ඝාතනය වෙනුවෙන් සතපහක මුදලක් ඔහුට නොලැබුණි. එහෙත් ජම්බුගස්මුල්ලේ ඝාතනය වෙනුවෙන් රුපියල් විසිදාහක මුදලක් බබීගෙන් ඔහුට ලැබුණි. එය එසේ වුවත් සුජීගේ ඉල්ලීම මත සිදුකළ පළමු ඝාතනයට ඔහුට රුපියල් ලක්‍ෂයක මුදලක් ලැබුණි. 2022 ඌරගහ ප්‍රදේශයේ ඔයිල් කඩේ සුදු මල්ලි ඝාතනය, රත්ගම විදුරගේ මස්සිනා වූ රත්ගම දුලාන් තරංග යන අය වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම ආදී අපරාධ රැසකට රුවන් සම්බන්ධ විය. කොස්ගොඩ සුජී පමණක් නොව මයිකල් ද රුවන්ගෙන් වැඩ ගත්තේය.

කලක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි රුවන් යළි නිදහස් වන්නේ දැනට වසර කිහිපයකට ඉහතදී ය. ඒ සමගම රුවන් අහුංගල්ල ප්‍රදේශයට පැන ගත්තේය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment